UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතොසින් ඇසුවොත් මෙදහම් මනහර -  සැබැවින් සිදුවෙයි සගමොක් සිරිසර

සතොසින් ඇසුවොත් මෙදහම් මනහර -  සැබැවින් සිදුවෙයි සගමොක් සිරිසර

ජීවිතය , ලෝකය හා සමාජය පිළිබඳ දැනුම ලබාගැනීම පිණිස මිනිස්සු විවිධාකාර වූ ක්‍රමෝපායයන් භාවිත කරති. ශ්‍රැතිය, ශ්‍රවණය හෙවත් කන් යොමු කිරීම දුරාතීතයේ සිටම පැවති එක් එක් ප්‍රබල විධි ක්‍රමයෙකි. විද්වතා, දැනුම ඇත්තා යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තා ය.

උසස්, අර්ථවත් දැනුමත්, විධිමත් ඵලදායක පිළිවෙතත් කරා ප්‍රජාව යොමුවන්නේ මූලිකව ම ගුරුවරයාට, දේශකයාට කන්දීම තුළින් යැයි බුදු දහම පෙන්වා දෙයි. පාලි සූත්‍රාන්තයන් හි නිබඳව ම හමුවන පහත දැක්වෙන විස්තරය මෙහි දී සිහියට නැගෙයි.

“මෙහි අර්හත් වූ ...තථාගත තෙමේ ලොව පහළ වෙයි. හේ ආදියෙන් නිවරද වූ දහම් දෙසයි. ගෘහපතියෙක් හෝ ඒ දහම අසයි. හේ ශ්‍රද්ධාව උපදවන්නේ පැවිදි වෙයි. ශික්ෂාපද සමාදන් ව වෙසෙයි.”

මේ අනුව ශාසන බ්‍රහ්ම චර්යාවෙහි නිරත වීමට යමෙකු යොමු වන්නේ ධර්ම ශ්‍රවණය තුළිනි. අනුපූර්ව ශික්ෂණයෙන්, අනුපූර්ව ක්‍රියාවෙන්, අනුපූර්ව ප්‍රතිපදාවෙන් කෙසේ නම් රහත් බව ලබන්නේ දැයි පැහැදිලි කරන බුදුදහම මෙසේ පෙන්වා දෙයි.

“මෙලොව උපන් සැදැහැ ඇති තැනැත්තා (ගුරුන් කරා) එළඹෙයි. එළඹ ඇසුරු කරයි. ඇසුරු කරනුයේ ඇසීමට කන් යොමයි. යොමුකළ කන් ඇත්තේ දහම් අසයි. අසා මතකයෙහි තබා ගනියි. නුවණින් අරුත් විමසයි. වටහා ගනියි. රුචිය උපදවයි. වෙර දරයි. සසඳා බලයි. භාවනාවට යොමුවෙයි. පරම සත්‍ය පසක් කරයි.”

