UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධ්‍යාන භූමි ආයු කාලය

ධ්‍යාන භූමි ආයු කාලය

පින්වත් දරුවනේ, උඳුවප් පුර පෝදා බුදුසරණ පුවත්පතෙන් සුගතිගාමී ලෝකවල ස්වභාවය ඉගෙන ගත්තා මතකයි නේද? අපි තවදුරටත් මේ හා සම්බන්ධ විස්තර ඉගෙන ගනිමු. අන්තඞකල්පය ගැනත් අපි පැහැදිලි කළා. අසංඛ්‍යෙය කල්පයක් කියන්නේ අන්තඞකල්ප හැට හතරක් .අසංඛ්‍යෙකල්ප හතරක් කියන්නේ මහා කල්පයක්.

දරුවනේ, ඉතාමත් බලවත් කුසල කර්ම සිදු කළාම ධ්‍යාන භූමිවල උපදිනවා. ඒ කියන්නේ බ්‍රහ්මලෝකවල උපදිනවා කියන එකයි. මේ භූමිතලවල , ආයුෂ ප්‍රමාණය දක්වා තිබෙන්නේ කල්පවලින්. හොඳින් භාවනා වැඩීමෙන් ධ්‍යාන ලබන්නට පුළුවන්. යම් කෙනෙක් එසේ ප්‍රථම ධ්‍යානය ලබා තිබියදී මිය ගොස් පහත සඳහන් වන ප්‍රථම ධ්‍යාන භූමි තුනෙහි ඉපදෙන්නට පුළුවන්.

පළමුවැන්න ‘බ්‍රහ්මපාරි සජ්ජය’ ධ්‍යාන භූමියයි. එහි ආයු කාලය අසංඛ්‍යෙය කල්පයකින් තුනෙන් එකක කාලයක්.

දෙවැන්න ‘බ්‍රහ්ම පුරෝහිතය’ නම් වූ ධ්‍යාන භූමියයි. එහි ආයු කාලය අසංඛ්‍යෙය කල්පයකින් හරි අඩක කාලයක්. ඒ කියන්නේ දෙකෙන් එකක්.

තෙවැනි ධ්‍යාන භූමිය ‘මහා බ්‍රහ්මය’යි ආයු කාලය අසංඛ්‍යෙය කල්පයයි.

ද්විතීය ධ්‍යාන භූමි තුනක් තිබෙනවා. පළමුවැන්න ‘පරිත්තාභා’ ද්විතීය ධ්‍යාන භූමියයි. එහි ආයු කාලය මහා කල්ප දෙකක්. දෙවැන්න ‘අප්පමාණභානං’ ධ්‍යාන භූමියයි. ආයු කාලය මහා කල්ප හතරයි.

තෙවැන්න ‘ආභස්සරය’ නම් වූ ද්විතීය ධ්‍යාන භූමියයි. එහි ආයු කාලය මහා කල්ප අටක්.

තෘතීය ධ්‍යාන භූමි තුනක් පිළිබඳව සඳහන් වෙනවා. එහි ‘පරිත්ත සුභ’ නම් වූ ධ්‍යාන භූමියේ ආයු කාලය මහා කල්ප දහසයයි.

‘අප්පමාණ සුභ’ නම් වූ ධ්‍යාන භූමියේ ආයු කාලය මහා කල්ප තිස් දෙකයි. ‘සුභකිණ්හක’ තෘතීය ධ්‍යාන භූමියේ ආයු කාලය මහා කල්ප හැට හතරයි.

චතුර්ථ ධ්‍යාන භූමි දෙකක් තිබෙනවා. එහි ‘වේහප්ඵලය’ නම් ධ්‍යාන භූමියේ ආයුකාලය මහා කල්ප පන්සීයයයි.

‘අසඤ්ඤතල තත්ත්වය ධ්‍යාන භූමියේ ආයු කාලය මහා කල්ප පන්සියයයි. දරුවනේ, ශුද්ධ වාස භූමි පහක් පිළිබඳව ද ධර්මයේ සඳහන් වෙනවා.

එහි ‘අවිහා’ නම් වූ ශුද්ධ වාස භූමියේ ආයු කාලය මහා කල්ප දහසයි.

‘අතප්පානං’ නම් වූ භූමියේ ආයු කාලය මහා කල්ප දෙදහසයි.

