UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 02: දැඩිව ඇලෙන සිත

තෙවළා බුදු වදන් අතරින් 02:

දැඩිව ඇලෙන සිත

සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය ඒකක නිපාතයේ පළමු වග්ගය චිත්තපරියාදන වග්ග නමින් හැඳීන්වේ. චිත්ත යනු සිතයි. පරියාදාන යන්නෙන් අදහස් වන්නේ සිත ඇද බැඳ ගන්නා, සිතට බලපාන, සිත ආකර්ෂණය කරගන්නා යන්නයි. සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා, “මහණෙනි, මේ ස්ත්‍රී රූපය මෙන්, ස්ත්‍රී ශබ්දය මෙන්, ස්ත්‍රී ගන්ධය මෙන්, ස්ත්‍රී රසය මෙන්, ස්ත්‍රී ස්පර්ශය මෙන්, පුරුෂයාගේ සිත් ගන්නා අන් එකදු රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් මම නො දකිමි. එසේම පුරුෂ රූපය මෙන්, පුරුෂ ශබ්දය මෙන්, පුරුෂ ගන්ධය මෙන්, පුරුෂ රසය මෙන්, පුරුෂ ස්පර්ශය මෙන්, ස්ත්‍රියගේ සිත් ගන්නා අන් එකදු රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් මම නොදකිමි”යනුවෙන් දේශනා කළ සේක.

භික්ෂූන් වහන්සේලා පිරිසක් අමතා කළ මෙම සූත්‍ර දේශනාව කොටස් දහයකින් යුක්ත වේ. ඒ සියල්ලෙහි මූලික අන්තර්ගතය නම් ලොව ස්ත්‍රියටත් පුරුෂයාටත් යන දෙදෙනාටම ඔවුනොවුන්ගේ රූපය, ශබ්දය, ගන්ධය, රසය ස්පර්ශය යන පංච විධ අරමුණු හැර සිත් ගන්නා වෙනත් කිසිදු වස්තුවක් හෝ අරමුණක් නොමැති බව පැහැදිලි කිරීම ය. ඒ අනුව පුරුෂයෙකු ස්ත්‍රියගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදියට ආකර්ෂණය වන අතර ස්ත්‍රිය පුරුෂයාගේ රූපයට ශබ්දයට ගන්ධයට රසයට හා ස්පර්ශයට ආකර්ෂණය වේ. පුද්ගලයා තමාගෙන් පරිබාහිර ලෝකය පිළිබඳ අත් දැකීම් ලබා ගන්නේ පංච විධ ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් ය. ඒ අතරින් ස්ත්‍රී - පුරුෂ වශයෙන් සලකා පංච ඉන්ද්‍රියන් මගින් ගන්නා අරමුණු හා අත්දැකීම් දෙපාර්ශ්වයේම දැඩි ලෙස සිත් ඇද බැඳ ගනී. මෙසේ ස්ත්‍රී පුරුෂ වශයෙන් ඔවුනොවුන් එකිනෙකාට ආකර්ෂණය වීම අතිශය සාමාන්‍ය මෙන්ම ගැඹුරු වූවකි. වීතරාගී උතුමෙකුට හැර පුහුදුන් සෑම අයෙකු ට ම මෙම ආකර්ෂණීය බව සාධාරණ වේ. ස්ත්‍රී පුරුෂ වශයෙන් ඔවුනොවුන් කෙරෙහි