UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත් වී වදාළ මහෝපාධ්‍යාය අලුත්ගම ධම්මානන්ද නා හිමි

අපවත් වී වදාළ මහෝපාධ්‍යාය අලුත්ගම ධම්මානන්ද නා හිමි

"මියන්මාර් රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලද අලුත්ගම ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විවිධ ප්‍රදේශවල ජාතික, ආගමික කටයුතුවලදී මුල් තැනක් ගෙන ක්‍රියා කළහ. "

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය ධුරන්දර ව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම නිමිත්තෙනි.

මහනුවර දිසාවේ තුම්පනේ පළාතේ අලුත්ගම දී මහඅරඹේ දුක්ගන්නාරාලලාගේ කිරිබණ්ඩා නිලමේ තුමා සහ යටිනුවර හේරත් මුදියන්සේලාගේ රන්මැණිකා දම්පතීන්ගේ පුත්‍ර රත්නයක් ව 1915 නොවැම්බර් 22 වන දා උපත ලැබූ කුමරු මුරුද්දෙණිය විද්‍යාලයෙන් හා ඉඩමේගම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබී ය.

1934 සැප්තැම්බර් 06 වන දා පහමුණේ සිරි සුමංගලාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ සහ අම්පිටිය දළුක්ගොල්ල විහාරවාසී අලුත්ගම බෝගහපිටිය විහාරාධිපති අලුත්ගම පියදස්සි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛකොට පැවිදි බිමට පත් විය.

1935 නොවැම්බර් 08 වන දා අලුත්ගම පියදස්සි නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ. උන්වහන්සේ මහනුවර සංඝරාජ පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කාලය ද ශ්‍රමය ද කැපකළ උන්වහන්සේ 1936 දී අම්පිටියේ මහින්ද දහම් පාසල ආරම්භ කළ අතර, 1950 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දහම් පාසල ආරම්භ කළහ. එමෙන් ම 1950 දී මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ සුචරිත දහම් පාසල සහ 1951 දී සංඝරාජ දහම් පාසල ද ආරම්භ කළහ. මල්වතු මහා විහාරයේ කඨින පින්කම 1944 සිට සිදු කරගෙන ආහ. 1944 දී සංඝරාජ ගුණානුස්මරණ සමිතියත්, 1957 දී සංඝරාජ කාන්තා සමිතියත් අරඹා වැලිවිට සිරි සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම නිමිත්තෙන් සංඝරාජ ගුණානුස්මරණ පින්කම් මාලාව ද සිදු කරගෙන එනු ලැබූහ. මහනුවර රෝහලේ බෞද්ධ සුබ සාධක සේවාවක් 1949 ඇරැඹූ අතර මහනුවර කඩවත් සතර ඇතුළු ගඟවට කෝරළයේ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ධූරය වසර විසි පහක් පුරා දැරූහ. මහනුවර විවිධ සමිති සමාගම්හි විවිධ නිලතල ඉසිලූහ.

1940 දී පහමුණේ සිරිසුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ වෙතින් කර්මාචාර්ය පදවිය ලබාගත් උන්වහන්සේ 1972 දී ශ්‍රී දළදා මාළිගාවේ තේවා ධූරය ද සිදු කළහ.

1987 දී සිරිමල්වත්තේ ආනන්දාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක මා හිමිපාණන් වහන්සේ වෙතින් කාරක සංඝ සභික පදවියට පත් වූ අතර, සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ වෙතින් 1989 දී උපාධ්‍යාය ධූරයට ද පත් වූහ.

මල්වතු මහා විහාරයේ පෞරාණික චාරිත්‍ර පිළිබඳ මනා අවබෝධයෙන් කටයුතු කළ උන්වහන්සේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සභික කැටයාපතනේ ශ්‍රී පියදස්සී ස්වාමීන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍යයන් අට නමක් ද සසුන් කෙතට දායාද කළහ. මියන්මාර් රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලද අලුත්ගම ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විවිධ ප්‍රදේශවල ජාතික, ආගමික කටයුතුවලදී මුල් තැනක් ගෙන ක්‍රියා කළහ.

පැවිදි දිවියේ දීර්ඝ කාලයක් ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේ නමක් ලෙස සසුන් කෙතට ලැදිව කටයුතු කොට වසර 103 ක් ආයු වළදා ඉකුත් දා (30) අපවත් වී වදාළ මහෝපාධ්‍යාය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඉකුත් 06 වන දා සිදු කෙරිණි. උන්වහන්සේට ප්‍රාර්ථනා කළ බෝධියකින් නිර්වාණ සුව ලැබේවා යි ප්‍රාර්ථනා කරමු.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 23 වන දා අඟහරුවාදා අපර භාග 10.34 ට ලබයි. 24 වන දා බදාදා අපර භාග 10.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]