Print this Article


පූජාර්හ වස්තුව

පූජාර්හ වස්තුව

දෙවනපෑතිස් රජු දවස ම සංඝ සංස්ථාවේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති වූ නිසාවෙන් සෑගිරිය හා මහා විහාරය හැර තවත් විහාරාරාම කිහිපයක් පමණක් ඉදිකිරීමට එතුමාට සිදුව ඇති බව පෙනෙයි. ඉසුරුමත් කුලයන්ගෙන් පැවිදි වූවන් සඳහා ඉසුරුමුණිය ද, වෛශ්‍ය කුලයෙන් පැවිදි වූවන් සඳහා වෙස්සගිරිය ද නිර්මාණය කිරීමට දෙවනපෑතිස් නිරිඳුන්ට සිදුවිය.

එපමණක් ම නොව උතුරු සහ දකුණු ප්‍රදේශය නියෝජනය වන ආකාරයෙන් දඹකොළ පටුනේ විහාරයක් ද, දකුණේ තිස්සමහාරාමය ද මෙතුමා විසින්ම සුසැදි බවට වංසකතා සාක්‍ෂි දරයි. තවද අනුරපුර මධ්‍යයේ මහාපාලි දානශාලා නමින් භික්ෂූන්ගේ පොදු පරිහරණය සඳහා දැවැන්ත දාන ශාලාවක් ද සාදවා ඇත. මෙකී කරුණු තුළ පූර්වයෙන් ස්මරණිත අදහසේ සැබෑව කුමක්දැයි මනාව වැටහෙනු ඇත.

දෙවනපෑතිස් රජුගෙන් පසුව රජවන උත්තිය, මහාසිව, සූරතිස්ස යන රජවරු සසුනට ඉමහත් සේවයක් කරමින් දෙවනපෑතිස් දවසේ ඇති කළ සංස්කෘතික ප්‍රබෝධය ඉදිරියට ගෙනයෑමට කටයුතු කළහ. ඉනික්බිතිව ලංකා රාජ්‍ය අල්ලා ගත් සේන ගුත්තික යන වෙළෙඳ දෙබෑයෝ ද ශ්‍රී ලාංකේය සංස්කෘතික සීමා ඉක්මවා කටයුතු නොකළහ. අනතුරුව රජවන අසේල කුමරු මරා රජවන එළාර රජු ද ධාර්මික පිළිවෙත් මත හිඳීමින් හතළිස් වසරක් රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවන ලද බව වංසකතා අවධාරණය කරන නමුදු මෙකී වකවානුවේ අනුරපුර සංඝ සමාජය පිළිබඳ ඓතිහාසිකමය දත්තයන්ගේ ඌණතාවක් පෙන්නුම් කරනු ලැබ ඇත. මෙකල අනුරපුර රාජ්‍ය කේන්ද්‍රය විදේශ කේන්ද්‍රීයව පැවති නිසා ලාංකේය රාජ්‍ය කේන්ද්‍රය දක්‍ෂිණාවර්තය තුළින් ගොඩනැඟෙනු හඳුනාගත හැකි ය. දෙවනපෑතිස් රජුගේ සිට දුටුගැමුණු රජ දක්වා වූ මෙම කාල පරාසය තුළ දී යාපනය ප්‍රදේශය හැරුණු කොට අභිලේඛනමය සාක්‍ෂි මගින් තහවුරු කොට ගෙන ඇති පරිදි ලංකාවේ සෙසු ප්‍රදේශවල ප්‍රාදේශීය පාලකයන් ස්වකීය බලප්‍රදේශයන් තුළ ලෙන් පිහිටුවමින් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් සපයාදීම හරහා සංඝ සංස්ථාවේ පැහැදිලි වර්ධනයක් ලංකාව පුරා සිදුව ඇති බැව් වටහාගත හැකි ය.

