UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අදින් ඇරැඹෙන්නේ කඨිනත්ථාර සමයයි

අදින් ඇරැඹෙන්නේ කඨිනත්ථාර සමයයි

කඨිනස්ස අත්ථාර මාසෝ ජානි තබ්බෝති
වස්සානස්ස පච්ඡිමෝ මාසෝ ජානි තබ්බෝ

වස්සාන සෘතුවෙහි අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දත යුතු ය.
(පරිවාර පාලිය)

ඇසළ පුණු පොහෝ දිනයෙහි පොහෝ පවුරුණු සිදුකොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹි සියලු භික්ෂූන් වහන්සේලා අදට යෙදෙන වප්පුර පොහෝ දිනයෙහි වස් පවාරණය කිරීම ශාසනික නියමය යි. එය මහා පවාරණය නමින් ද හැඳින්වේ. මෙතැන් සිට ඉල් පුර පොහෝ දිනය දක්වා වූ කාල සීමාව කඨිනාස්ථර කාලය හෙවත් චීවර මාසය යනුවෙන් හඳුන්වනු ලැබේ. උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් විසූ සියලු විහාරස්ථානයන් හී කඨින චීවර පූජාවන් සිදු කිරිම කෙරේ. මෙම උතුම් චීවර පූජාව මතු නොව සිවුරු ඇතිරීම වසර 2600 කට අධික ඉතිහාසයකට හිමිකම් කියයි. ලක්වැසි ජනතාව වසර 2300 ඉක්ම වූ කාල පරාසයක සිට මෙම උතුම් පින්කම සඳහා යොමුව, මහත් ශ්‍රද්ධාවෙන් යුතු ව සිදු කරන අයුරු දැක ගත හැකි ය. ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේ දී දුරාතීතයේ සිටම අපේ නරපතියන් බොහෝ දෙනෙකු මෙම මහා පින්කම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකර ඇති අයුරු දැක ගත හැකි වේ. එම රජවරුන් අතර මහා පරාක්‍රමබාහු රජතුමා අසූ මහා ශ්‍රාවක පූජාවක් ලෙස එක් දිනක ස්ථාන අසූවක දී අසූ නමක් පමණ වූ තෙරවරුන් සඳහා කඨින චීවර පූජාවන් පිදීමේ මහා පින්කමක් පිළිබඳ ව සඳහන් වේ. එමෙන් ම සවෙනි පැරකුම්බා නිරිඳුන් ද ත්‍රී සිංහලයෙහි ම වස් විසූ භික්ෂූන් වහන්සේ සඳහා කඨින චීවර පූජා පැවැත් වූ බව සඳහන් වනවා. එසේ ම කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ ආදී බොහෝ රාජරාජ මහා මාත්‍යවරුන් මෙම උදාර පින්කම මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතු ව සිදුකොට ඇති අයුරු අපේ ඉතිහාසය මඟින් අනාවරණය කොට ඇත.

මෙම මහා පින්කමෙහි ආරම්භය සිදු වන්නේ අදින් තෙමසකට පෙර දී ය. එනම් ඇසළ පුර පොහෝ දිනයෙහි ආරම්භ ව එතැන් සිට ගෙවී ගිය මාස කිහිපය ඇතුළත ඒ ඒ විහාරස්ථානයන් හි වස් වැසවීම සඳහා මූලික දායකත්වය ලබා ගත් දායක දායිකාවන් ඇතුළු සෙසු දායකවරුන් ද දිනපතා තම විහාරස්ථානවල විවිධ පූජා පින්කම් සිදුකරන ලද ආකාරය ප්‍රකට වූවකි. බුද්ධ පූජා, බෝධි පූජා ධර්ම දේශනා ආදී විවිධ පින්කම් සංවිධානය කරන ලද්දේ, ඒවායෙහි නියැළුනේ මෙම මහා පින්කමෙහි පරිවාර පින්කම් වශයෙනි. කඨිනත් ථාර කාලය හෙවත් චීවර මාසය ඇතුළත සිදුකළ යුතු මෙම මහා පින්කම ජන වහරෙහි වස් පින්කම, කඨින මහා පින්කම යනුවෙන් නම් කොට තිබේ. මේ මහා පින්කමෙහි ඇති ශක්තිමත් බව, අකම්ප්‍ය බව, නොබිඳෙන බව, ස්ථාවර බව, “කඨින” යන වචනයෙහි ගැබ් ව ඇති අතර මහා ගරුක පුණ්‍ය ක්‍රියාවක් ලෙස ධර්මයෙහි විස්තර කෙරේ. එ පමණක් නොව ලොව්තුරා බුදුවරයන් වහන්සේලා ද මේ සඳහා සහභාගි ව ඇතිවා සේ ම, උන්වහන්සේලාගේ මහත් වර්ණනාවටද ලක්ව ඇති මහා පින්කමකි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මිල මුදල් තිබූ පමණින් හෝ තමා කැමැති දිනයක හෝ මාසයක දී කළ හැකි පින්කමක් නොවීම ය. විහාරස්ථානයක කළ හැකි වන්නේ වසරකට එක් කඨින දානමය පින්කමක් පමණි. අට මහා පින්කම් ලෙස අපේ ධර්මයෙහි හඳුන්වා දෙන ප්‍රධාන පුණ්‍ය කර්ම නම් කිරීමේ දී “කඨිනට්ඨ පරික්ඛාරං.....” යනා දී වශයෙන් කඨින පූජා පින්කම එහි ප්‍රමුඛත ම පින්කම ලෙස හඳුන්වා දී ඇති අතර අටපිරිකර පූජාව, සංඝාවාස පූජාව, බුදු පාමොක් මහා සඟනට දන් දීම, ධර්ම පුස්තක ලියවීම, කෙත්වතු පූජාව, බුද්ධ ප්‍රතිමා කරවීම, වැසිකිළි කරවා පූජා කිරීම, යනාදිය සෙසු පින්කම් ලෙස දක්වා ඇත.

