UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමා දොර විවර විය

අමා දොර විවර විය

" කෙලෙස් නිද්‍රාවෙන් නැගිට අඳුරු අවිදු කඩතුරා හැර දහම් ඇසින් ලොව බැලූ මිනිස් ලොව පළමු ශ්‍රාවකයා වූයේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තවුසාණෝ ය. දම්සක් අසා එතුමන් ප්‍රධාන අපමණ දෙව් බඹ පිරිසක් ධර්මාවබෝධය ලබා සුවපත් වූහ. සැදැහැ සිත් මුදා, සවන් යොමා දම් ඇසූ ඔවුනට එදා එලෙසින් අමා දොර විවර විය."

ලොවුතුරා බුදුවීම යනු අසංඛ්‍ය කල්ප විස්සක් පමණ වන් අති දීර්ඝ කාලයක් මුළුල්ලේ, අප්‍රමාණ පරිත්‍යාග කිරීමෙන් ලැබිය යුත්තකි. ඒ සඳහා අවශ්‍යයෙන් ම පිරිය යුතු සමතිස් පෙරුම් දම් අතර දානය ප්‍රධාන වේ. කාලය, වස්තු සම්පත්, ධනය, ශ්‍රමය, සැප සම්පත්, අඹු දරුවන්, ඇස්, ඉස්, මස්, ලේ සහ මුළු සිරුර ම බෝසත් වරයෙකු විසින් පරිත්‍යාග කරනු ලබන වාර ගිනිය නොහැකි තරම් ය. බෝසතුන්ට වැඩි වෙනත් දායකයෙකු දෙවියන් සහිත ලෝකයෙහි නොමැත.

පෙනෙන, දැනෙන සහ නොපෙනෙන, නොදැනෙන අපමණ ගුණ ධන නිධානයක් වූ හද මඬලක් හිමි ඓතිහාසික පුරුෂෝත්තමයාණෝ අප මහා ගෞතම බුදුරජාණෝ ය.

එදා කිසිවක් හරිහැටි නොදැන සිටි සත්වයෙකුගේ ආ මග, යන මග, යා යුතු මග කරුණු සහිතව හෙළි කරමින් බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන්ටම අසහාය ආචාර්ය වරයා වූහ. අනාදිමත් සසරක පැවැත්මත්, ඒ තුළ වූ බිහිසුණු අනතුරත්, ඉන් මිදෙන ආකාරයත් කරුණාවෙන් තෝරා දුන් බුදුරදුන්ගේ සෑම වදනකම විමුක්තිය, නිදහස, සතුට, තෘප්තිය, මෛත්‍රිය මෙන්ම උතුරා ගිය මුදිතාවත් ගැබ්ව තිබුණි. අහිංසක වූ සතුටක්, සැනසීමක් පතා බුදුරදුන් ගැන විශ්වාසය තැබූ අපමණ දෙවි මිනිස් ප්‍රජාවක් විය. ඒ සියල්ලෝම බලාපොරොත්තු වූ සතුට, විමුක්තියෙන් සැනසී එලෙසින්ම ලැබූහ. එහෙත් ථේර ථේරී ගාථාවල ද අපදානයන්හි ද එන චරිතාපදාන ඉතා ස්වල්ප ය. විමුක්ති උදානයක් බඳු බුදු බණ කන වැකුණු තැනැත්තාට ඒ ධර්මය අවබෝධ කිරීම සඳහා තිබිය යුතු සුදුසුකම් කිහිපයකි.

කපටි නොවීම, මායාකාරී නොවීම, සෘජු වීම, කියනු ලබන දේ මනා කොට තෝරා ගෙන එලෙසින්ම පිළිපදින බව යන මේවා ඒ අතර වේ. එබන්ඳෙකුට දම් අමාව බෙදා දීමට බුදුරජාණන් වහන්සේ සේදූ අත් ඇතිව සිටිති. (ඒ බව “ඒතු භික්ඛවෙ විඤ්ඤු පුරිසො, අසඨො, අමායාවී උජු ජාතිකො තමහං ධම්මං දෙසෙමි තමහං අනුසාසාමි” යන බුදු වදනින් මොනවට පැහැදිලි වේ.) එහෙත් ඒ ධර්මය පසක් කර ගැනීම සඳහා අප විසින් ප්‍රමාණවත් වෙහෙසක් දැරිය යුතු ය. “බුද්ධා නාම සාඨෙය්‍යෙන ආරාධෙතුං න සක්කා” යන්නෙන් බුදුවරු කපටිකමින් සතුටු කළ නොහැකි බව තේරුම් ගත යුතු ය. කෙලෙස් සහිත සත්වයන්ට අතපසුවීම්, වැරැදීම් බොහෝ සෙයින් සිදුවේ. තථාගතයන් වහන්සේ ඒ සියල්ලටම ඉල්ලන වාර ගණනක් වුව ද සමාව දීමට තරම් මහා කරුණාවක් දක්වන සේක.