‘සුදස්ස’ නම් වූ භුමියේ ආයු කාලය මහා කල්ප හාර දහසයි.

‘සුදස්සී’ නම් වූ භූමියේ ආයු කාලය මහා කල්ප අට දහසයි.

‘අකනිට්ඨකා’ නම් වූ භූමියේ ආයු කාලය මහා කල්ප දහසය දාහසයි.

ශුද්ධවාස භූමි වලින් අනතුරුව අරූපාවචර භූමි සතරක් සඳහන් වෙනවා. එහි පළමු භූමිය ‘ආකාසණාඤ්චායතනය’යි එහි ආයු කාලය මහා කල්ප විසි දහසයි.

දෙවැනි භූමිය, ‘විඤ්ඤාණංචායතනය’යි . එම භූමියේ ආයු කාලය මහා කල්ප හතළිස් දහසයි. තෙවැන්න ‘ආකිංචඤ්ඤායතන’ භූමිය යි. ආයු කාලය මහා කල්ප හැට දහසයි. ‘නේවසඤ්ඤානාසඤ්ඤායතන’ භූමියෙහි ආයු කාලය මහා කල්ප අසූ හතර දහසයි.

අපි දැන් තේරුම් ගන්නට උත්සාහ කරමු. කල්පයක් කියන්නේ මොන තරම් දිගු කාලයකට ද කියලා.

දරුවනේ, සූත්‍ර පිටකයට අයිති සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේ සඳහන් වෙනවා’ ‘සාත්‍ය’ කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ දී කල්පය පිළිබඳව, අපේ බුදුහාමුදුරුවෝ ඉතා ලස්සන උපමාවක් දේශනා කොට තිබෙනවා.

දිනක් එක භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ පවසනවා.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ‘කල්පය’ නම්, කොපමණ කාලයක් ද? එය ගණනින් පැවැසිය නො හැකි නම් උපමාවකින් හෝ වටහා දෙනු මැනවි.” එවිට අපේ බුදුරජාණන් වහන්සේ එය උපමාවකින් දේශනා කොට වදාළා. ‘මහණෙනි’ දිගින්,පළලින් ,උසින් යොදුනක් වූ ප්‍රාකාරයකින් වට කළ නගරයක් තිබෙනවා. එසේත් නැතිනම් භූමියක් තිබෙනවා. එම භූමි ප්‍රමාණයෙහි සම්පූර්ණයෙන්ම අබ ඇට පුරවනවා. යම් පුරුෂයෙක් අවුරුදු සියයකට එක් වරක් එක අබ ඇටය බැගින් ඉවත් කරනවා. ඉතා දීර්ඝ කාලයකින් ඒ අබ ඇට ඉවත් කරලා අවසන් කරන්නට පුළුවන්. එහෙත් කල්පය නම් ගෙවී අවසන් වෙන්නේ නෑ. කල්පයක් කියන්නේ ඊටත් වඩා දිගු කාලයක්.

තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා. “මහණෙනි, දිගින්, පළලින්, උසින් යොදුන බැගින් එක හා සමාන මහා කළුගල් පර්වතයක් තිබෙනවා. ඒ කළුගල් පර්වතය, එක් දේවතාවෙක් අවුරුදු සියයකට එක වතාවක් ඉතා සිනිඳු කසී සළුවකින් පිස දමමින් යනවා. ඉතාම දීර්ඝ කාලයක් අවසානයේ ඒ මහා පර්වතය සම්පූර්ණයෙන් ම ගෙවී අවසන් වෙන්නට පුළුවන්. එහෙත් කල්පය නම් අවසන් වන්නේ නෑ. ඊටත් වඩා මහා කල්පය දිගුයි”

පින්වත් දරුවනේ දැන් තේරුම් ගන්නට පුළුවන් නේද කල්පය කියන්නේ ගණනින් කියා නිම කළ නො හැකි ඉතාම දිගු කාලයක් බව. එළැඹෙන අමාවක් පෝ දින ( 05) බුදුසරණ පුවත්පතෙන් අපි මේ පිළිබඳව තවත් තොරතුරු දැන ගනිමු.

 

උඳුවප් අව අටවක පෝය


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.52 ට ලබයි. 30 වන දා ඉරිදා පූර්ව භාග 2.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]