කඨින චීවර මහා පින්කම පිළිබඳ ජනවහරෙහි එන ප්‍රකට උපමාවක් ද ඇත. චෛත්‍යයක් සාදවා එහි කොත පැළඳවීමට මෙම මහා පින්කම සමාන කිරිම එම උපමාව ය. තෙ මසක් මුළුල්ලේ සිදු කරන ලද ඉහත සඳහන් පරිවාර පින්කම් චෛත්‍යයේ ඉදිකිරීම්වලට සමාන වන අතර, වැඩ නිම වූ සෑරදුන්ගේ කේතු පිලන්දනය, එහි නිමාව සනිටුහන් කරන අසිරිමත් අවස්ථාව වේ. කඨින චීවර පූජා පින්කම් ද එයට සමාන කර ඇත්තේ එය එක් දිනකින් කළ නොහැකි, ජන සමූහයකගේ ඒකරාශී වීමෙන් සිදු කළයුතු දුර්ලභ ගණයේ අසිරිමත් පින්කමක් වීම නිසා ය.

එක් විහාරස්ථානයක, එක් වසරක සිදු කළ හැක්කේ එක් කඨින පින්කමක් පමණක් නොව, එම විහාරස්ථානයේ ම වස් විසූ, වස් ශික්ෂාපදය ආරක්ෂා කළ භික්ෂුවක් හැර වෙනත් භික්ෂුවකට කඨින චීවරයක් පිළිගැනීමට හිමිකම් නො ලැබේ.

භික්ෂු සංඝයා විෂයෙහි පූජා කරන කඨින වස්ත්‍රයෙන් සකස් කරන ලද චීවරය සීමා මාලකයක දී අදාළ ඉහත සුදුසුකම් සපුරා ඇති භික්ෂුවකට බහුතර භික්ෂු සංඝයාගේ අනුමැතියෙන් පැවරීම සිදු කරනු ලැබේ. ඒ අනුව කඨින චීවරලාභී භික්ෂුවකට විනය ප්‍රඥප්තීන් කීපයක් සීමිත කාලයක් තුළ ලිහිල් ව භාවිත කිරීමේ පඤ්චවිධ ආනිසංසයක් ලැබෙන බව ද විනය ග්‍රන්ථයන්හි සඳහන් වේ. කඨින චීවර දානමය මහා පින්කම සිදු කරන දායක දායිකාවන්ට ද සාමාන්‍ය චීවර දහසක් හෝ ඉන් වැඩි ප්‍රමාණයක් හෝ පූජා කිරීමෙන් ලද නොහැකි මහා කුසලස්ඛන්දයක් මෙම එකම කඨින චීවර පූජාවකින් ලැබිය හැකිවීම මෙහි ඇති අසිරිමත් බවට සාධකයකි. තුන් සිවුරෙන් එක් සිවුරක් සඳහා අවශ්‍ය අලුත් වස්ත්‍රයක් හෝ මසා නිමකොට ඇති චීවරයක් කඨින චීවරදානය වශයෙන් පූජා කළ හැකි බව සඳහන් වනවා පමණක් නොව විහාරස්ථානයකට අවශ්‍ය විවිධ ගරු, ලඝු භාණ්ඩ කඨින චීවර පූජාව සමඟ පූජා කිරීම සඳහා ද බොදුනුවන් පුරුදු ව ඇත. මෙම මහා කඨින පූජාවට සම්බන්ධ ව කෙරෙන එම පිරිකර පූජාවන් අතර එදින පූජා කරන ඉතා සුළු පරිත්‍යාගයකින් පවා කඨින ආනිසංස ලැබෙන බව සඳහන් වන අතර ආනන්තරිය පාපකර්මය වැනි මහා පාප කර්මයන් හැර සාමාන්‍ය පව්කම්වල බරපතල බව අඩු කිරීමට ද මෙම මහා පින්කම සමත් වන බව ධර්මයෙන් ප්‍රකාශිත ය.

