Print this Article


ශ්‍රී දළදා පුරාණය - 18:  අසිරිමත් සිරි දළදා ඉතිහාසය

අසිරිමත් සිරි දළදා ඉතිහාසය

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ ශරීරය මහා පුරුෂ ලක්ෂණ තිස්දෙකකින් සමන්විත වන බව සූත්‍ර දේශනාවන්හි සඳහන් වේ. එයින් මහා පුරුෂ ලක්ෂණ හතරක්ම ශ්‍රී මුඛය හා සම්බන්ධ වේ.

බුදුරජාණන් වහන්සේ පෙර ආත්මභවයන්හි දී කේළාම් නොකීමත්, සියලුදෙනාට ප්‍රියමනාප වන අයුරින් මිහිරි වචනම කතා කිරීමත්, ශ්‍රී මුඛය තුළ මහා පුරුෂ ලක්ෂණ හතරක් පිහිටීමට හේතු වී ඇති බව සඳහන් වේ.

ජනප්‍රවාද ඉතිහාසයෙහි සඳහන් වන පරිදි මහනුවර දළදා මාළිගාවේ දැනට තැන්පත් කොට ඇත්තේ හතර දළදා වහන්සේලාගෙන් වම් යටි හණුවට අයත් දළදා වහන්සේ ය. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට පෙර කරන ලද අධිෂ්ඨානයක ප්‍රතිපලයක් වශයෙන් ආදාහන චිතකයේ දී ලලාට ධාතුව, හකු ධාතු දෙනම, සතර දළදා වහන්සේලා යන ධාතූන් වහන්සේලා හැර ඉතිරි ධාතූන් වහන්සේලා ඉතා කුඩා කැබලිවලට විසිරී ඇත. ඛේම නම් රහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේ ඉතා සූක්ෂම ආකාරයෙන් ආදාහන චිතකයෙන් පිටතට වැඩමවා කළිඟු රට බ්‍රහ්ම දත්ත රජුට බාර දී ඇත. ඒ රජු විසින් මහාර්ඝ මන්දිරයක තැන්පත් කළ දළදා වහන්සේ ඔහු පුත් කසී රජු ද, ඔහු ඇවෑමෙන් සුනන් ද නම් රජු විසින් ද පුදන ලදී. එම පරපුරේ සිටි ගුහසීව රජු මිසදිටු වෙස් ගෙන දළදා වහන්සේ උදෙසා පැවැත්විය යුතු පූජා නැවැත්වූ නමුත් ඔහු පසු කලෙක බෞද්ධයකු වී දළදා වහන්සේට ගෞරවනීය පුද පූජා පවත්වා ඇත.

එකල පාටලී පුත්‍ර නගරයේ විසූ පාණ්ඩු හෙවත් පඬි රජු නිගණ්ඨයින්ගේ කීමට අවනතව දන්ත ධාතූන් වහන්සේ තමන් වෙත ගෙන්වා ගෙන අඟුරු වළක දමා දවන්නට නියෝග කළේය. දළදා වහන්සේ නොදැවෙනු දුටුවිට කිණිහිරක දමා කුඩු කරන්නට නියෝග කළේය. කිණිහිර තුළ භාගයක් ගිලී ගොස් ගලවා ගන්නට නොහැකි වූයෙන් සිටු පුත්‍රයෙක් සත්‍ය ක්‍රියා කොට කිණිහිරෙන් මුදවා ගත්තේය. එයින් නොපැහැදුණු රජු දළදා වහන්සේ පිළිකුල් කටයුතු දිය අගලක දැව්වේය. දිය අගලෙන් පියුමක් මෙන් බැබළී උඩට පැන නැගුණ අසිරිමත් දන්ත ධාතූන් වහන්සේ දුටු විට රැස්ව සිටි පිරිස සාධුකාර දෙන්නට විය. ඒ අවස්ථාවන්හි දළදා වහන්සේ විවිධාකාරයේ ප්‍රාතිහාර්යය පාන්නට යෙදී ඇත. දළදා වහන්සේ නැවත දන්ත පුරයට ගොස් තැන්පත් කළ පසු ඛීරධාර නම් රජෙකු ගුහසීව නම් රජු සමඟ යුධ පිණිස ආවේය. . ගුහසීව රජු යම් හෙයකින් යුද්ධයේ් දී පරාජය ට පත්වුවහොත් දළදා වහන්සේ ලංකාද්වීපයට වැඩම කරවා භාරදෙන ලෙසට තමාගේ බෑනණුවන් වූ දන්ත කුමරුවන්ට බාර විය.ඉන් අනතුරුව ගුහසීව රජු පරාජයට පත්වන බව දැනගත් දන්ත කුමරු තම භාර්යාව වූ හේමමාලා කුමරිය සමඟ දළදා වහන්සේ වැඩමකරවා ඇත එවකට ලංකාවේ රාජ්‍ය කළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ රාජ්‍ය සමයේ එනම් , ක්‍රි. ව. 310 දී දළදා වහන්සේ ලංකාවට වැඩම කරන්නට යෙදී ඇත. දළදා වහන්සේ ලංකාවට වැඩම කරවූ දා සිට රජදරුවන්ගේ හා සාමාන්‍ය මහජනතාවගේ ගෞරවයට හා පූජාවට පාත්‍ර වූ වෙනත් පූජනීය වස්තුවක් මිහිපිට නැති තරම්ය.