බුද්ධ වචනය පිළිබඳ බහුශ්‍රැත භාවය නොවේ නම්, පිටක සම්ප්‍රදායයෙහි නිපුණතාවය ආර්ය මාර්ගයට අවතීර්ණ ව සිටින භික්ෂුවකට අවශ්‍යම කරුණකි. “මහණෙනි භික්ෂුව සැදැහැවත් වුව ද, සිල්වත් වුව ද, බහුශ්‍රැත නොවන්නේ නම්, ඔහු අපරිපූර්ණ වන්නේ ය.කවර නම් උපායෙකින් මම සැදැහැයෙන් සිල්වත් වූයෙම්. බහුශ්‍රැත වූයෙම්, වෙම් දැයි එම භික්ෂුව එම අංග පිරිය යුතු ය. මෙසේ (බහුශ්‍රැත බව ද ඇති කල්හි) ඒ භික්ෂුව පිරිපුන් වන්නේය” යනු බුද්ධ වචනයයි. භික්ෂුව විසින් පර්යාප්ති ශාසනය පිරිය යුතු ය. “මේ සසුනෙහි භික්ෂූන් , සූත්‍රය, ගෙය්ය. වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය. අද්භූත ධර්මය, වෙදල්ලය යන ධර්මය ප්‍රගුණ නොකරත් නම්, එය සද්ධර්මයේ අතුරුදන් වීමට හේතුවන ප්‍රථම කරුණ යැයි” බුදුරජාණන් වහන්සේ වදාළහ. මේ අනුව ධර්ම ශ්‍රවණය හා ධාරණය ද ඔස්සේ උපයා ගන්නා ව්‍යක්ත බව බුදු දහමෙහි ඉතා වැදගත් කරුණක් ලෙස සලකාගෙන ඇත. ශ්‍රැතිය ධනයෙකි. (සුත ධනං) “මේ සස්නෙහි මහණ ශ්‍රැතධර වූයේ, රැස්කර ගත් ශ්‍රැති ඇත්තේ බහුශ්‍රැත වෙයි. ආදි මධ්‍ය පරියොසාන කල්‍යාණ වූ අර්ථ ව්‍යංජන සහිත වූ කේවල පරිපූර්ණ වූ පිරිසුදු බඹසර පළ කරත් නම්, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දේ ය. මහණෙනි, මේ සුත ධනය යැයි කියනු ලැබේ.” එසේ බහුශ්‍රැත වීම ථෙරකරණ ධර්මයකි. බෞද්ධ පැහැදිලි කිරීම අනුව ප්‍රඥාව ත්‍රිවිධාකාර ය. චින්තාමය, ශ්‍රැතමය හා භාවනාමය යනුවෙනි. මෙහි ශ්‍රැතමය ප්‍රඥානම් ඉහත දක්වන ලද පරිදි ධර්ම ශ්‍රවණය හා ධාරණය ද ඔස්සේ උපදවාගත් ප්‍රඥාව ය.

මෙසේ ධර්ම ශ්‍රවණයේ වැදගත්කම හා අවශ්‍යකත්වය ද, බුදු දහම නොයෙක් නයින් පෙන්වා දෙයි. එහිලා විචාර පූර්වක මධ්‍යස්ථ ආකල්පය අවශ්‍ය බව ද පෙන්වා දෙයි. බුදුරදුන් දහම් දෙසනුයේ ශ්‍රාවකයන්ට එය දැඩිව ගැනීම පිණිස නොවේ. ඔවුනට දුකින් එතෙර වීමට මග පෙන්වනු සඳහා ය. බුද්ධ වචනයේ ධර්මය උපමා කොට ඇත්තේ පහුරකට ය. එය එතෙරවනු පිණිස මිස කර ගසාගෙන යාමට නොවේ. ශ්‍රැතිය , ශ්‍රවණය ප්‍රමාණත්වයෙන් ගෙන ශුද්ධිය, විමුක්තිය ලැබේ යැයි සලකාගත් බුද්ධ කාලීන අනුස්සවිකයන්ගේ පිළිවෙත බුදුන් වහන්සේ බැහැර කළහ. එහෙත් උන්වහන්සේ ශ්‍රැතිය සපුරා බැහැර නො කළහ. ධර්ම ශ්‍රවණයෙන් ම විමුක්තිය ලද නොහැකි ය. ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාවෙහි හැසිරිය යුතු ය. එහෙත් එසේ පිළිවෙතකට එළඹීමට ධර්ම ශ්‍රවණය පාදක වේ. දහම් දෙසීමට සුදුස්සෝ කවරහු ද? නුසුදුස්සෝ කවරහුදැයි ධර්ම විනයෙහි ම සඳහන් වේ. බුදුරදුන් දහම් දෙසනුයේ සුදුසු පුද්ගලයන්ට ය. ඔවුහු දහම් ඇසීමට සුදුස්සෝය. මක්නිසාද යත් ධර්මයෙහි ඇල්ම ද, නිවන් මග යෑමේ අපේක්ෂාව ද ඇති බැවිනි. බණ අසන්නෙකු වෙත තිබිය යුතු සුදුසුකම් අටකැයි පෙළ දහමෙහි දැක්වේ.