එහෙත් වැරැද්ද වැරැද්දක් ලෙස දැක එය දුරුකිරීමට ප්‍රමාද නොවිය යුතු ය. තාවකාලිකව ද, ඉන් පසුව සදහටම ද, වරදින් මිදී යන මාවත කියා දෙන බුදුරජාණන් වහන්සේ මග්ග දේශක, මග්ගකෝවිද, මග්ගවිදූ, මග්ගඤ්ඤු යන නම් වලින් හඳුන්වනු ලබති. ආර්ය මාර්ගය, උතුම් මාර්ගය දත් තැනැත්තා යනු ඒ නම්වල තේරුමයි. එනම් දුකින් මිදීමේ මාර්ගය යි, බුදු නුවණින් පසක් කොට දුන් නැණැති ලෝකයා විසින් යායුතු මාවතයි. ඒ මග ගමන් ගත් කිසිවෙකුටත් කිසිදාක කිසි විටෙක වැරැදී නැත. මජ්ක්‍ධිමා පටිපදා නම් වූ එම ප්‍රතිපදාව පමණ ඉක්මවූ අයථා කාමයන් සෙවීම ද, ආත්ම ක්ලමථනය හෙවත් ශරීරයට දැඩි දුක් දීම ද යන අන්ත දෙකෙන් වෙන් වූවකි. එය අංග අටකින් යුක්තව දේශනා කළ සේක. සම්මා දිට්ඨි - යහපත් දැක්ම, සම්මා සංකප්ප - යහපත් කල්පනාව, සම්මා වාචා - යහපත් කථනය, සම්මා කම්මන්ත - යහපත් වැඩ, සම්මා ආජීව - යහපත් දිවි වැඩුම, සම්මා වායාම - යහපත් උත්සාහය, සම්මා සති - යහපත් සිහිය, සම්මා සමාධි - යහපත් අයුරින් නිසල කරගත් සිත යන මේ අංග අටකින් යුක්ත අමරණීය මාර්ගය යි. සිතට, ගතට මෙන් ම වචනයට ද අදාළ උසස් ගුණ ධර්ම පුහුණුවක් වන උක්ත ප්‍රතිපදාව මගින් අව්‍යාජ වූ ද, ප්‍රබුද්ධ වූ ද, යථාර්ථවාදී චින්තනයකට මග හසර පාදා දෙයි. බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම් අතර චතුරාර්ය සත්‍ය ප්‍රධාන වේ. ඒ පිළිබඳව ඇසීමෙන් ද, නුවණින් විමසීමෙන් ද, ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කිරීමෙන් ද සම්මා දිට්ඨියෙහි මනාකොට පිහිටියේ වෙයි.

එපමණකින්ම ඔහුට වාද විවාද කිසිත් නොමැත. ඇත්තේ ඉතා පැහැදිලි අවබෝධයක් පමණි. ඔහුගේ සිත තුළ වෛරය, හිංසාව, කාමුකත්වය වැනි අඳුරු සිතිවිලි පහව ගොස් ඇත. ඒනිසා ම මෙත් මුදිතා ගුණ පිරුණ, අත්හැරීම තුළින් සතුටු විය හැකි, ආකල්පමය වෙනසක් ඇති වේ. හෘදයාංගම, සත්‍ය වූ, මිහිරි, අර්ථ සංහිත වචන ඇතිව ජීවිතය නිසා ද බොරු නොකියයි. එවිට ඔහු සම්මා වාචාවෙන් යුක්ත යැයි කියනු ලැබේ. හිංසන සිතිවිලි නොමැති නිසාම කායික හැසිරීම් තුළින් කිසිවෙකුටත් පීඩාවක් නොදෙයි. විරාගී භාවයෙන් යුක්ත නිසා ළාමක ඕනෑකම් නොමැත. ඔහුගේ යෑම්, ඊම් ආදිය මදක් ඇලකළ රිදී තැටියක් දිගේ ගලා යන සිහින් තෙල් ධාරාවක් බඳු ය. ශාන්ත ය, සුන්දර ය. කුසගින්නේ මියැදී ගිය ද අයථා ලෙස බත් පිඬක් නමුත් නොසොයන ඔහුගේ දිවි වැඬුම කිසිවෙකුටත් හිංසාවක් නොවූවකි. එබන්ඳෙකු විසින් ගනු ලබන සෑම උත්සාහයක් ම පව් තැවීමට මිස වැඩීමට නොවේ. සතිමත් බැවින් යුතු වන නිසා අමතකවීම්, අතපසු වීම් නොමැති ඔහු තමාට කළ උපකාර සිහි කරන්නෙකි.