අනුරාධපුර රාජධානිය ඉක්මවා ශ්‍රී ලාංකේය ඉතිහාසකතනය දකුණට විතැන්වීමේ දී එහි භික්ෂු සමාජයේ පැතිරීම පිළිබඳ නිවැරැදි අදහසක් පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යමය මූලාශ්‍රයන් තුළින් ලබාගැන්මට හැකියාව ලැබේ. අනුරාධපුර රාජ්‍යත්වයේ ආධිපත්‍යය දකුණට රැගෙන යන දෙවනපෑතිස් රජුගේ සහෝදරයකු වන මහානාග දකුණේ වෙහෙර විහාර රැසක් ඉදිකරවී ය. මෙම ඉදිකිරීම් සිදුකිරීමට මත්තෙහි පටන් දකුණේ බෞද්ධාභාසය ලද බවට තොරතුරු සඳහන් වන නිසා නම් සඳහන් නොවුණ ද මහාවිහාරයීය පරපුරේ සංඝ සංස්ථාවක් දකුණේ සංවර්ධනයට පත්ව තිබීම නිසා මහානාගයන්ට තම ආධිපත්‍යය දකුණුලක පතුරුවාලීමටත්, බුදුදහමේ මූලිකත්වය නිසා එය පහසුවන්නටත් ඇත. මහානාග, යටාලතිස්ස, ගෝඨාභය හා කාවන්තිස්ස යන රජුන් සංඝ සංස්ථා අභිවර්ධනයට කරන ලද සේවාවන් පිළිබඳ පූර්ණ විස්තරයක් ධාතුවංසය තුළින් ලබාගත හැකි ය. මෙකී කාල පරාසය තුළ දකුණේ තිස්සමහාරාම විහාරය, සිතුල්පව්ව, කතරගම, කිරිවෙහෙර ප්‍රධානතම භික්ෂු මධ්‍යස්ථාන ලෙසින් පැවති බව පෙනේ.

අප ඉහතින් ද සඳහන් කළ ආකාරයට උඳුවප් පොහෝදින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම වඩාත් සංවිධානාත්මක වූ ද, සංවිධිත වූ ද ක්‍රියාවලියකි. බෝධි වන්දනය හුදු වෘක්ෂ වන්දනයක් පමණක් නොවේ. එය බුදුරදුන් ද අනුදැන වදාළ කරුණකි. බුද්ධත්වයෙන් දෙවන සතියේ දී පුරා දින හතක් උන්වහන්සේ ඇසි පිය නොහෙළා බෝධීන් වහන්සේ දෙස බලා සිටිමින් ලොවට ප්‍රදර්ශනය කරන ලද්දේ කෘතඥතා ධර්මය පමණක් නොවේ. බෝධීන් වහන්සේ වෙත දැක්විය යුතු ගෞරවයයි. දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව සැදැහැවතුන්ට දැක වැඳ පුදා ගැනීමෙන් සඟමොක් සුව ලබාගත හැකි ස්ථාන හතරකි. 1 තථාගතයන් වහන්සේ උපන් ස්ථානය, 2 බුද්ධත්වය ලැබූ ස්ථානය, 3 ධර්ම චක්‍රය පැවැත්වූ ස්ථානය හා 4 පිරිනිවන් පෑ ස්ථානය. මෙහි දෙවැන්න ගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින ස්ථානයයි. එසේම බෝසතුන් හා එකම දවසේ උපන් සහජාත වස්තු හතක් පිළිබඳවද බුද්ධ වංසට්ඨ කථාවේ සඳහන් වේ. 1 බෝධිය 2 යශෝධරා දේවිය 3 ඡන්න ඇමති 4 කාළුදායි ඇමති 5 කන්ථක අශ්වයා 6 අජානේය අශ්වයා 7 සතර මහා නිධාන යනුවෙනි. බුදුන් වහන්සේ ද, බෝධීන් වහන්සේ පූජාර්හ වස්තුවකි යි සලකා ඇති බවට තවත් බොහෝ සාක්ෂ්‍ය ත්‍රිපිටකයෙන් හා ඓතිහාසික වාර්තාවන්ගෙන් පැහැදිලි වුව ද මෙහිලා ඒ සියල්ලක් සඳහන් කිරීම යෝග්‍ය නොවේ. සමස්තයක් ලෙස බෝධීන් වහන්සේ පිළිබඳ ඉතිහාසය ප්‍රධාන අංශ තුනක් ඔස්සේ විකාශනය වේ.ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ,ආනන්ද බෝධීන් වහන්සේ ,ලක්දිව බෝධීන් වහන්සේ යනුවෙනි.

