UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්මා දිට්ඨියේ පිහිටමු

සම්මා දිට්ඨියේ පිහිටමු

අපේ ශාසනයේ යම් ව්‍යසනකාරී තත්ත්වයක් වර්තමානයේ දී ඇතිව තිබෙනවා. ඇතැම් අය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අගෞරව කරනවා. ආර්යයන් වහන්සේට අගෞරව කිරීම් සිදු කරනවා. තම තමන්ට හිතු මතේට මත පළ කරනවා. ඒ නිසා අද මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන් විශාල වශයෙන් වික්ෂිප්ත ස්වභාවයට පත් වී සිටිනවා. මේ නිසා සැබෑ ධර්මය කුමක් ද? අධර්මය කුමක් ද? තේරුම් ගැනීමට අපහසු වී තිබෙනවා.

ඒ ඇයි? මේ ජනතාව බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවන් හරිහැටි අධ්‍යයනය කර නෑ. ඉගෙනගෙන නෑ. ඒ නිසා සැබෑ බුද්ධ වචනයට අනුකූල ව ධර්මයේ පිහිටන සැබෑ ආකාරය පිළිබඳ ව මේ පිරිසට කරුණු පැහැදිලි කරදීමට අපට වගකීමක් තියෙනවා.

එදා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන්, පන්සියයක් මහරහතන් වහන්සේගේ සහභාගීත්වයෙන්, අජාසත්ත මහරජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් යුතු ව සප්තපර්ණී ගල් ගුහාවේ දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූණා. එදා සංගායනා වූ ඒ උතුම් ශ්‍රී මුඛ දේශනාව අදටත් අපට ඒ ත්‍රිපිටකගත ධර්මය තුළින් ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ නිසා ඒ දේශනාවල තියෙන කරුණු විශ්වාස කිරීම තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රධාන ම ලක්ෂණය යි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නේ නැති, උන්වහන්සේගේ සරණ යන්නේ නැති, ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්නේ නැති පුද්ගලයාට විශාල තර්ජනයක් තියෙනවා. ඒ තමයි සතර අපායේ උප්පත්තිය ලැබීම ට, මෙන්ම විවිධාකාරයේ ව්‍යසනයන්ට ගොදුරුවීමට සිදුවීම.

වර්තමානයේ අත්තනෝමතික ලෙස විවිධ අදහස් පළ කරන පිරිස් මේ සමාජයේ පහළ වී සිටිනවා. ඒ අය බොහෝ විට උත්සාහ කරන්නේ තමන් ධර්මය අවබෝධ කරගෙන සිටින බව පැවසීමට යි. මේ අය මහා බිහිසුණු කතා ප්‍රකාශ කරනවා. එවැනි කතාවක් මෑතක දී කෙරුණා.

ඒ ප්‍රකාශය සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකළ අපේ මල්වතු පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව විසින් සිය ගුරුවරයාගේ ඉල්ලීම පරිදි ශිෂ්‍ය භාවයෙන් සහ මල්වතු පාර්ශ්වයෙන් ඉවත් කරනු ලැබුවා. ඒ වගේම අසත්‍ය ධර්ම පළකරන තවත් භික්ෂූන් ගණනාවකට දැඩි ලෙස අවවාද කළ බවත් දැන ගන්නට ලැබුණා. මෙවැනි එඩිතර පියවරක් ගැනීම සම්බන්ධ ව අපේ මහානායක මාහිමිපාණන් වහන්සේට අප මේ අවස්ථාවේ දී කෘතවේදීත්වය පිරිනමන්නට ඕනෑ.

අද මේ දේශනාවේ දී මා කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් ම මේ ආර්ය උපවාදය පිළිබඳව යි. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා යැයි පැවසීමත් මහා ආර්ය උපවාදයක්. යම්කිසි කෙනෙක් ඒ වගේ ප්‍රකාශ කළොත්, සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අගෞරව කළොත්, පරිභව කළොත්, ආර්ය උපවාද කළොත් ඒ තැනැත්තාට එකොළොස්වැදෑරුම් වූ ව්‍යසනයන්ට මුහුණ දීමට සිදුවන බැව් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. උන්වහන්සේ අංගුත්තර නිකායේ හයවන කොටසේ ඒකාදසක නිපාතයේ නිසේස වර්ගයේ ව්‍යසන සූත්‍රයේ දී මෙසේ දේශනා කරනවා.

