UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බිහිසුණු අපාය: අපායේ දොරටු වසා දමන්න

අපායේ දොරටු වසා දමන්න

කිසිම කෙනෙක් අපායේ උපත ලබන්නට කැමැති නැහැ. ජාති, ආගම් භේදයකින් තොරව සැවොම කැමැති වන්නේ සුගතියක ම වාසය කරන්න ම යි. එසේනම්, දෙව් ලොව, මනුලොව උපත ලබන්නට පාපයෙන් වැළකීමට අවශ්‍ය ම යි. ඒ සඳහා අධිෂ්ඨාන තබා ගැනීම වැදගත් සේ ම පාපයේ විපාකය මෙසේ යැ’යි දැන ගත යුතු යි.

පසුගිය පුර පසළොස්වක පොහොය ගණනාවක දී ම අපාය තිස් හතරක් පිළිබඳ ව බුදුසරණ පත්‍රයේ සඳහන් කළා. එසේ නම්, තිස්පස්වන අපාය වන්නේ මාංශ පේශී නරකය යි. මෙහි අපාගත වන්නේ , කාන්තා පක්ෂය රෝගාතුර වූ විට ඒ බව දැනගෙන ම ඔවුන්ලවා ආහාර පාන සකසා ගන්නෝ ය. ඇතැම්විට රෝගාතුරු වූ කාන්තාවට අගුණ ආහාර, අකැප ආහාර බොහෝ ඇත. එහෙත් ඔවුන්ලවා එ වැනි ආහාර සාදන්න තහනම් කාලයේ ද උයා පිහා ගන්නන් උපත ලබන්නේ මාංශ පේශී නරකයේ ය. එහි උපත ලබන නිරි සතුන්ගේ මාංශ පේශී පමණක් තිබෙන අතර ඇට කටු කිසිවක් නැත. මෙහි අපායගාමී වන්නන්ට දරුණු වධ වේදනා ලැබෙයි. ඒ නිසා කාන්තාවන්ට අකැප කාලයට ඔවුන් ලවා ආහාර පාන සකස් කිරීමෙන් වැළකිය යුතු යි. තව ද කාන්තාව සුදුසු කල්හි කුමන දෙයක් වුවත් ආහාර පාන වශයෙන් උයා පිහා පරිත්‍යාග කිරීමට පුළුවන. කාන්තාවට අරපිරිමැස්මෙන් කටයුතු කරන්නැ’යි බුදු දහමෙහි සඳහන් වන අතර එය ම සුගතිගාමී වන කරුණක් වෙයි.

තිස්හයවන අපාය පසුඝාත නරකය යි. එහි අපාගත වන්නේ කුඩා සතුන් මරා දැමූ අය යි. මකුණන්, උකුණන්, කීඩෑවන්, කුඩා පනුවන්, බෝග වගාවන් හි ඇති පණුවන්, කුරා කුහුඹුවන් වැනි සතුන් බෙහෙත් ගල්වා හෝ මරණයට පත් කරන අය උපත ලබන්නේ පසුඝාත නරකයේ ය. කුඹුරකට බෙහෙත් ගැල්වීමේ දී ඒ පළාතේ ම කුඩා සතුන් මරණයට පත් වෙන බවට තමා දැනුවත් විය යුතු යි. එසේනම්, එවැනි කුඩා සතුන් මරණයට පත්කරන්නන් උපත ලබන්නේ පසුඝාත නරකයේ ය.

එවැන්නන්ගේ හිස යම පල්ලන් විසින් අවි ආයුධ, කුළු ගෙඩි ආදියෙන් කුඩු කරනු ලබයි. එහි නිරි සතුන් විඳින වධ වේදනා සීමාවක් නැහැ. මනු ලොව සිටිය දී ඇතැම් අය පොලු, මුඟුරු වලින් නයි, පොළොඟුන්ගේ හිසට ගසා මරා දමයි. එසේනම්, එවැනි පාපකාරීන්ගේ මරණය වන්නේ ද එලෙසම යි. අනාගත සංසාරයේ භවයක් පාසා මැරෙන්නේ ඔළුව කුඩු වීමෙන් බව ද, උකුණෙක් හෝ තම නියපොත්තට තබා තද කර මැරුවොත්, තමා ද එලෙසම පොඩි වී මිය යන බවත් මතක තබා ගන්න. ඇතැම් අය සතුන් වැලි, පස් ආදියෙන් වසා දමා, මරණයට පත් කරන අතර ඒ අය ද මිය යන්නේ එලෙසම බව මතක තබා ගත යුතු යි. එසේනම්, පසුඝාත නරකයෙන් වැළකීම සඳහා සත්ත්ව ඝාතනයෙන් සම්පූර්ණයෙන් ම වැළකිය යුතු යි. ‘පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි’ ශික්ෂා පදය සමාදන් ව, කුරා කුහුඹුවෙකුටවත් මගෙන් කරදරයන් නොවේවා’ යන අවිහිංසක පැතුමෙන් කටයුතු කළොත්, සදෙව් ලොව දිව්‍ය සම්පත් ද, මනු ලොව මහා ධනවතෙක් ද වෙන්න පුළුවන්. එවැන්නන්ට කුමන දෙයකින්වත් අඩු පාඩුවක් නැහැ. එතරම් ම ප්‍රබල ජීවිතයකට භාග්‍ය ලැබෙනවා.

