UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා පුරාණය - 17: අතිපූජනීයවූත් ගෞරවනීයවූත් ශ්‍රී දළදා මාලිගාවෙහි විශේෂිත ස්ථාන

අතිපූජනීයවූත් ගෞරවනීයවූත් ශ්‍රී දළදා මාලිගාවෙහි විශේෂිත ස්ථාන

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙහි පිහිටා තිබෙන භූමි සැලැස්ම සහ එහි ගොඩනැඟිලි පිළිබඳව ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීමට පැමිණෙන සැදැහැවතුන් විසින් දැනගත යුතු ය. ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන ප්‍රධාන දොරටුව අභියස වාහල්කඩක් පිහිටා ඇත. එම වාහල්කඩින් ඇතුලු වීමත් සමඟ මහමළුව නමින් හඳුන්වන ස්ථානය හමුවේ.

වාරියපොළ සුමංගල නායක මා හිමිපාණන් වහන්සේ , මද්දුමබණ්ඩාරවීරයා ,ඇහැළේපොළ නිලමේතුමන්ගේ පිළිරුවන් මහමළුව තුළ දී අපට දැකගත හැකි ය. එම පිළිරූ සහිත මහමළුව භූමිය පසුකරමින් ඉදිරියට ගමන් ගන්නා සැදැහැවතුනට ශ්‍රී දළදා මාලිගාවේ මහා වාහල්කඩ නමින් හඳුන්වන අලංකාර වාහල්කඩක් හමු වේ. එම වාහල්කඩින් ඇතුලුවීමට පෙර කළුගලින් අලංකාරව නිර්මාණය කරන ලද සඳකඩපහණ සහ පියගැටපෙළ දැකගත හැක. එය දෙපස ඇත් රූප දෙකක් ද වේ. එය ලියවැල් හා නෙළුම්මලින් අලංකාරව නිර්මාණය කරන ලද මහනුවර යුගයට අයත් සඳකඩපහණ ක් ලෙස සඳහන් කළ හැකිය. සඳකඩපහණ හා වාහල්කඩ පසුකරමින් තවදුරටත් ඉදිරියට ගමන් කරන විට, දළදා මාලිගාවෙහි අඹරාව නමින් හඳුන්වන ස්ථානය හමුවේ. මාලිගාවට අතුලුවීමට පෙර ආරක්ෂිත දියඅගල් දෙකක් හා ආරක්ෂිත පාලමක් ඇත. පාලම පසුකිරීමත් සමඟ අඹරාව හෙවත් බිංගෙය නමින් හඳුන්වන ස්ථානයකි. ගලින් නිමවන ලද මකරතොරණ පසුකරමින් තවදුරටත් ඉදිරියට ගමන් කරන විට මාලිගාවේ සඳගල නමින් හඳුන්වන ස්ථානයට පැමිණිය හැකිය. එහි සිට අඹරාව හෙවත් බිංගෙය යටින් ගමන්කිරීමෙන් අනතුරුව දිග්ගෙය නමින් හඳුන්වන ස්ථානයෙහි හේවිසි මණ්ඩපය දැකගත හැකි ය. දිග ශාලාවක ස්වරූපයෙන් පිහිටා තිබීමෙන් එය දිග් ගෙය නාමයෙන් හඳුන්වා ඇත. මහනුවර යුගයේ දී සකස්කරන ලද ගල්කණු 20ක් දිග් ගෙය තුළ දැකගත හැකිය. දිග්ගෙය ඉදිරිපසින් වැඩ සිටින මාලිගාව දිස් වේ. හේවිසි මණ්ඩපය ඉදිරියෙන් ඇති පැරැණි තෙමහල් වැඩසිටින මාලිගාව වටා ගල්කණු 26ක් දක්නට ලැබේ. එය වැඩසිටින මාලිගාව නමින් හඳුන්වා ඇත.

පහතමාලය හා උඩමාලය යනුවෙන් මහල් දෙක හඳුන්වා ඇත. පහතමාලය ඉදිරිපිට ද සඳකඩපහණක් දැකිය හැකිය. එය සඳගල නමින් හඳුන්වයි. සඳකඩපහණ පිහිටා ඇති ස්ථානයෙහිම ඇත්දත් වාහල්කඩ නමින් හඳුන්වමින් ඇත් දළින් අලංකාර කර ඇත. ඇත්දත් වහල්කඩ පසුකරමින් පහතමාලයෙන් ඇතුල්වන විට පැරැණි දිග්ගෙය නමින් හඳුන්වන ස්ථානයෙහි විදේශීය රටවලින් හා නොයෙක් ස්ථානයන්ගෙන් ලැබුණු මැණික්, රිදී රත්තරන් ආදියෙන් නිර්මාණය කරන ලද බුදුපිළිම වහන්සේලා හා ඉතා වටිනා කෞතුක භාණ්ඩ ද දැකගත හැකිය. එහි ඇතුළත ගලින් නිර්මිත මකර තොරණක් සහිත දොරටුවකින් යුක්තවන ගබඩා කාමරය සහ අරමුදල නමින් කාමරයක් වේ. එම ස්ථානයෙන් ඉහළට පිවිසීමට කුඩා පියගැට පෙළක් ද, වේ. පහත මාලයේ සිට පියගැට පෙළින් උඩට නගින විට හඳුන්කුඩම නමින් හඳුන්වන ස්ථානය හමු වේ. එම මාර්ගයට අමරතරව එම ස්ථානයට පිවිසිය හැකි වෙනත් මාර්ග ද ඇත. එය උඩමාලයේ සිට පැමිණෙන ස්ථාන ලෙස සඳහන් කළ හැකි ය.