අනධිගතං නාධිගච්ඡති, අධිගතං පරිහායති, සද්ධම්මස්සන වොදායති, සද්ධම්මේසු වා ආධිමානිකො හොති. අනිභිරතො වා බ්‍රහ්මචරියං චරති, අඤ්ඤතරං වා සංකිලිට්ඨං ආපත්තිං ආපජ්ජති, සික්ඛං වා පච්චක්ඛාය හීනයාවත්තති, ගාළහං වා රොගාතංකං ඵුසති, උම්මාදං වා පාපුණාති චිත්තක්ඛේපං, සම්මුළේහා කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති

අනධිගතං නාධිගච්ඡති - නො ලැබු මාර්ගඵල ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තමන්ට මෙතෙක් ලබා ගන්නට බැරි වූ සෝවාන්, සෘකදාගාමී, අනාගාමී, අර්හත් ආදී ඒ මග ඵල ලබන්නට මේ පුද්ගලයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

අධිගතං පරිහායති – තමන් විසින් ලබාගෙන තිබෙන ධ්‍යාන ආදිය පිරිහී යනවා. යම්කිසි කෙනෙක් පළවෙනි ධ්‍යානයට, දෙවැනි ධ්‍යානයට, තුන්වැනි ධ්‍යානයට හෝ හතරවැනි ධ්‍යානයට පත්ව ඉන්නවා නම්, ඒ සියල්ල පිරිහී යනවා. අපට මතකයි එදා දේවදත්ත ධ්‍යාන ලැබූ අයෙක්. අහසින් ගමන් කිරීමේ හැකියාව පවා තිබුණා. නමුත් බුදුරජාණන්වහන්සේට විරුද්ධකම් කරන්නට සූදානම් වූ මොහොතේ සිට ම ධ්‍යාන පිරිහී ගියා. අද නිරයේ නිරාදුක් විඳිනවා.

සද්ධම්මස්ස න වොදායති - සද්ධර්මය තුළ එයාට දියුණුවක් ලබන්න බැහැ. කොපමණ උත්සාහ කළත් ධර්ම මාර්ගය දියුණු කරගන්න බැහැ.

සද්ධම්මේසුවා අධිමානිකො හොති සද්ධර්මය තුළ තමා යම් ආකාරයක දියුණුවකට පත්වෙලා කියලා අධිමානයකට පත්වෙනවා. මම දැන් සෝවාන් වෙලා ඉන්නේ, සකෘදාගාමී වෙලා ඉන්නේ, අනාගාමී වෙලා ඉන්නේ, අර්හත් වෙලා ඉන්නේ. මට මේ විදිහේ බල තියෙනවා. ඥාන තියෙනවා කියලා අධිමානයට පත්වෙනවා. එවැනි ඇතැම් පිරිස් අද මේ සමාජයේ ඉන්නවා. මේ පුද්ගලයෝ මීට පෙරත් මේ ආර්ය උපවාදය කරගෙන ඇති. ඒ නිසා යි මේ ජීවිතයේ දී ත් මේ අය අධිමානයට පත්වෙලා ඉන්නේ.

අනභිරතොවා බ්‍රහ්මචරියං චරති – ඒ පුද්ගලයාට නිවන්මගේ සිත අලවා වාසය කරන්න බැහැ. අපේ රටේ බොහෝ පිරිසක් ඉන්නවා. අපිට නිවන් දකින්න පස්සෙ පුළුවන්’, ‘අපට කරන්න වැඩ කොයිතරම් තියෙනවද?’ කියලා නිවන ගැනම ගර්හා කරනවා. බඹසර වාසයේ හැසිරීමට කැමැති නැහැ. ඒකට හේතුව මොකක් ද? සබ්‍රහ්මචාරීන් වහන්සේට, ආර්යයන් වහන්සේලාට උපවාද කිරීම. අගෞරව කිරීම.

අඤ්ඤතරංවා සංකිලිට්ඨං
ආපත්තිං ආපජ්ජති -

යම්කිසි කිලිටි ආපත්තියකට පත් වෙනවා. සිල් රකින්න කොතරම් උත්සාහ කළත්, සීලය රැක ගන්න ලැබෙන්නේ නැහැ. විවිධ ආපත්තිවලට පත්වුණා ම ධර්මය තුළ දියුණුවක් ලබන්න බැහැ. ඇතැම් විට භික්ෂූත්වය නැතිවන විදිහේ ආපත්තිවලට පත්වෙනවා.

සික්ඛංවා පච්චක්ඛාය හීනයාවත්තති -

ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා උපැවිදි වෙනවා. අපේ සමාජයේ අනන්තවත් සිටිනවා සිවුරක් දරාගෙන හිටියට එහි දිගට රැඳී ඉන්න බැරිව උපැවිදි වන අය. සිවුරක් දරාගෙන සිටීමට තරම් පින නැතිවුණාම ඒ තත්ත්වයට පත්වෙනවා.