පෙර සිටි සියලු රජවරු හා මැති ඇමැතිවරු විසින් දළදා පූජාවෙහි නිරත වෙමින් දළදා වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා වර්තමානය දක්වාම පුදපූජාවන් පවත්වනු ලබයි. දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස ද, මෙරට රජවරු අතර පිළිගැනීමක් තිබිණි. දළදා වහන්සේ තමන් සතුකරගනිමින් ශ්‍රී ලංකා රාජ්‍යත්වයට පත් වූ බොහෝ රජවරු ජාතික ආපදාවන්හි දී දළදා වහන්සේ විවිධ ස්ථානයන්හි සඟවාගනිමින් ආරක්ෂා කරන්නට යෙදුණි. ඒ අනුව දළදා ඉතිහාසය තුළ ලංකා ඉතිහාසයෙහි ඉතා වැදගත් ්කොටසක් වන්නාසේ ම එම ඉතිහාසය පැහැදිලි කරමින් දළදා වහන්සේ අරමුණු කරගනිමින් විවිධ වකවානුවලදී සාහිත්‍යයක් ද ගොඩනැගුණි. මහා වංශයේ සඳහන් තොරතුරු පදනම් කරගෙන දළදා වහන්සේ උදෙසා කරන ලද පුද පූජාවන් ගෞරවාදරයෙන් යුතුව සඳහන් කළ හැකිය. දළදා වහන්සේගේ වංශ කතාව සඳහා පොළොන්නරුවේ රජකළ ලීලාවතී රැජිනගේ කාලයේ ධර්මකීර්ති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ රචනා කරන ලද දාඨා වංශය ඉතා වැදගත් කෘතියක් ලෙස සැලකිය හැකිය. දාඨා වංශය හා මහා වංශය සඳහන් තොරතුරු පදනම් කරගෙන දළදා වහන්සේගේ ඉතිහාසය දක්වන පාලියෙන් රචනා කරන්නට යෙදුන දාඨා වංශය රචනා කිරීමෙන් අනතුරුව දළදා වහන්සේ උදෙසා විවිධ කාලවකවානුවලදී පුදපූජාවන් පැවැත්වූ ආකාරය පිළිබඳ තොරතුරු ඇතුළත් ග්‍රන්ථ රාශියක් රචනා වී ඇත. ඒ අතර දළදා සිරිත , දළදා පූජාවලිය , දළදා වරුණ දළදා විත්තිය දළදා හටන, දළදා වංශය දළදා වංශ කතාව දළදා පුද ආදී වශයෙන් සඳහන් කළ ග්‍රන්ථ ද මහනුවර යුගයේදී දළදා කතා, දළදා පූජාව, දළදා පූජා විස්තරය, දළදා කව, දළදා නැමැදුම, ආදී පාලි සහ සිංහල පද්‍ය වලින් දළදා වහන්සේ උදෙසා කරන ලද ග්‍රන්ථ රාශියක්ද දැකිය හැකිය. දළදා හාමුදුරුවන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් පසුව දළදා වහන්සේ පදනම් කරගනිමින් බොහෝ සිරිත් විරිත් ගොඩනැඟී ඇත. දළදා වහන්සේ වැඩම කළ මුල් යුගයෙහි දී ඇසළ මාසය කේන්ද්‍ර කරගනිමින් දළදා පෙරහර පවත්වා ඇත.