අප දැක ඇති ලාඕස්, කාම්බෝජ, තායිලන්ත බුරුම සහ වියට්නාම ජාතික බෞද්ධයන් සිදු කරන මෙම මහා පින්කම තමන්ට ආවේණික පිළිවෙලකට අනුව ඊට අදාළ පාලි වාක්‍ය ආදිය ද ඔවුන් විසින් ම ප්‍රකාශ කරමින් සිදු කරන අයුරු ඉතා විචිත්‍ර බව සඳහන් කළ යුතුව ඇත. නගරයෙහි මහා මන්දිරයෙහි සිට ඈත එපිට ගම්මානවල කුඩා පැල්පත දක්වා බොදුනුවන් එකසේ උනන්දුවෙන් සිදු කෙරෙන මෙම මහා පින්කම එ දවස අප විසින් දැක ඇත්තේ වෙනස් වූ ආකාරයකටය. පූජා කිරීමට නියමිත වස්ත්‍රය අලුතින් ම සකස් කළා මතු නොව සකස් කරන ලද නියමිත වූ වස්ත්‍රය ගම් පියස පුරා රැගෙන ගොස් බොහෝ දෙනාගේ පූජාවට ලක් කොට හිමිදිරියේ හේවිසි හඬින් හා මහා සාදු නාදයෙන් යුතුව විහාරස්ථානයට ගෙනවිත් පූජා කරන සාමූහික පින්කමක් ලෙස ප්‍රකට ය. එහෙත් වර්තමානය වන විට මෙහි විවිධ වෙනස්කම් දක්නට ලැබෙනවා මතු නොව මෙම උතුම් පින්කම කිසියම් තරගකාරී බවකට අවතීරණ ව ඇති බවක් ද දක්නට ලැබේ. බොහෝ විට නගරබද ව දක්නට ලැබෙන මෙම ප්‍රවණතාවය තුළ කඨින චීවර පූජා පෙරහරකට තරම් නොගැළපෙන විවිධ අංගයන් ද එකතු වී තිබීම සතුටු විය හැකි කරුණක් නොවේ. කෙසේ නමුත් මෙම පින්කම් විචිත්‍ර ව සිදු නොකළ යුතුය යන්න මින් අදහස් නොකෙරේ. එහෙත් තමා විසින් සිදු කරනු ලබන මෙම උතුම් පින්කමෙහි මූලික පරමාර්ථයට හානියක් නොවන ලෙස කඨින මහා පින්කම් සංවිධානය කර ගැනීම ඉතා වැදගත් වන බව ද සඳහන් කළ යුතුව ඇත.

වප් පුර පොහෝ දිනය වූ අදින් කඨිනත්ථාර සමය ඇරඹෙනවා පමණක් නොව බුද්ධ චරිතයෙහි මෙන් ම ශාසන ඉතිහාසයෙහි ද වැදගත් සිදුවීම් රාශියක් සිදු වී ඇති බව අනාවරණය වේ. තථාගතයන් වහන්සේ සක් දෙවිඳුන්ගේ පඬුපුල් අසුනෙහි වස් වසා වැඩ හිඳ වස් පවාරණය කොට සංකස්ස නගරද්වාරයට වැඩමවා තීර්ථක මං බිඳීම සඳහා යමාමහ පෙළහර දැක්වීම සහ එම අසිරියෙන් ප්‍රමුදිත මෙතේ බෝසත්තුමා නියත විවරණ ලැබ පැවිදි වූයේ ද අදවන් දිනයක දී ය. එමෙන් ම සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග තනතුරු ලැබීම ද මෙදින සිදු වූ අතර, ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ සඟමිත් තෙරණිය වැඩමවා ගැනීම සඳහා මහා අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිස ධර්මාශෝක රජුට සංදේශයක් රැගෙන පිටත්ව ගොස් ඇත්තේ ද වප් පුර පොහෝ දිනයකදී ය. පසු කාලීනව පැවිද්දට පත් මහා අරිට්ඨ මහා රහතන් වහන්සේ සිදු කරන ලද විනය සංගායනාව සිදුකරන ලද්දේ ද වප් පුර පොහෝ දිනයක වන අතර මෙවන් වූ මහා අසිරිමත් සිද්ධීන් ද සැලකිල්ලට ගනිමින් ඉදිරියේ සිදුවන කඨින මහා පින්කම්වලට ද සහභාගී වෙමින් සසරින් එතෙරවීම සඳහා තව තවත් උත්සාහවත් විය යුතු බව අවධාරණය කළ යුතු ව ඇත.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 23 වන දා අඟහරුවාදා අපර භාග 10.34 ට ලබයි. 24 වන දා බදාදා අපර භාග 10.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]