UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෙළ කතුන් බැති කුසුම් පුදන මිණි පහන

හෙළ කතුන් බැති කුසුම් පුදන මිණි පහන

යම් උච්චස්ථානයකට සිංහල කාන්තාව පැමිණියා නම්, ඒ සියල්ල ම ශ්‍රී සංඝමිත්තා උත්තමාවගේ ගුණය සිහිපත් කරන සංකේතයන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

"ලංකාවේ කාන්තාවෝ ද සසුන්හි පැවිදි වන්නට කැමැත්තෙන් සිටිති. එහෙත් ඒ කාර්යය සඳහා භික්ෂුණීන් ලංකාවේ නොමැති හෙයින් එය කළ නොහැක. ඒ සඳහා සංඝමිත්තා මහරහත් උත්තමාව ප්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි එවනු මැනවි. එසේම පෙර තුන් බුදුවරයන් වහන්සේලාගේ බෝධි ශාඛාවලින් හිස් නොවූ ලංකාවට අප ගෞතම බුදුරදුන් පිට දුන් බෝධි රාජයාගේ ශාඛාවක් ද එවනු මැනැවි."

මේ සන්දේශය රැගත් අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිස වප් පුනු පොහෝ දා ධර්මාශෝක අධිරාජයාණන් හමුවනු පිණිස දඹදිව පැළලුප් නුවර බලා පිටත් වූ හ. ටික දිනකින් එහි ගිය ලාංකික රාජකීය දූත පිරිස ධර්මාශෝක අධිරාජයා වෙත සංදේශ පිළිගන්වා සංඝමිත්තා මහ රහත් මෙහෙණිය ද හමුව සිය සොහොයුරු මිහඳු මා හිමියන්ගේ පණිවුඩය සැළ කළහ. එහෙත් සිය පුතාත් මුණුබුරාත් වෙනුවට සංඝමිත්තා උත්තමාව නිසා සැනසී සිටි ධර්මාශෝක අධිරාජයා ඇය ලංකාවට එවීමට මුල දී එතරම් කැමැත්තක් නොදැක් වීය. පසුව එතුමාට සඟමිත් මාතාව කරුණු විස්තර කර දෙමින් පියාණෙනි, මගේ සහෝදරයන් වහන්සේ ගේ වචනයට මා ගරු කළ යුතුයි. අනුලාව ප්‍රධාන විශාල කාන්තා පිරිසක් මහණ වන්නට මා ගැන බලාපොරොත්තුවෙන් සිටිති. ඒ නිසා මා එහි යා යුතුයි. මගෙන් උදාර සේවාවක් ලංකා වාසීනට සිදුවනු ඇත. යනුවෙන් ඇය පැවසුවා ය”. එය ඇසූ දම්සෝ නිරිඳුන් දියණියනි, එසේ නම් වඩිනු මැනැවි. මගේ දරු පරම්පරාව ම සිංහල ජනතාවට සේවය පිණිස වේවා. එය මට ද මහත් පිනකි. ඔබ ඇතුළු භික්ෂුණී සංඝයා වඩින විට ඒ සමග ම බෝධීන් වහන්සේගේ ශාඛාවක් ද ගෙන යනු පිණිස මම කටයුතු පිළියෙල කොට දෙන්නෙමි යි කී ය. මෙසේ කී ධර්මාශෝක අධිරාජයා සංඝමිත්තා මහරහත් මෙහෙණිය සමග තවත් භික්ෂුණී සංඝයා පිරිවර සහිත ව ලංකාවට එවීමට සූදානම් කරවී ය.