සැදැහැවත්කම ඇති තැනැත්තෙකු වීම,

ධර්ම ශ්‍රවණය සඳහා ම එළඹි අයෙකු වීම,

බුදුරදුන් වෙත එළඹ උන්වහන්සේ ඇසුරු කිරීම,

ප්‍රශ්න කරන්නෙකු වීම,

සාවදාන ව ධර්මය ශ්‍රවණය කරන්නෙකු වීම,

අසන ධර්මය හොඳින් සිත්හි ලා දරන්නෙකු වීම,

සිත්හි ලා දරා ගත් ධර්මය අරුත් විමසන්නෙකු වීම හා

අර්ථය ද, ධර්මය ද, දැන එහි හැසිරෙන්නකු වීම යනාදි යයි.

ධර්ම දේශනා කිරීමට බුදුරදුන් යොමු වන්නේ ශ්‍රාවකයා මෙම සුදුසුකම් ඇත්තෙකු වූ විට ය. භික්ෂූන් විසින් දහම් නො දෙසිය යුතු පුද්ගලයන් රැසක් ‘සේඛියා’ නම් වූ භික්ෂු ආචාර ධර්ම මාලාවෙහි දක්නා ලැබේ. ඔවුන් සැලකිය යුත්තේ ශ්‍රවණයට නුසුදුස්සන් ලෙසයි. ඉහත කී ගුණ හා නැමියාවන් නැත්තවුන් මෙන් ම, පහත සඳහන් වන්නේ ද දහම් ඇසීමට නුසුදුස්සෝ වෙති. ඔවුනට දහම් නොදෙසිය යුතු යැයි භික්ෂු ප්‍රාති මෝක්ෂයේ සේඛියාවන් හි දැක්වේ.

ගිලනකු නොවේ නම් පාවහන් පැළඳ සිටින්නා, ගිලනකු නොවේ නම් යානාවක නැගී සිටින්නා, ගිලනකු නොවේ නම් සයනයක සිටින්නා, ගිලනකු නොවේ නම් පාදුකාවෙක නැගී සිටින්නා , ගිලනකු නොවේ නම් හිස වෙළාගෙන සිටින්නා, ගිලනකු නොවේ නම් හිස වසාගෙන සිටින්නා, තමා බිම හිඳ සිටිද්දී අසුනක සිටින (ගිලන් නොවූ) තැනැත්තා, තමා පහත් අසුනක සිටිද්දී උස් අසුනක සිටින (ගිලන් නොවූ) තැනැත්තා, තමා සිටගෙන සිටිද්දී හිඳගෙන සිටින ( ගිලන් නොවූ) තැනැත්තා, තමා පසුපසින් යද්දී පෙරටුව යන (ගිලන් නොවූ) තැනැත්තා හා තමා මහ මග යද්දී අතුරු මග යන (ගිලන් නොවූ) තැනැත්තා වශයෙනි.

මෙබඳු පුද්ගලයෝ ශ්‍රද්ධා හීනයෝ ය. ධර්මයෙහි නිසි ගෞරව නැති ව, නොසැලකිල්ලෙන් දහම් අසන්නෝ ය. එ බැවින් ඔවුනට දහම් දෙසීමෙන් වැළකිය යුතු යැයි කියන ලද්දේ ය. මේ හැර ධර්ම ශ්‍රවණය කරන නමුදු එයින් නිසි ඵල ලැබීමට අසමත් වන්නෝ ද වෙති. ඔවුන් හඳුන්වා ඇත්තේ කුසල ධර්මයන් පිරීමෙන් ආර්ය මාර්ගයට පිවිසීමට නොහැක්කවුන් ලෙස ය. සූත්‍රාන්තයන් අනුව ඔවුන් මෙසේ දැක්විය හැකි ය. ධර්ම කථාවට පරිභව කරයි , ධර්ම කථිකයාට පරිභව කරයි , දහම් අසන තමාට පරිභව කරයි , විසිරුණු සිතින් දහම් අසයි, නුවණින් මෙනෙහි නො කරයි , ජඩ වූයේ කෙලතොළු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි, “නොදත් දෙය දනියි” යන මාන ඇත්තේ වෙයි , ගුණමකු සිතින් මඩනා ලද්දේ දහම් අසයි, ධර්ම දේශකයා කෙරේ ක්‍රෝධ සිත් ඇත්තේ වෙයි යනුවෙනි.