දැඩිලෙස ආසක්ත වන්නේ ඔවුනොවුන්ගේ රූපය හා සම්බන්ධ වර්ණය හැඩය, අලංකාරය, ශබ්දයට අයත් කථාව හෝ ගායනය, ගන්ධයට අයත් ඔවුනොවුන්ගේ ශරීරයෙන් පිටවන විවිධ ගන්ධයන් හෝ ඇතැම් විටෙක ඔවුනොවුන් භාවිත කරන සුවඳ විලවුන් නිසා වන මනබඳනා සුවඳ, ශරීර ස්පර්ශය නිසා ලබන රසය, කායික ස්පර්ශය නිසා ලබන ආශ්වාදය නිසයි. ස්ත්‍රී පුරුෂ වශයෙන් ඔවුනොවුන් එකිනෙකාට ආකර්ෂණය වන්නේ යට කී පංචවිධ අරමුණු සියල්ල හෝ එයින් කීපයක් හේතුකොටගෙන ය. මෙම ආකර්ෂණය සහජ ය. එසේ ආකර්ෂණය වීම පාපයක් හෝ අකුශලයක් නොවේ. එහෙත් එම ස්වභාවික ආකර්ෂණය හේතුවෙන් වර්ධනය වන කාම රාගය නිසි පරිදි කළමනාකරණය කරගත නොහැකි වූ විටෙක පුද්ගලයා අතින් බොහෝ වැරැදි සිදු වේ. ඇතැම් විටෙක එම කාම රාගය පදනම්කරගත් අකුශල චිත්තවේග නිසා සාදාචාරය නීතිය යුක්තිය ඉක්මවා ක්‍රියාකරයි. ස්ත්‍රී දූෂණය බාලාපචාර හා ලිංගික විෂමාචාර සඳහා පුද්ගලයා යොමුවන්නේ මෙකී සහජ ආකර්ෂණය නිසා ඇතිවෙන කාමය පිළිබඳ චිත්තවේග වැරැදි ආකාරයෙන් ප්‍රකාශ කිරීමට උත්සුක වීමේ හේතුව නිසයි. වැඩිහිටි අය මෙන්ම ළමයි ද ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම පොදු වූ මෙම ධර්මතාව නිසි ලෙස අවබෝධ කර ගැනීමට නොහැකි වීමෙන් අසභ්‍ය දෑ කියවීමටත්, ඒවා නැරඹීමටත් මහත් රුචියක් දක්වති. මිනිස් මනසේ පවතින මෙම සහජ ස්වභාවය ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවාදී පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද විවිධ අසභ්‍ය දෑ නැරඹීමට පාසල් දරුවන් පවා යොමු වී තිබෙන අතර ඒ හේතුවෙන් පරිණත වැඩිහිටියෙකුවීමට පෙර ලාබාල වයසේදී ම ඔවුන් තම අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නා අතරම දෙමාපියන්ගේත්, පාසලේත් ගෞරවයට ද හානිකරයි. උපකාරක පන්තිවල උගන්වන ඇතැම් පරිණත නොවූ තරුණ ගුරුවරුන් විසින් ගැටවර වියේ පසුවන දරුවන්ගේ කාමරාගය හා සම්බන්ධ චිත්තවේග ඇවිස්සෙන අයුරින් වදන් භාවිත කිරීමෙන්ද පෙනී යන්නේ මෙම සහජ ආකර්ෂණය වැරැදි ආකාරයට යොදා ගන්නා ආකාරයයි. විටෙක තම ගුරු ගෞරවය නො සලකා හැසිරෙන අවස්ථාද දැකිය හැකි ය.