දෙවන මාලයෙහි ගෙපලුම් බරාදය නමින් හඳුන්වන ස්ථානයෙහි ද වැඩසිටින කුටියට මුහුණ ලා දොරටු දෙකක් දක්නට ඇත. හදුන්කුඩම බිත්තියෙහි අලංකාර ස්ථානයක් ලෙස ද, හඳුන්කුඩම වටේට මහනුවර යුගයට අයත් චිත්‍ර දක්නට ලැබේ. කොටි ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී දළදා මාලිගාවට ප්‍රහාර එල්ලකරන ලද අවස්ථාවෙහි එම ස්ථානයෙන් ගැලවී ගිය වරිච්චි බිත්තියක පැරැණි බිතුසිතුවම් සහිත ස්ථානයක් ද හමුවී ඇත. ඒ අනුව එහි පළමුවෙන්ම චිත්‍ර කර්මාන්තය පැවැති බවත් එහි මතුපිටින් මහනුවර යුගය ආරම්භක රාජධානි අවස්ථාෙවි දී එම බිතුසිතුවම් නැවත ප්‍රතිසංස්කරණය කිරීමත් කළ බව සඳහන් වේ. ඉන් අනතුරුව වැඩසිටින මාලිගාවට දකුණු පස කත්තියන මන්දිරය නම් ස්ථානය වේ. බුද්ධ පූජාව , ගිලන්පස පූජාව කත්තියන මන්දිරයට තුළ සිදුකරනු ලබයි.

උඩමලුවෙහි ගද කුටියට පිටුපසින් සළු මණ්ඩපය නමින් හඳුන්වන ස්ථානයෙහි දළදා වහන්සේ වැඳගැනීමට පැමිණි පැරැණි රජවරුන් තම රාජ ආභරණ හා සළු ගලවා පසෙක තබා ශ්‍රී දළදා හාමුදුරුවන් වහන්සේ වන්දනාමාන කර ඇත. උඩමාලයේ හඳුන්කුඩමට දකුණු පස කවිකාර මඩුව නමින් හඳුන්වන ස්ථානයෙහි නානුමුරු මංගල්‍යය පැවැත්වෙන දිනයන්හි, පොහොය දිනයන්හි, පෙරහර මංගල්‍ය අවස්ථාවන්හි ශ්‍රී දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා බැති ගී ගයමින් දළදා සිරිත ගායනා කරනු ඇත. ඉන් අනතුරුව ගන්ධ කුටිය හෙවත් වැඩ සිටින මාලිගාව වේ. එය වීදුරුවලින් ආවරණය කර රිදියෙන් නිමවා රන් ආලේපිත කර ඇති විශාල කරඬුක් දැක ගතහැකිය. එම කරඬුව තුළ කරඬු 6 ක් පවතින අතර හේමමාලා නමින් හඳුන්වනු ලබන ඇතුළතම ඇති කුඩා කරඬුවෙහි ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටී. එම කරඬුව විවෘත කරන යතුරු මල්වතු මහා විහාරයේ මහානායක මාහිමි පාණන් වහන්සේත් ,අස්ගිරි මහා විහාරයේ මහා නායක මාහිම පාණන් වහන්සේ සහ දියවඩන නිලමේතුමන් සතුවේ. මහ කරඬුව දෙපස බුරුම රටින් ලැබුණ බුරුම කරඬුව හා පෙරහර කරඬුව තැන්පත් කර ඇත. ප්‍රධාන කරඬුව ඉදිරිපස රනින් නිමවන ලද මල් ආසනයක් වේ. එම ආසනයෙහි සමන්පිච්ච මල් පමණක් පූජා කරනු ඇත. උඩ දිග්ගෙය නමින් හඳුන්වන ස්ථානයෙහිත් පහත මාලය හා සෙසු ස්ථානයන්හිත් පමණක් සෙසු මල් වර්ග පූජා කළ හැකිය. ඒ අනුව දළදා කුටිය සමීපයට පැමිණි පින්වතුන් පූජාව සඳහා සමන්පිච්ච මල් පමණක් රැගෙන පැමිණිය යුතුය. එම මල් තේවාව භාර නායක ස්වාමීන් වහන්සේට බාරදී ස්වාමීන් වහන්සේ විසින් ලබාදෙන මල් පමණක් එම ආසනය මත පූජාකිරීමට අවසර ඇත.

දළදා හාමුදුරුවන් වහන්සේ වැඩසිටින මාලිගාව ඉදිරිපස උඩ දිග්ගෙය නමින් හඳුන්වන ස්ථානය හමුවේ. වන්දනාකිරීමට පැමිණෙන සියලුම සැදැහැවතුනට උඩ දිග්ගෙය නමින් හැඳින්වෙන ස්ථානයෙහි මල්පහන් පූජා කිරීමට අවසර ඇත. මුල්තැන් දානය , අතිරේක දානය , යන විශේෂිත දානය පූජාකරන පින්වතුන් පමණක් දළදා කුටිය තුළට පැමිණීමේ අවසරය ඇත. උඩ දිග්ගෙය තුළ පිරිත් මණ්ඩපය නමින් හඳුන්වන ස්ථානයක් ද වේ. දළදා මාලිගාවෙහි පැවැත්වෙන පිරිත් දේශනාවන්හි විශේෂිත දළදා ප්‍රදර්ශන අවස්ථාවන්හි එම ස්ථානයෙහි සිදුකර ඇත. අලුත් සහල් මංගල්‍ය ය පවත්වන අවස්ථාවන්හිදී ද එම පිරිත් මණ්ඩපය ප්‍රයෝජනවත් වේ.


ශ්‍රී දළදා පුරාණය - 16: ශ්‍රී දළදා මාලිගාව හා බැඳුණු සාම්ප්‍රදායික චාරිත්‍ර

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]