UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙංකඩගලපුර සිරි දළදා වරුණ:  ඇසළ පෙරහර මංගල්ලය

සෙංකඩගලපුර සිරි දළදා වරුණ: 

ඇසළ පෙරහර මංගල්ලය

සෑම වසරකම ජූලි හෝ අගෝස්තු මාසයේ දී ඇසළ පෙරහර මංගල්ලය සිදුකැරේ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජෝපහාර පිණිස මෙන් ම දළදා පෙරහර පෙරටුකොට පිළිවෙලින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන් හි පෙරහර ද මෙහි ගමන් කරයි.

දෙවියන්ට බැති පුද උදෙසාත්, කලට වැසි ලැබ කෙත්වතු අස්වැන්නෙන් සරුසාරවීම උදෙසාත්, ලක්දිව සංස්කෘතික අභිමානය ලොවට ම විදහා දැක්වීම උදෙසාත් වාර්ෂිකව ඇසළ මාසයේ පැවැත්වෙන සෙංකඩගලපුර මහා සංස්කෘතික මංගල්ලයක් වන්නේ ය.

බුදු දහම තුළින් අපට උරුම වූ හැදියාව, සාරධර්ම, සිරිත්විරිත්, නි්ර්මාණ හා නීතිරීති ආදියෙහි වටිනාකම දෙස් විදෙස් සියලු දෙනාට ම දැකගැනීමට ප්‍රදර්ශනය කරනු ලබන්නේ ව්‍යවහාර වර්ෂයෙන් 310 වැන්නේ සිට බව ද පැවසේ. එදා සිට අද වනතුරු චිරාගත සම්ප්‍රදායානුකූල පුදසිරිත් නොකඩ කොට වාර්ෂික දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය පවත්වයි..

එලෙස ම තම ජීවිත දැක්ම අටලෝදහමට අනුගතව හැඩගස්සවාගත් හෙළ කලාකරුවා ස්වකීය කලා හැකියාවන් හා නිර්මාණ ශක්තිය සමාජයේ මෙන් ම දහමේ උන්තිය උදෙසාත්, ආගම දහම කෙරෙහි ශ්‍රද්ධා භක්තිය ජනිත කරවීම පිණිසත්, කිසියම් වූ ලාභ අපේක්ෂාවකින් තොරව ලෝකයා හමුවෙහි විදහා දක්වනුයේ සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය වේදිකාව කොටගෙන ය.

ඇසළ මාසයේ දී හෝ නිකිණි මාසයන්හි දී සතර දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව පෙරහර ආරම්භ වේ. සම්ප්‍රදායික වශයෙන් කප් වෙන් කිරීම සඳහා තෝරා ගැනෙන්නේ ක්ෂීර වර්ගයේ වෘක්ෂයකි. ඒ සඳහා ඵල නොදැරූ කොස් පැළයක් භාවිත කරන අතර එය පුරුෂ පක්ෂයේ ශාඛයක් ද විය යුතුම ය. තෝරාගත් ශාඛය කොටස් හතරකට වෙන් කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව විෂ්ණු දේවාලය මඟින් නාථ, කතරගම, පත්තිනි යන දේවාලයන් වෙත කප් බෙදාදීම සිදු කෙරේ. පෙරහරින් රැගෙන යන මේ කප නියමිත නැකැත් වේලාවට දේවාලයන්හි ප්‍රධාන කපු මහතා අතින් අදාළ ස්ථානයන් හි සිටුවීම සිදුවේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඇසළ පෙරහර මංගල්ලය කිසිදු අතුරු අන්තරාවකින් තොරව සිදුකිරීමට දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම ය.

සතර දේවාලයන්හි දේවාභරණ වඩමමින් අභ්‍යන්තර පෙරහර පහක් කප වටා ප්‍රදක්ෂිණා කිරීමෙන් අනතුරුව දින පහක් කුඹල් පෙරහර පැවැත්වේ. රන්දෝලි පෙරහර පහක් සහ මධ්‍යම රාත්‍රියේ ගෙඩිගේ විහාරයට පෙරහරක් ද ඇසළ පෙරහර මංගල්ලයට අයත් වේ.