මහනුවර යුගය වන විට විවිධ කරදර බාධකවලට ලක්වූ දළදා වහන්සේ රැකගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා දළදා වහන්සේ විවිධ ස්ථානයන්හි සඟවා ගනිමින් ආරක්ෂා කරගත් ආකාරය සාහිත්‍ය හා ඉතිහාසගත තොරතුරු ගවේෂණය කිරීෙමි දී දැකගත හැකිය. විමලධර්මසූරිය රජු විසින් මහනුවර ඉඳිකරන්නට යෙදුන දළදා මන්දිරය තුළ දළදා හාමුදුරුවන් වහන්සේ වඩා හිඳුවා පුදපූජා පවත්වා ඇත. කාලානුරූපීව ඇතිවූ පෘතුගීසි , ලන්දේසි, ඉංග්‍රීසි හා විදේශීය ආක්‍රමණවලදී දළදා වහන්සේ වැඩසිටි ස්ථානයෙන් වෙනත් ස්ථාන කරා වැඩම කරවා විවිධාකාරයෙන් සඟවා ගනිමින් පුදපූජා පවත්වා ඇත. ඉන් අනතුරුව ඉංග්‍රීසි යටත් විජිත සමයේදී දළදා වහන්සේ නැවතත් මහනුවරට වැඩමවා බුදුදහම ප්‍රමුඛස්ථානයෙහි තබාගනිමින් දළදා වහන්සේගේ අයිතිය මල්වතු අස්ගිරි උභයමහා විහාරයන්ට පවරා පුදපූජාවන් පැවැත්වීමට, පෙරහර පැවැත්වීමට අවස්ථාව සලසා දී ඇත. අනතුරුව මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහානායක මා හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ද, ගිහි බාරකරු ලෙස කටයුතු කරන දියවඩන නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් ද වර්තමානය දක්වාම විවිධ පුද පූජාවන් සිදුකරනු ලබයි. එයින් දෛනික පූජා වශයෙන් හඳුන්වනු ලබන අලුයම පූජාව, නවපෑ පූජාව, හැන්දෑ පූජාව වශයෙන් පූජා තුනක් පැවැත්වේ. උදෑසන පූජාව , දහවල් බුද්ධ පූජාව ද සවස් යාමය තුළ ගිලන්පස පූජාව පවත්වනු ලබයි. දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා ගිලන්පස පූජාවන් දෙකක් පවත්වනු ලබයි. දළදා හාමුදුරුවන් වහන්සේ වැඩසිටි කුටිය විවෘත කර පුදපූජාවන් පැවැත්වීමෙන් පසු නියමිත වේලාවටම දොර වසා දැමීම එවකට සිටි තේවාව බාර නායක හාමුදුරුවන් වහන්සේලා විසින් සිදු කර ඇත. කීර්තී ශ්‍රී රාජසිංහ රජු විසින් ගිලන්පස පූජාව රැගෙන පැමිණි විට නියමිත ෙවිලාව පසුව තිබිමෙන් දළදා හාමුදුරුවන් වහන්සේට ගිලන්පස පූජාකිරීමට නොහැකි විය. නියමිත වේලාවට නොපැමිණීම හේතුවෙන් උළුවස්ස පාදය මත ගිලන්පස පූජාව පැවැත්වීමට සිදුවිය. . එම අවස්ථාව නිමිති කරගනිමින් පූජාවන් දෙකක් පැවැත්වීමට වර්තමානය දක්වාම කටයුතු කර ඇත. ඊට අමතරව වාර්ෂික පූජාවන් ලෙස අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, කාර්තික මංගල්‍යය හා පෙරහර මංගල්‍යය වශයෙන් මංගල්‍යය හතරක් වාර්ෂිකව සිදුකරනු ලබයි. අලුත් සහල් මංගල්‍යය සෑම වර්ෂයකදී ම ජනවාරි මාසයට යෙදෙන දුරුතු පොහොය නිමිති කරගෙන සිදුකරනු ලබයි. දළදා මාළිගාවට අයත් කුණ්ඩසාලේ සහල් ගබඩාවෙන් සහ අනෙකුත් විහාර දේවාලවලට බෙදාදෙනු ලබන සහල්වලින් සහල් සේරු අසූවක දානය පිළියෙළ කර මාළිගාවට අයත් මහකිරිගොඩ පාත්‍රය පුරාවාගෙන දිනපතා පූජා කරන බුද්ධ පූජාවත් සමඟ එම පූජාවද සිදුකරනු ලබයි. අලුත් අවුරුදු මංගල්‍යය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් සිදුකරනු ලබන චාරිත්‍රයක් ලෙස සඳහන් කළ හැකිය. අවුරුදු සංක්‍රාන්තියට කිරි ඉතිරවීමෙන් අවුරුදු දිනය ට කිට්ටු බදාදා දිනයක නානුමුර මංගල්‍යයත් සමඟ සිදුකිරීම එම චාරිත්‍ර අතර දක්නට ලැබේ. පෙරහර මංගල්‍යය සෑම ඇසළ පුර පසළොස්වක මාසය තුළ දළදා වහන්සේ, නාථ විෂ්ණු කතරගම, පත්තිනි යන දෙවිවරුන්ට පුද පූජා පිණිස මහනුවරදී ජූලි මාසය හෝ අගොස්තු මාසයට යෙදී තිබෙන නැකැත්වලට අනුව ඇසළ මංගල්‍යය ආරම්භ කරනු ලබයි. සෑම වසරකම කාර්තික මංගල්‍යය සඳහා ඉල්පොහොය දිනට පෙර දළදා මාළිගාව විසින් සපයන පොල්තෙල් නාථ දේවාලයට රැගෙන ගොස් දළදා මාලිගාව සතර දේවාලය හා සියලු වෙහෙර විහාරස්ථානවලට බෙදා දී එම තෙල්වලින් රාත්‍රී පහන් ආලෝකමත් කරන ප්‍රදීපෝත්සවය කාර්තික මංගල්‍යය ලෙස සඳහන් කළ හැකිය. එම දිනයෙහි දී පෙරහර කරඬුව වීථි සංචාරය කරමින් අලංකාර පෙරහරක් ද දළදා මාලිගාව විසින් පවත්වනු ලබයි. ඊට අමතරව බදාදා දිනයන්හි නානුමුර මංගල්‍යය සිදුකරනු ලබයි.