අපකාර සිහි නොකරන්නෙකි. ලෝකයටම සත්පුරුෂයෙකි. එනිසාම සම්මා සමාධියෙන් යුක්ත වූ ඔහුගේ සිත නිසල විලක් බඳු වේ. ජල තරංඟ වැනි වේගවත් සිතිවිලි පහව ගොස් ඇති නිසා වේදනා ආදී නාම පරම්පරාවම දැඩි නිහැඬියාවකට පත්ව ඇත. එය කිසිවෙකුටත් චලනය කළ නොහැකි ය. අකම්පිත ය. ඔහුගේ කෙම් බිම රමණීය වන අරණකි. නවාතැන ඒකාගාරයකි. ආහාරය පිණ්ඩපාතයකි. වස්ත්‍රය චීවරයකි. ඔහු සැබවින් ම මැදුම් පිළිවෙතින් ලද විද්‍යා විමුක්ති ඇති විරාගී මුනිවරයෙකි. දෙවියන් සහිත ලෝ සතුන්ගේ ආදරය දිනාගත් එතුමාගේ ජීවිතය යනු බුදු බණ පදයේ ජීවමාන සංකේතය යි. ඇත්ත වශයෙන් ම බුදුරදුන්ගේ බලාපොරොත්තුව වූයේ එබඳු මුනිවරුන් ලෝකයට දායාද කිරීම පමණි. විශාල ගෝල බාල පිරිසක් තනා ඔවුන් පිරිවරා අධිපතියෙකු ලෙස ජීවත්වීම නොවේ.

මිනිසෙකුට දරාගත හැකි ඉහළම දුක් උහුලමින් සොයාගත් ඒ ආර්ය මාර්ගයෙහි ගමන් ගන්නා ශ්‍රාවකයන් නිසා භාග්‍යවතුන් වහන්සේ සැමකල්හි ම සතුටු වූහ. ඔවුන්ට ප්‍රශංසා කළහ. විශේෂ තනතුරු ප්‍රධානය කරමින් ඇගයීමට ලක් කළහ. බුදුරදුන් සිතූ ලෙස සිතන, වැඩ කළ අයුරින් වැඩ කරන, කථා කළ අයුරින් කථා කරන, පිළිපැද්ද ආකාරයෙන් පිළිපදින ශ්‍රාවක පිරිසක් නිසා ගෞතම බුදු සසුන අද දක්වාම දෙවි මිනිසුන්ගේ සසර ගමනේ කෙලෙස් පවස නිවාලන අමා වතුරක්ම විය. මිනීමරු අංගුලිමාලයන් තුළින් රහතන් වහන්සේ කෙනෙකු දුටු, නගර සෝභිනියක වූ අම්බපාලියගෙන් ආර්ය ශ්‍රාවිකාවක දුටු බුදුරදුන් පමණට මිනිසත් බව අගය කළ කිසිදු ආගමික නායකයෙකු මිහිමත පහළ වූයේ ම නැත. “දුල්ලභෝ මනුස්ස පටිලාභො” - මිනිසත් බව දුර්ලභ ය යනුවෙන් අවම වශයෙන් දිනකට තුන් වරක්වත් වදාරණ බුදුරදුන් තම ශ්‍රාවකයන්ගේ සමීපයෙහිම වැඩ සිටිමින් ඔවුන්ට දම් ඔසුව ලබා දී නගා සිටුවන්නේ සෝවාන් මාර්ගයට පිවිසීම දක්වා පමණි. මන්ද යත් එය අරහත් ඵලය අවබෝධ කිරීමටත් වඩා අසීරු වන නිසාවෙනි.