දේවාල ඇතුළත පෙරහරට පසු වීදි සංචාරය කළ පළමු පෙරහර පහේ දී අතීතයේ අලුත් වළං කදක් ගත් කුඹල් කරුවෙකු පෙරහරේ ඉදිරියෙන් ගමන් කිරීමේ සිරිතක් පැවතී ඇත. එසේ රැගෙන ගිය අලුත් වළං ශ්‍රී දළදා මාලිගාවට පූජා කෙරිණි. එම නිසා මෙම පෙරහර මංගල්ලයට කුඹල් පෙරහර යැයි ව්‍යවහාර කළ බව පැවසේ.

වර්තමානයේ ද පළමු කුඹල් පෙරහර මංගල්ලය දිනයේ දී දියවඩන නිලමේතුමා පෙරහරේ ගමන් කරන අතර පසුදින හතරේ දී අනුපිළිවෙලින් සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරු ගමන් කරති. සුදු වර්ණයෙන් යුත් මුල් ඇඳුමෙන් සැරසී නිලමේවරු කුඹල් පෙරහරට සහභාගි වෙති. ඒ කුඹල් පෙරහරේ වර්ණවත් බව අඩු නිසා ය. එමෙන් ම දැල්වෙන පන්දම් හා අලෝකය අඩු ය. සහභාගීවන අලි ඇතුන් සංඛ්‍යාව මෙන් ම නැටුම් හා වාදන ශිල්පීන් ද අඩු ය. වර්ණවත් ඇඳුම් ආයිත්තම් ද නොවේ.

කුඹල් පෙරහර පහට පසුව රන්දෝලි පෙරහර පහක් පැවැත්වේ. රන්දෝලිය යන නාමය අතීතයේ දී අගමෙහෙසියට භාවිත කෙරිණි. පෙරහර මංගල්ලයේ දී සිව් මහා දේවාලයන් වෙනුවෙන් රැගෙන යන දෝලාවන් ද ‘රන්දෝලිය’ නමින් හැඳින්වේ. එසේ හැඳින්වෙනුයේ මෙම දෝලාවන් හි ඒ ඒ දේවාලයන්හි දේවාභරණ වැඩමවීම නිසා ය.

අතීත රාජ සමයේ දී මෙම දෝලාවන් දෙපස රාජ බිසෝවරු හා කුමාරිකාවෝ ගමන් ගත් අතර, වර්තමානයේ දී ඒ ඒ දේවාලයන්හි ආලත්ති අම්මාවරු ගමන් කරති. එමෙන් ම රන්දෝලි පෙරහර වර්ණවත් ය. නිලමේවරු, කලාකරුවෝ ද, අවශේෂ රාජකාරිකරුවෝ ද, වර්ණවත් ඇඳුමෙන් සැරසෙති. කොඩි, සේසත්, අලි ඇතුන් සංඛ්‍යාව ද, සහභාගීවන කලා ශිල්පීන්ගේ සංඛ්‍යාව ද වැඩිවන අතර, දැල්වෙන පන්දම් හා අලෝකය ද වැඩිය. ඒ ආකාරයෙන් වර්ණවත් බවින් වැඩි බව නිසා රන්දෝලි පෙරහර යැයි ද වර්තමානයේ සැලකේ. මෙම පෙරහර අවසන් වන්නේ ඇසළ පුර පසළොස්වක හෝ නිකිණි පුර පසළොස්වක පෝය මුල්කරගෙන ය.

අවසන් මහා රන්දෝලි පෙරහර ඉතා වර්ණවත් අයුරින් අලි ඇතුන්, කලා ශිල්පීන් ද, පන්දම් කරුවෝ ද විශාල සංඛ්‍යාවක් සහභාගීත්වයෙන් පැවැත්වේ. පළමු රන්දෝලි පෙරහර දින නව පෑ බුද්ධ පූජා අවස්ථාවේ දී ආදිවාසී වන්නිල ඇත්තන් ප්‍රමුඛ ආදීවාසීන් මී පැණි පූජාවට පැමිණ පූජා පැවැත්වීම සම්ප්‍රදායික සිරිතක් වශයෙන් ඉටුවේ.

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]