ඇතැම් විටෙක තමා සිත් ගත් ස්ත්‍රීය හෝ පුරුෂයා අත්පත්කරගැනීම උදෙසා විවිධ ආකාරයේ අරගලවල නිරතවන පුද්ගලයන් ද දක්නට ලැබේ. එය ඉටුකරගත නොහැකි වූ විටෙක සියදිවි නසා ගැනීමට වුව කෙනෙකු පෙළෙඹිය හැකි ය. නැතහොත් දරුණු සැහැසි ක්‍රියාවලද නිරත වන අවස්ථා තිබේ. මෙම ආකර්ෂණය මැනවින් හඳුනාගෙන කළමනාකරණය කරගත නොහැකිව නිසි වයසට පෙර විවාහයට ඇතුළත් වූ අයගේ ගැටලු සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ග්‍රාමීය සමාජයේ පවත්නා එවැනි එක් ගැටලුවකි බාල වයස් විවාහය. පරිණත භාවයට පත්ව දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ ආශීර්වාදය නොලබා හිතුවක්කාරීව සිදුකරගන්නා එවැනි විවාහ කෙළවර වන්නේ දරුණු ඛේදවාචක සමූහයකින් ය.

ස්ත්‍රී පුරුෂ වශයෙන් ඔවුනොවුන් එකිනෙකා ආලයෙන් හා ආදරයෙන් බැඳෙන්නේ ද මෙකී සහජ ආකර්ෂණය නිසයි. එය ගිහි ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වේ. එහෙත් එයද සමාජ සම්මතයන් හා සදාචාර ධර්ම බිඳ දමා විචාර බුද්ධියෙන් තොරව නොකළ යුතු ය. වැඩිහිටි ආශීර්වාදය ලබා සදාචාර පිළිවෙත්වලට අනුකූලව සිදු කළ හොත් ප්‍රීතිමත් ජීවිතයකට හිමිකම් කිව හැකිය. ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය පිළිබඳ උසස් කලාකෘති මෙන්ම සාහිත්‍ය ග්‍රන්ථ නිපදවී ඇත්තේ ද ඒවා සමාජ පරමාදර්ශයන්ට අනුකූලව පවත්වාගෙන ගොස් ඇති හෙයිනි. එහෙත් ඇතැම් අය ඒ ගැන නොසලකා තම හිතු මනාපය පරිදි ආදරය විඳීන්නට ගොස් ආත්ම ගෞරවයත්, උපයාගත් ධනයත්, සමාජ ගෞරවයත් විනාශ කරගෙන තමා පමණක් නොව අන් අය ද අගාධයකට ඇද දමා තිබේ. ස්ත්‍රී පුරුෂ සහජ ආකර්ෂණය භාණ්ඩ අලෙවි කිරිමේදී වෙළෙඳ දැන්වීම් යටතේ බෙහෙවින් ප්‍රයෝජනයට ගනී. මෙනිසා විශේෂයෙන්ම කාන්තාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව තිබෙන අයුරු දක්නට පුළුවන. නිරුවත් රූප ඇතුළත් දර්ශන සමාජ වේබ් අඩවි හා ජංගම දුරකථන හරහා නරඹන බොහෝ පාසල් දරුවන් මානසික රෝගීන් බවට පත්ව තිබෙන අවස්ථා එමටය. ඒවා අත්හදා බැලීමට යාමෙන් ඔවුන් ළමා අපරාධ කරුවන් බවට පත්ව තිබෙන සිද්ධි ද වාර්තාවේ. මෙම දර්ශනවලට ඇබ්බැහි වූ වැඩිහිටියන්ගේ විවාහය අර්බුදයට ලක්ව තිබේ. ඇතැම් විටෙක වියපත් වැඩිහිටියන් අතින් විවිධ කාම අපරාධ සිදුවන්නේ ද මෙම ආකර්ෂණීය බව නිසි ලෙස පාලනය කරගත නොහැකි නිසාය.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා කළ මෙම සූත්‍රය පැවිදි දිවියක් ගෙවන භික්ෂුවගේ පැවිද්ද අර්ථවත් කරගැනීමට හේතු වේ. මෙම සහජ චිත්තවේගය නිසිලෙස කළමනාකරගත නොහී උමතු බවට පත් මහලු පැවිද්දෙකු (චිත්තත්‍ථරෙ වත්‍ථු) පිළිබඳ එක් පවුතක් ද, රාගයෙන් මුසපත්ව ජීවිතක්ෂයට පත් දහර සාමණේර හිමිවරුන් දෙපළක් පිළිබඳ කථා පුවත් දෙකක් ද ඉහත සූත්‍රයට අදාළ මනෝරථපූරණී අංගුත්තර නිකාය අටුවාවෙහි ඇතුළත් වේ. ගිහි වුව ද, පැවිදි වුවද සහජ චිත්තවේගවල බලපෑම වැළක්විය නොහැකි ය. අවබෝධයෙන් යුක්ත පුද්ගලයාට එකී සහජ ස්වභාවයන් නිසි පරිදි හඳුනාගෙන කළමනාකරණය කරගත හැකිය. ආගම සදාචාරය නීතිය හා යුක්තිය පවතින්නේ එකී චිත්තවේග කළමනාකරණය කරගැනීමට අවශ්‍ය මගපෙන් වීම ලබා ගැනීමට ය. බුදුරදුන් වදාළ චිත්තපරියාදන වග්ගයේ එන විග්‍රහය අතිශය ගැඹුරු මනෝවිද්‍යාත්මක ඉගැන්වීමකි. ස්ත්‍රිය හා පුරුෂයා හැර මිනිසාගේ සිත ඇද බැඳ ගන්නා සිත තුළ පැලපදියම්වන වෙනත් කිසිවක් තමන් වහන්සේ නොදකින බව ප්‍රකාශ කරති. මිනිසා විසින් පරිහරණය කරනු ලබන ඇඳුම් පැළඳුම් විලාසිතා ආදිය මෙම ගැඹුරු මනෝවිද්‍යාත්මක ස්වභාවයේ ප්‍රකාශනයන් ය. මිනිසා ඒ සියල්ල සිදුකරන්නේ ඔවුනොවුන්ගේ ආකර්ෂණය වැඩිකර ගැනීම ප්‍රධාන අවශ්‍යතාව ලෙස සළකාය. පංච ඉන්ද්‍රියන්ගෙන් ගලා එන අරමුණ වලට ප්‍රතිචාර දැක්වීමේ දී සංයමයක් අවශ්‍ය වේ. විචාරයකින් තොරව එන එන අරමුණු වැළඳගෙන ඒවායේ වහලෙකු සේ ක්‍රියාකරන පුද්ගලයාට අස්වැසිල්ලක් නොලද හැකි ය. ලද අරමුණින් මුස පත් නොවී ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීම සහජ චිත්තවේග කළමනාකරණය කරගැනීමේ නිවැරැදි ක්‍රමය වේ.

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]