ගාළහංවා රෝගාතංකං ඵුසති – දරුණු වූ රෝග පීඩා ආදිය වැළඳෙනවා. අප දන්නවා මිනිස්සුන්ට විවිධාකාරයේ භයානක ලෙඩ රෝග හැදෙනවා. සංසාරයේ දී ආර්ය උපවාද කරගෙන ආර්යයන් වහන්සේට සබ්‍රහ්මචාරීන් වහන්සේට ගරහා කිරීම, ආක්‍රොස පරිභව කිරීමේ විපාක හැටියට මේවා සිදු වෙන්නේ.

උම්මාදංවා පාපුණාති චිත්තක්ඛෙපං -

චිත්තවික්ෂෝපය නම් වූ උමතුබවකට පත්වෙනවා.තමන්ගේ මනස විකෘතිභාවයට පත්වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයකට පත්වෙනවා. ආර්ය උපවාදයන් කරගත් පිරිස. ඇතැම් භික්ෂූන්වහන්සේත්, ගිහිපිරිසත් මේ කිසිවක් දරන්නේ නැතිව මිත්‍යා මතවල පැටලිලා පවු කන්දක් සිදුකරගන්නවා.

සම්මුලේහා කාලං කරොති – මැරෙන මොහෙතෙදි සිහිය මුලාවී මැරෙනවා. සිහිය මුලාවී මරණයට පත්වුණොත් හොඳ ලෝකයකට යන්නට ලැබෙන්නේ නැහැ. මරණින් පසු අනිවාර්යයෙන් ම සතර අපායට යනවා.

කායස්ස භෙදා පරම්මරණා අපායං

දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති

කය බිඳී මැරුණට පසු ව අපාය, දුග්ගති, විනිපාත නම් වූ නිරයේ උපදිනවා. බුදුරජාණන් වහන්සේට ආර්යයන් වහන්සේට, මාර්ගඵලලාභී උත්තමයන්ට අපවාද කළොත් ඒ වගේ ම සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ආක්‍රොස පරිභව කළොත් මේ එකොළොස් වැදෑරුම් වූ ව්‍යසනයන්ට පත්වෙන්න සිදුවෙනවා. මෙවැනි දේ අතීතයේ දී ත් සිදු වුණා. එදා අපට මතකයි බුදුරජාණන් වහන්සේට ආක්‍රොස පරිභව කළ විවිධ බමුණන්ට, අන්‍යාගමිකයන්ට, භික්ෂූන්ට මරණින් පසු නිරයට යාමට සිදුවුණා. දේවදත්ත, කෝකාලික, සුනක්ඛත්ත, කටමෝරතිස්ස යන සියලු දෙනා අද නිරයේ වැටී පැහි පැහී සිටින්නේ.

වර්තමානයේ ඒ තැනට යන්න සුදානමින් ඉන්න කණ්ඩායම තමයි බුදුරජාණන් වහන්සේ ඉපදුණා ලංකාවේ කියල කියන්නේ. බොරුවට මාර්ගඵල ධ්‍යාන ලබාදෙන බව පවසන, රහත් යැයි පවසන සියලු දෙනාමත් මේ කාණ්ඩයට අයත් වෙනවා. ඔවුන් පසුපස ගමන් කරන පිරිස් මේ ව්‍යසනවලින් එකකට හෝ අනිවාර්යයෙන් ගොදුරු වෙනවා.

අප මේවා ඉස්මතුකර පෙන්වන්නේ බොහොම කරුණාවෙන්.

ඒ නිසා සබ්‍රහ්මචාරීන් වහන්සේට ආක්‍රොස පරිභව කරන්න එපා. ආර්ය උපවාද කරන්න එපා. එහෙම කළොත් ඔබට මේ එකොළොස් වැදෑරුම් වූ ව්‍යසනයන්ගෙන් එක්තරා ව්‍යසනයකට පත්වෙන්නට සිදුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ඔබ එවැනි අවාසනාවන්ත කෙනකු නොවී, මේ ව්‍යසනයන්ගෙන් ගැලවී සම්මා දිට්ඨියේ පිහිටා මේ භයානක වූ සංසාර දුකෙන් නිදහස් වී ඉක්මනින් ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා නිවනින් සැනසෙන්න. ඔබ සියලු දෙනාටම ඒ උතුම් භාග්‍ය වාසනාව උදාවේවා.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 23 වන දා අඟහරුවාදා අපර භාග 10.34 ට ලබයි. 24 වන දා බදාදා අපර භාග 10.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]