ඒ අතුරින් අපට මෙහිදී ඉතා වැදගත් වන්නේ ලක්දිව බෝධීන් වහන්සේ පිළිබඳ කථාවයි. මහින්දාගමනයෙන් මෙරට ඇති වූ සමාජ සංස්කෘතික හා ආගමික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස දඹදිව වැඩසිටි බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කෙරුණි. මහමෙවුනා උයන පූජා කිරීමේ උත්සවයේ දී අනුලා බිසව ප්‍රධාන කාන්තා පිරිස පැවිද්ද ඉල්ලා සිටීමෙන් පසු එම කාර්යය ඉටුකරගැනීම සඳහා සංඝමිත්තා තෙරණිය ඇතුළු මෙහෙණින් වහන්සේ පිරිසක් මෙරටට වැඩම කරවා ගැනීමට කතිකා කෙරුණි. මහමෙවුනා උයනේ පූජනීය ස්ථාන සැලසුම්කරණයේ දී බෝධීන් වහන්සේ නමක් රෝපණයට ද ඉඩ කඩ වෙන්වුණු අතර, සංඝමිත්තාව සමඟින් බෝධි ශාඛාවක් ද වැඩම කරවීමේ අවශ්‍යතාවය එහි දී මතුවේ.

පාලි බෝධි වංශය විස්තර කරන ආකාරයට මුනින් අතට වැටී අඟ පසඟ හා වලිගය දික් කරගෙන සිටින සිංහයකුගේ අංග කොටස් බිම ස්පර්ශවන ස්ථාන අනුව මහමෙව්නා උයනෙහි ආගමික ස්ථාන පිහිට වූ අතර සිංහයාගේ වල්ගා කෙළවර පිහිටුවන ලද්දේ බෝධි ඝරයයි. එම කරුණුවලින් පැහැදිලි වන්නේ බෝධි ශාඛාව මෙරටට වැඩම කරවීමට පෙර සිට ම බෝධි රෝපණය සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට තිබූ බවකි.

ලක්දිව බෝධීන් වහන්සේ පිළිබඳ ප්‍රකට ඉතිහාස සාහිත්‍ය මූලාශ්‍රයන්ට අනුව අරිට්ඨ කුමරු ප්‍රමුඛ පිරිසක් සංඝමිත්තාවන් හා බෝධි ශාඛාව වැඩම කරවීමේ හසුන් යැවීම සඳහා තෝරා ගැනුණි. ඒ අනුව ඔවුහු වප් මාසයේ පුරපස දෙවනිදා දඹකොළ පටුනින් නැව්නැගී පැළලුප් නුවර බලා ගියහ. අශෝක රජු වෙත හසුන් බාර දුන්න ද රජු එක්වර ම එම ඉල්ලීමට එකඟ නොවුව ද සංඝමිත්තාවගේ කරුණු පැහැදිලි කිරීම හමුවේ ඊට රජුගේ අනුමැතිය හිමිවුණි. නිරන්තරයෙන් භික්ෂු අනුශාසනාව ප්‍රාර්ථනා කළ අශෝක රජු මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් ප්‍රධාන මහා සංඝයා කැඳවා ලක්දිවට බෝධි ශාඛාවක් යැවීම පිළිබඳ තොරතුරු විමසූ විට මොග්ගලී පුත්තතිස්ස අර්හතුන් වහන්සේ බුදුරදුන් පිරිනිවන් මංචකයේ දී සිදුකරන ලද අධිෂ්ඨාන පහක් පිළබඳව රජුට කරුණු පැහැදිලි කර ඇත. 1 බෝධියේ දකුණු ශාඛාව තමන්ම සිඳී කටාහයේ පිහිටාවා 2 පත්‍ර හා ගෙඩිවලින් සවණක් රැස් විහිදේවා 3 බෝධි ශාඛා වලා ගැබෙහි සතියක් තිබේවා 4 ථුූපාරාම චෛත්‍යයෙහි මගේ දකුණු අකුධාතුව තැන්පත් කරන දිනයෙහි යමක මහා ප්‍රාතිහාර්ය කෙරේවා 5 ලක්දිව මාගේ ද්‍රෝණයක් පමණ ධාතූහූ පිහිටි කල බුදු වෙසක් ගෙන යමකමහා ප්‍රාතිහාර්ය කෙරේවා උක්ත පැහැදිලි කිරීම් වලීන් අනුව මහා සංඝරත්නයේ ද අනුමැතිය සහිතව බෝධි ශාඛාව වැඩමවීමට කටයුතු සූදානම් කෙරුණි. රජු හා මහා සංඝයා මැද මහා බෝධියේ දකුණු ශාඛාව තෙමේ ම කටාහයේ පිහිටි අතර රජු පළමු වරට දඹදිව් තලය ද බෝධීන් වහන්සේ වෙත පුද කළේ ය. බෝධීන් වහන්සේ වැඩම කරවීමත් සමග උන්වහන්සේගේ කුදු මහත් කාර්යයන් සිදු කිරීම සඳහා විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් කාර්මික ශ්‍රේණීන් රාශියක් ද ලක්දිව එවීමට සූදානම් කළ අතර ඔවුහු “බෝධාහාර කුල” වශයෙන් හැඳීන්වූහ. මහාවංශය දැක්වෙන පරිදි බෝධාහාර කුළ මෙසේ ය. 1 දේව කුල -18 6 තරච්ඡ කුල -8 2 ඇමතිකුල -8 7 කුලිංග කුල -8 3 බාහ්මණ කුල -8 8 කසකාර කුල -8 4 වෙස්සක කුල -8 9 කුම්භාකාර කුල -8 5 ගෝපක කුල -8 82 වශයෙනි. ඇතැම් සාහිත්‍ය මූලාශ්‍රයන් ඉදිරිපත් කරන උක්ත කුල පිළිබඳ විස්තරයන් හි සම විෂමතා නැතුවා ද නොවේ. කෙසේ වුවද සංඝමිත්තා ප්‍රමුඛ මෙහෙණි පිරිස ද අරිට්ඨ ඇතුළු පිරිස ද බෝධාහාර කුලයන් ද බෝධීන් වහන්සේ රැගෙන තාම්‍රලිප්තයෙන් නැව්නැගී අතර අශෝක රජු එහි දී “දරුවා මම මහා බෝධියට සකල ජම්බුද්වීප රජයෙන් තෙවරක් පුදා ගෙලක් පමණ ජලයෙහි හිසින් ඔසවා ගෙනවුත් මාගේ යහළුවාට මෙය එව්වෙමි. ඔහු විසිනුහු මේ ලෙසම පුදනු ලබම්වා” යනුවෙන් හසුන් එවු බව සඳහන් ය. තිස්ස රජු දඹකොළ පටුනේ සිට මග දෙපස සරසා රාජකීය ගෞරවය බෝධීන් වහන්සේ වෙත පුද කිරීමට අවශ්‍ය කටයුතු සකස් කොට කරවටක් මුහුදේ බැස බෝධීන් වහන්සේ තම ශීර්ෂ මස්තකයෙන් පිළිගන්නා ලද්දේ පස්වනක් ප්‍රීතියෙනි.