දළදා මාළිගාවට අයත් සියලු කටයතු පෞරාණික චාරිත්‍ර වාරිත්‍රවලට අනුවම සිදුකිරීම තේවාව භාර නායක ස්වාමීන් වහන්සේ හා මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ නායක මාහිමිපාණන් වහන්සේ ලා හා දියවඩන නිලමේ තුමන් ඇතුලු සියලු දෙනාගේ සහයෝගයෙන් යුක්තව සිදුකරනු ලබයි.

දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව, ගිලන් පස පූජාව පවත්වනු ලබන සැදැහැවතුනට දළදා වහන්සේ වැඩ සිටින කුටිය සමීපයට ගොස් දළදා වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව සැලසී ඇත. විශේෂ වශයෙන් දළදා වහන්සේ වැඩසිටින කුටිය තුළ සමන්පිච්ච මල් පූජා කළ යුතුය. එයට අමතරව සැදැහැති බෞද්ධයන් විසින් සෙසු ආසන මත විවිධ මල්වර්ග පූජා කරනු ඇත. ඒ ඒ යුගවලදී සිටි රජවරු හා රාජ්‍ය බාරගෙන සිටි විදේශිකයන් පවා දළදා හාමුදුරුවන් වහන්සේට ඒ ආකාරයෙන්ම පුද පූජා පැවැත්වූ ආකාරය සඳහන් වේ. වර්තමානයෙහිදීත් ඇසළ මාසයෙහි දී පවත්වන පෙරහර මංගල්‍යය නියමිත ආකාරයට පෙරහර සිදු වූ බවට දියවඩන නිලමේ තුමා විසින් රාජ්‍ය නායකයාට දැන්වීම සිරිතක් ලෙස පවත්වාගෙන එනු ලබයි.


ශ්‍රී දළදා පුරාණය - 17: අතිපූජනීයවූත් ගෞරවනීයවූත් ශ්‍රී දළදා මාලිගාවෙහි විශේෂිත ස්ථාන