වරෙක බුදුරදුන් වැඳීමට දෙව්රම් වෙහෙරට පැමිණි දෙවි කුමරෙක් ප්‍රකාශ කළේ “භාග්‍යවතුන් වහන්ස ! සැනකින් පහර ලද්දෙකු මෙන් ද, හිස දැවෙන්නෙකු මෙන් ද භික්ෂුව කාමරාග ප්‍රහාණය පිණිස සිහි ඇතිව කටයුතු කළ යුතුය” යනුවෙනි. එහෙත් බුදුරදුන් ඔහුට වදාළේ කාමරාගය නොව සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස වෙහෙසිය යුතු බවයි. සක්කාය දිට්ඨිය යනු සත්ත්වයන් අති දීර්ඝ සසර ගමනකට ඇද දැමූ මූල ධර්මය යි. “සක්කාය” යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්ඛන්ධ පංචකයට නාමයකි. ඒ පංචඋපාදානස්ඛන්ධ පිළිබඳව ඇතිකර ගන්නා ආත්මීය සංකල්පයෙන් යුතු හැඟීම සක්කාය දිට්ඨිය නම් වේ. රූපාදී එක එකක් ස්ඛන්ධ පිළිබඳව වෙන් වෙන් වශයෙන් ආකාර සතරකින් එම දෘෂ්ටිය හට ගනී. එවිට පඤ්චස්ඛන්ධයන් පිළිබඳව ආකාර විස්සකි. විසි වැදෑරුම් සක්කාය දිට්ඨිය ලෙස දේශනා කරනු ලබන්නේ එය යි. රූපය සම්බන්ධයෙන් ගත් විට “රූපං අත්තතො සමනුපස්සති” - රූපය ආත්මය ලෙස දකියි. “රූපවන්තං වා අත්තානං” - රූපවත් වූයේ ආත්මය ලෙස දකියි.

 “අත්තති වා රූපං” - ආත්මය තුළ රූපය වේ යැයි දකියි. “රූපස්මිං වා අත්තානං” - රූපය තුළ ආත්මය වේ යැයි දකියි. මෙසේ වේදනා ආදී ස්ඛන්ධ සතර සම්බන්ධයෙන් ද සක්කාය දිට්ඨිය පවතින ආකාරය තේරුම් ගත හැකි ය. බුදුරදුන් වදාළ පරිදි මෙම දෘෂ්ටිය ඇති තාක් සතර අපාය බලාපොරොත්තු විය යුතුම ය. සක්කාය දිට්ඨිය දුරුකිරීමට නම් පංච උපාදානස්ඛන්ධය පිළිබඳව තත්ත්ව ඤාණය ලැබිය යුතු ය. මෙහි තත්ත්ව ඤාණය යනු ස්ඛන්ධ පංචකය පිළිබඳ පොදු ලක්ෂණ ද, එකක් පාසා ආවේණික ලක්ෂණ ද, ප්‍රත්‍යක්ෂ ලෙස දක්නා නුවණ යි. ඒ ඤාණයත් සමගම පඤ්චස්ඛන්ධය පිළිබඳ පැවති නිත්‍ය, සුඛ, සුභ, ආත්ම සංඥාවන් දුරුවී ගොස් හුදු හේතු ඵල දහමක්ම බව ප්‍රත්‍යක්ෂ වේ. එයම නිවන ද නිවන් මග ද දක්නා පළමු ඤානෝපායනය යි.

එවිට ඔහුට තෙරුවන් පිළිබඳ කිසිදු සැකයක් නොමැති අතර උතුරා ගිය ශ්‍රද්ධාවක් ඇති වේ. බුදුරදුන්ගෙන් අන්‍ය වූ ශාස්තෘවරයෙකු ගැන විශ්වාසයක් සිහිනෙන්වත් පහළ නොවේ. එහෙත් එම ප්‍රතිවේධ ඤාණය හුදු පැතීමේ පමණින් ම අධිෂ්ඨානයේ පමණින් ම හෝ තවකෙනකු විසින් කෙරෙන මෝහනීය තත්වාරෝපණයකින් හෝ සිද්ධ නොවන්නකි. ප්‍රමාණවත් කාලයක් ඉවසීමෙන් යුතුව සීල- සමාධි-ප්‍රඥා පිළිවෙත සම්පූර්ණ කිරීමෙන් ම ලැබිය යුත්තකි. විමුක්ති ගීතයක් බඳු දම්සක් පැවතුම් සූත්‍රය අනුරාව නංවමින් ඇසෙන විට ඇසළ සඳ උදාවි ඉසිපතන මුව වනය සිසිල් කිරණින් නාවාලූයේ අදවන් දිනයක යි. “අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො” යනුවෙන් එදා සිරි මුව මඬලින් කරන ලද්දේ සිංහ නාදයකි.

කෙලෙස් නිද්‍රාවෙන් නැගිට අඳුරු අවිදු කඩතුරා හැර දහම් ඇසින් ලොව බැලූ මිනිස් ලොව පළමු ශ්‍රාවකයා වූයේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තවුසාණෝ ය. දම්සක් අසා එතුමන් ප්‍රධාන අපමණ දෙව් බඹ පිරිසක් ධර්මාවබෝධය ලබා සුවපත් වූහ. සැදැහැසිත් මුදා, සවන් යොමා දම් ඇසූ ඔවුනට එදා එලෙසින් අමා දොර විවර විය.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]