මහත් ආත්ම ශක්තියකින් හා ආත්ම බලයකින් යුත් සංඝමිත්තා උත්තමාව ලාංකික කාන්තාවන් වෙනුවෙන් කළ පරිත්‍යාගය සිංහල ජාතිය පවත්නාතාක් පරම්පරාවෙන් පරම්පරාවට නොසිඳ පවතිනු ඇත. ලාංකික කාන්තාවන්ගෙන් කිසිදු ගෞරවයක් බලාපොරොත්තු නොවී හුදු කරුණාවෙන් යුක්තව ස්වදේශය හැර දමා විදේශගතව අර්ධ ශතවර්ෂයකට අධික කාලයක් මුළුල්ලෙහි කරන ලද උදාර ශාසනික සේවය වනිතාවන්ගේ හද තුළ තැන්පත් වී ඇත. සංඝමිත්තා මහ රහත් උත්තමාව නිසා ලංකාවට රහත් මෙහෙණින් පිරිසක් ඇති වූවා පමණක් නොව එතුමිය ගේ මාර්ග දේශකත්වය නිසා ම ශ්‍රේෂ්ඨ සිංහල වනිතාවන් රැසක් පහළ වූ හ. විහාර මහාදේවි වැනි වීරෝධාර මාතාවක් , සෝමා දේවිය වැනි පති භක්තියෙන් හා දේශ මාමකත්වයෙන් යුත් වීරවරියන්, ලීලාවතී- කල්‍යාණවතී වැනි රාජ්‍ය පාලනයෙහි නියුක්ත රාජ මෙහෙසියන්, ඇහැළේපොළ කුමාරිහාමි වැනි ආදර්ශවත් මාතාවන්, ගුණ නුවණින් යුත් වනිතාවන් මේ රටේ පහළ වූයේ නම්, ඒ සංඝමිත්තා මහරහත් උත්තමාව ගේ අනුපමේය සේවයේ විශිෂ්ට ප්‍රතිඵලය නිසා ය. ලංකා භූමියේත්, සිංහල කාන්තා ප්‍රගතියේත් එක් එක් අංශය ගෙන බලත් නම්, සඟමිත් මාතාව නිසා බෞද්ධ ප්‍රභාවෙන් දීප්තිමත් නොවූණු එක ද අංශයක් හෝ ඇතැයි කිව නොහැක. සිංහල කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් යැයි නම් කළ හැකි යම් යුගයක් වේ නම් ඒ සියල්ල ම සඟමිත් මාතාව ගේ ශ්‍රී නාමයට බැඳී එක් වී ඇති ණය ගැති භාවය පිළිබඳ නො නැසෙන සිහිවටනයෝ ය. වරක් පිරිහී ගිය චීන භික්ෂූණී ශාසනය නැවතත් ඇති කරන ලද්දේ ලංකාවෙන් වැඩම කළ සිංහල භික්ෂුණීන් වහන්සේලා විසිනි. මේ රටේ ශාසනික සංවර්ධනය සඳහා විශාල සේවයක් සංඝමිත්තා මෙහෙණිය ගෙන් සිදු විය. යම් උච්චස්ථානයකට සිංහල කාන්තාව පැමිණියා නම්, ඒ සියල්ල ම ශ්‍රී සංඝමිත්තා උත්තමාවගේ ගුණය සිහිපත් කරන සංකේතයන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. මැදහත් මාවත ඔස්සේ ලෝක ජාතීන් ගේ මහ සමුළුව ඉදිරියේ සිංහල රටේත්, සිංහල දේශයේත් සිංහල ජාතියේත් උදාරත්වය ප්‍රදර්ශනය කරන්නට අහිංසා ධර්මයේ ජනසංඛ නාදය සමස්ත ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කර වන්නට හැම අතින් ම ප්‍රබල ලෝක ඉතිහාසයේ අභිනව පරිච්ඡේදයක් ගොඩ නැංවූ රාජ්‍ය නායිකාවන් මේ රටේ කලින් කල පහළ වනුයේ සංඝමිත්තා රහත් මෙහෙණිය විසින් උදා කළ ස්වර්ණමය නිදහස නිසයි. සිංහල කාන්තාවට සෞභාග්‍යයේ අරුණෝදයෙන් ප්‍රබෝධමත් වන්නට හැකි වූයේ එතුමිය විසින් හෙළි පෙහෙළි කර දුන් විමුක්තියේ රජත මාර්ගය නිසා බව හැම හෙළ කාන්තාවක විසින්ම මහත් ගෞරව නමස්කාරයෙන් යුක්ත ව සිහිපත් කළ යුතු ය. මෙසේ සිංහල කාන්තා පක්ෂය පිළිබඳ කළ හැකි හැම සේවයක් ම නොඅඩුව ඉටු කොට එකුන් සැටවියේ දී උත්තිය රජු ගේ රාජ්‍යයෙන් නව වැන්නෙහි සිංහල වනිතා සමාජය ආලෝකවත් කළ මිණි පහන හත්ථාල්හක මෙහෙණවර දී නිවී ගියා ය.

ශ්‍රී සංඝමිත්තා උත්තමාවගේ චරිතාපදානය ඉතා විසිතුරු ය. ඇයගේ බාලිකා ජීවිතය - තරුණ ජීවිතය - විවාහ ජීවිතය හා පැවිදි ජීවිතය උදාර හැගීම්වලින් හා ශාන්ත ගති පැවැතුම්වලින් පිරුණු ආදර්ශ චරිතයෙකි. අද නොයෙක් විෂම අදහස්වලින් පිරුණු චරිත සංවර්ධනයට නොව හුදෙක්ම චරිත දූෂණයට හේතු වන විවිධ පොත්පත් සඟරාදිය කියවන කුඩා - තරුණ බාලිකාවනට පාසල් පොතක් වශයෙන් සංඝමිත්තා චරිතය කියවීම තුළින් ආගමික භක්තිය , ජාතික මමත්වය , සිංහල සංස්කෘතිය, සිංහල ශිෂ්ටාචාරය ආදිය පිළිබඳ මනා අවබෝධයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනැංවීමට මනා පිටුවහලක් වනු ඇත. බොහෝ බාලිකාවනට බෞද්ධ ශ්‍රාවිකා පාළියේ එන උදාර අධ්‍යාශයන්ගෙන් පිරුණු උත්තමාවන්ගේ විශිෂ්ට ආදර්ශවත් චරිතාපදානයන් කියවන්නට පහසුකම් ඇති කරලීම මේ රටේ සංස්කෘතිය ගැන ආදරයක් ඇති ගුරු දෙගුරු හැම දෙනාගේම ශ්‍රේෂ්ඨ යුතුකමක් වශයෙන් සැලකිය යුතුය. නිකලැල් චරිත ශුද්ධියත්, නිහතමානි බවත්, නිරහංකාර පැවැත්මත් වනිතා ජීවිතය සරසන ගුණාංගයෝ වෙති. බාහිර අලංකාරයට වඩා අධ්‍යාත්මික ගුණ වගාවකින් යුත් ජීවිතයක ඇති අගය සංඝමිත්තා චරිතාපදානයෙන් මැනැවින් අවබෝධකර ගන්නට හැකි ය. විනීත ගුණ ගරුක බාලිකාවක වනු කැමැති කුඩා තරුණ බාලිකාවන් විසින් මහත් ආදර භක්තියෙන් යුතුව සංඝමිත්තා උත්තමාවගේ චරිතය ආදර්ශයට ගත යුතු අතර එම ශ්‍රී නාමය සදා සිහිපත් කළ යුතු ය.

 

උඳුවප් අව අටවක පෝය


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.52 ට ලබයි. 30 වන දා ඉරිදා පූර්ව භාග 2.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]