මේ සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ දහම් අසන්නා සැදැහැවත් එනම්, ආගමික සංවේදීතාවයෙන් යුතු, සිනිඳු සිත් සතන් ඇති, එසේ ම ධර්මයෙහි අව්‍යාජ අපේක්ෂා ඇති විචක්ෂණ තැනැත්තෙකු වීම දේශනයෙහි නිසි ඵල ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බව ය.

“මහණෙනි , ශ්‍රද්ධා රහිතයාට ශ්‍රද්ධාව පිළිබඳ කතා දුෂ්කථා ය, දුස්සීල තැනැත්තාට සීලය පිළිබඳ කථා දුෂ්කථා ය. අල්ප ශ්‍රැතයාට බහුශ්‍රැත බව පිළිබඳ කථා දුෂ්කථා ය. මසුරු හට ත්‍යාග කථා දුෂ්කථා ය. දුෂ් ප්‍රාඥයාට ප්‍රඥාව පිළිබඳ කථා දුෂ්කථා ය.”

මහණෙනි, ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධාව පිළිබඳ කථා සුකථා ය. සිල්වතාට ශීලය,පිළිබඳ කථා සුකථා ය.බහුශ්‍රැතයාට බහුශ්‍රැත බව පිළිබඳ කථා සුකථාය.ත්‍යාගී තැනැත්තාට ත්‍යාගවන්තකම පිළිබඳ කථා සුකථා ය. ප්‍රඥාවන්තයාට ප්‍රඥාව පිළිබඳ කතා සුකථා ය.

මෙසේ ශ්‍රද්ධාදී ගුණයෙහි නො පිහිටි තැනැත්තේ ධර්ම කතාව උසස් කොට නොසලකයි. අගය නොකරයි. ඉන් රසයක් අර්ථයක් උරා නොගනියි. ශ්‍රද්ධාදී ගුණ ඇති කල්හි ම ධර්ම කතාව අගය කිරීම ද, එහි ඵල ලබාගැන්ම ද වේ. “අනර්ථය සිදුකරන වචන දහසක් ම වුව ද උතුම් නොවන්නේ ය. අර්ථවත් වූ ද, සංසිඳීමට හේතුවන්නා වූ ද එකම වචනය උතුම් ය.” අනර්ථකාරි ගාථා (දහම් පද) දහසක් හෝ සියයක් කියනු ලැබුව ද උතුම් නොවේ. සංසිඳීමට හේතුවන එක ම ගාථාව . දහම් පදයම ශ්‍රේෂ්ඨය යන බුදු වදනයි.

සුදුසු කල්හි බණ ඇසීම මංගල කරුණකි. එනම් දියුණුවට හේතු වන්නකි. දේශනාව අනුව ධර්ම ශ්‍රවණයෙහි ආනිසංස පහකි. නො ඇසු විරූ දෙය අසන්නේ ය – (තමන් වෙත නැති දැනුමක් ලබාගත හැකි ය) ඇසූ දෙය පිවිතුරු වන්නේ ය – ( තිබෙන දැනුම වඩාත් පිරිසුදු දැනුමක් කරගත හැකි ය)

සැක දුරු කරන්නේ ය – (තමන් තුළ ඇති සැක සහිත දැනුම සැක දුරු වීමෙන් නිරවුල් කරගත හැකි ය) දෘෂ්ටිය ඍජු කරන්නේ ය – (ලෝකය හා ජීවිතය පිළිබඳ නිවැරැදි ඍජු දැක්මක් උපදවාගත හැකි ය) සිත පහදින්නේ ය – (ශ්‍රද්ධාව උපදවාගත හැකි ය) මෙසේ උසස් දැනුමක්, දැක්මක්, ප්‍රසන්න මානසික සුවයක් උදා කර ගැන්මට ධර්ම ශ්‍රවණය උපකාරි වන්නේ එය විධිමත් ව සිදුකිරීමෙන් පමණකි.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 23 වන දා අඟහරුවාදා අපර භාග 10.34 ට ලබයි. 24 වන දා බදාදා අපර භාග 10.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]