ඉක්බිති බෝධීන් වහන්සේ ලක් පොළොවෙහි රෝපණය කිරීමට සූදානම් වූ මොහොතෙහි එය නොපෙනී ගිය අතර නැවත සවස් භාගයේ පෙනී සිටිමින් රෝහිණී නම් නැකතින් බෝධිය පොළොවෙහි පිහිටියේ ය. පොළොවෙහි රෝපණය කිරීමෙන් අනතුරුව හටගත් පළමු අංකුර අට හඳුන්වනුයේ අෂ්ඨඵලරූහ බෝධීන් වහන්සේ නමිනි. එම බෝධි අංකුර 1 දඹකොළ පටුන 2 තිවක්ක බමුණු ග්‍රාමය 3 ථූපාරාමය 4 ඉස්සර සමණාරාමය 5 පඨමක චෛත්‍ය ස්ථානය 6 චෙතිය පබ්බතය 7 කාචරගාමය 8 චන්දනගාමය යන ස්ථානවල රෝපණය කළ බව පාලි බෝධි වංශය සඳහන් කරයි. අනතුරුව තවත් ඵල හතරකින් අංකුර අට බැගින් අංකුර තිස්දෙක හට ගැණුනු අතර ඒවා දෙතිස්ඵලරූහ බෝධි නමින් හැඳීන්වේ. ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන තිස්දෙකක එම අංකුර රෝපණය කෙරුණි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු ශ්‍රී ලාංකේය ජන හදවත්හි ජීවමාන බුදුන් සේ වැඩහිඳීනා පූජාර්හ වස්තුවකි. රෝපණය කළ දිනයේ සිට වර්තමානය දක්වාම විවිධ බාධක ආක්‍රමණ, ස්වභාවික මෙන්ම මානව උපද්‍රව හමුවේ ද මහා බෝධීන් වහන්සේ රැක ගැනීමට මහා සඟරුවන,රාජ රාජ මහාමාත්‍යයන් සේ ම, මෙරට සැදැහැති බෞද්ධයෝ කටයුතු කළහ. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ඇති ලොව පැරැණිම වෘක්ෂයයි. වර්තමානය වන විට එය අපට පමණක් නොව ලෝකයටම අයත් පූජාර්හ වස්තුවකි.