තිස්හත්වන අපාය සාකුණී නරකය යි. දඩයම් කළ අයට දඬුවම් පැමිණවීම මෙහි ස්වභාවය යි. වෙඩි තැබීම, බොරු තුවක්කු බැඳීම, දුන්නෙන් විදීම, කඩු මුඟුරු ආදියෙන් පහර දීම, විවිධ ඇටවීම් ,දැල් දැමීම ආදී විවිධ උපක්‍රමයන්ගෙන් සතුන්ට දඬුවම් දෙන පාපකාරීන් උපත ලබන්නේ සාකුණී නරකයේ ය. අද ඇතැම් ළමයින් පවා මත්ස්‍යයන් බිලී බානවා. ක්‍රෝධයෙන් අප්‍රමාණ සතුන් ඝාතනය කරනවා. වනාන්තරවල වටිනා සතුන් මරා දමනවා, ඒ සැමට ම ලැබෙන විපාකය වන්නේ සාකුණී නරකයේ උපත ලැබීම යි. එහි යමපල්ලන් විසින් රත්වුණු අවි වලින් නිරි සතුන් කෑලි වලට කපා දමයි. ගිනියම් වූ අවි ආයුධ ගෙන නිරි සතාව කපා දමයි. තමා මනු ලොව සිටිය දී සතුන් කපා කොටා මැරීම, සතුන් විකුණා ජීවත්වන, සතුන්ගේ අතපය කඩා දමන, සතුන් මස් කර විකුණන දරුණු පාපකාරීන් අපාගත වූ විට යම පල්ලන් විසින් රත් වූ අවි ආයුධ වලින් නිරි සතා කැබලි වලට කපා දමයි. පාපය නිසා ම නැවත ඒ කැබලි එකතු ව නිරි සතා වැඩෙයි. නැවත ඒ සිරුර කපා දමයි. නැවතත් සිරුරේ කැබලි එකතු වෙද්දී, නැවත කපා දැමීම ආදියෙන් නොනවත්වා ම දිය හැකි උපරිම දඬුවම සාකුණී නරකයේ දී ලැබෙයි. ඒ නිසා මාළු දැල් දැමීම, බිලී බෑම, සතුන් අල්ලා ගැනීමට මල පුඩු භාවිත කිරීම ආදී සතුන් අල්ලා ගන්නා විවිධ උපක්‍රම මඟින් සත්ත්ව ඝාතනයක් සිදු වුණානම්, ඒ තැනැත්තා සාකුණී නරකයට වැටී අපමණ දුක් විඳියි. එසේනම්, සත්ත්ව හිංසාවෙන් වැළකුණ පින්වතුන්ට අප්‍රමාණ දිව්‍ය සම්පත් , අප්‍රමාණ මනුෂ්‍ය සම්පත් ලැබෙනවා. ආයුෂ, වර්ණ, සැප, බල , ප්‍රඥා නො අඩුව ලැබෙනවා. මිල මුදල්, කෙත් වතු, යාන වාහන ආදියෙන් කිසිදු අඩු පාඩුවක් නැහැ. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙනවා. අඩු ආයුෂයෙන් මිය යන්නේ නැහැ. දරුණු කර්ම විපාක නැහැ. දද, වන, පිළිකා කුෂ්ට රෝග නැහැ. එතරම් ම වටිනා ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ සාකුණී නරකයට වැටෙන කර්ම විපාකයෙන් වැළකුණු අයට යි.

තිස් අටවන නරකය ඕරම්භික නරකය යි. එහි අපාගත වන්නේ බොරු සාක්ෂිකරුවන් ය. අධිකරණය හමුවේ හිමි අයිතීන් අහිමි කරන, මනුෂ්‍ය ඝාතකයන් ඝාතනය නො කළ බවට ඔප්පු කරන, සොරුන්, සොරකම් නොකළ බවට , මත් ද්‍රව්‍ය විකුණන්නන් නො විකුණූ බවට ඔප්පු කර බොරු සාක්ෂි ගොතා සත්‍යවාදියා පරාජයට පත් කර අසත්‍යවාදියාට ජය ලබා දෙන්නට උපක්‍රමයක් යොදන්නෝ උපත ලබන්නේ ඕරම්භික නරකයේ ය. බොරුවෙන් ජීවත් වන්නාගේ ජීවිතය පිරිපුන් නොවෙයි, ඒ තැනැත්තාගේ දත් මෙලොව දී ම පිළිවෙළකට නොපිහිට යි, මුඛයෙන් දුර්ගන්ධය හම යි. මෙවැනි බොරු කාරයෝ ඕරම්භක නරකයට වැටී යම පල්ලන් විසින් ඇද ගෙන ගොස් මුඛය අඬු මඟින් විවර කරවා, ලෝ දිය පොවා, ලෝ ගුලි ගිල්ලවා, ගිනියම් වූ කටු කටේ දමයි. ඒ නිසා කොයි කවුරුත් සත්‍යවාදී බවට ගරු කරමින් ඇත්ත ඇති සැටියෙන් පැවසිය යුතු යි. ‘මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි’ යනුවෙන් බොරු කීමෙන් වැළකිය යුතු යි. එ වැනි සත්‍යවාදී පුද්ගලයාට ධන ධාන්‍ය, මිල මුදල්, කෙත් වතු, ගුණ ධර්මවලින් අඩුවක් නැහැ. එවැන්නන්ගේ ජීවිත පරලොව දී ද සුගතිගාමී වෙයි.

දවසක් සක්දෙව් රජතුමා බොරුවෙන් වළකින පින්වතුන්ට දෙව් ලොවට පැමිණෙන්නැ’යි ඉල්ලීමක් කළා. බොරුවෙන් වළකින්නන් තව්තිසා දෙව්ලොවට පිවිස යස ඉසුරු, සැප සම්පත්, අනුභව කර ,කරදර පීඩා නැතිව ඉහළින් ම සියලු කටයුතු සම්පූර්ණ කරගෙන ඉදිරියට පිවිසෙන්න භාග්‍ය ලැබෙනවා.

තිස්නව වන නරකය අසිලෝම නරකය යි. මිනිස් ලොවෙහි දී කඩු, කිණිසි, කැති, මන්න ආයුධ මඟින් සතුන් මරන, සතුන්ට අමානුෂික වධ හිංසා පමුණුවන්නන් උපත ලබන්නේ අසිලෝම නරකයේ ය. එහි නිරි සතුන්ගේ සිරුරේ ලෝමවලින් කඩු, කිණිසි, ඊතල , කෙටේරි ආදිය දරුණු අවි ආයුධ මැවෙමින් නිරි සතාටම ඇණෙනවා. තමන්ගේ සිරුරේ ඇති ලෝම ගස් කෙටේරි සේ වැඩෙනවා. මේවා සිරුරේ ඇණී වේදනාවෙන් නිරි සතුන් කෑ මොර දී, විළාප නැඟුවත් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. කරන ලද පාපයේ විපාකය තමා ම විඳිය යුතු ම යි. එක භවයක නොවෙයි, අනන්ත භවයන් හි (ජාති) අපායේ ම දුක් විඳින්න සිදු වෙන නිසා මේ භයානක පාප කර්මයන්ගෙන් වැළකී සුගතියක ම වාසය කරන්න.

ඇතැම් රහතන් වහන්සේලා පෙර භවයන් හි කල්ප ලක්ෂයක් ම වැඩ සිටියේ දෙව් ලොව යි. ඒ උතුමෝ පාරමී පුරන සමයේ සතුන් මැරීම, සොරකම, කාම මිත්‍යාචාරය, බොරු කීම, මත් ද්‍රව්‍ය පාවිච්චිය ආදී පාපයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකී, පින්වන්ත , ගුණවන්ත , නැණවන්ත ජීවිත පෙළක් ගත කළා. දාන , ශීල, භාවනා, පින්කම් ආදියෙහි විපාක වශයෙන් ඒ උතුමෝ දෙව් ලොව උපත ලැබුවා.

බුදු පසේ බුදු, මහ රහතන් වහන්සේ පහදා දුන් ඒ නිවැරැදි මඟ ම ගමන් කළොත්, අපට නොවරදවා ම යහපත් තැනක වාසය කළ හැකි යි. ශීලයෙන්, සමාධිය, සමාධියෙන් ප්‍රඥාව , ප්‍රඥාවෙන් විමුක්තිය, විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශන ආදිය පිළිවෙළට තථාගත ධර්මයට අනුව කටයුතු කර දියුණුවක් යහපතක් සලසාගෙන ඉක්මන් භවයක දී ම ශාන්ත අමා ලක්ෂණ නිර්වාණ සුවය ලබත්වා!

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 23 වන දා අඟහරුවාදා අපර භාග 10.34 ට ලබයි. 24 වන දා බදාදා අපර භාග 10.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]