UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර දුකින් එතෙර වීමට ...

සසර දුකින් එතෙර වීමට ...

“ද්වෙ මෙ භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා. යොචායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්‍ථසංහිතො, යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛා අනරියො අනත්‍ථසංහිතො”

“මහණෙනි, අනාර්ය වූ, ග්‍රාම්‍ය දහමක් වූ, පෘථග්ජනයන් විසින් සේවනය කරන්නා වූ, ආර්යයන් සතු නොවූ, අවැඩ පිණිස වූ, කාම වස්තූන් කෙරෙහි ඇලීම ද, දුක් වූ ආර්යයන් සතු නොවූ, අවැඩ ඇසුරු කළ, ශරීරය පෙළීමෙහි පුන පුනා යෙදීමක් වේ ද පැවිද්දන් විසින් මෙම අන්ත දෙක නොසෙවිය යුතුය.”

සියලු කෙලෙසුන් නසා ගුරුවරයෙකු නොමැතිව ස්වකීය වීර්යයෙන්, ඥාන ශක්තියෙන් උතුම් සර්වඥතා ඥාන දර්ශනය අවබෝධ කළ, අප බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත් ගැඹුරු ධර්මය ප්‍රථමයෙන් දේශනා කළ යුත්තේ කාටදැයි කල්පනා කරද්දී ධර්මය සොයා යන ගමනේ දී තමන් වහන්සේට උපකාරී වූ ආලාරකාලාම පළමුව ද, උද්දකාරාමපුත්ත දෙවනුව ද සිහිපත් වූ නමුත්, ඒ වන විට ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර නොමැති බව දැන, සය වසරක දුෂ්කර ක්‍රියා සමයේ දී උපකාරී වූ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ මිගදායේ සිටින බව දැන ඔවුන් සොයා එහි වැඩම කළ සේක.

බුදුරජාණන් වහන්සේ වැඩම කරනා ආකාරය දුර සිටම දුටු පස්වග තවුසෝ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වීර්යය අත්හැර කාමසුඛල්ලිකානුයෝගීව සිට දැන් අප කරා එයි. පෙර ගමන් නොකිරීමටත්, නොවැඳීමටත්, උවටැන් නොකිරීමටත් කතිකා කර කැමති නම් අසුන් ගැනීම සඳහා අසුනක් පමණක් පැනවූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ ලංවත්ම කතිකා කරගත් පරිදි ක්‍රියා කිරීමට නොහැකි වූ ඔවුහු පසුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ වග දැන ධර්මය ඇසීමට එකඟ වූහ. මිනිසුන් අතුරෙන් පස්වග තවුසෝ එළිමහන් පෙදෙසක රැස්ව ධර්මය ශ්‍රවණයට සූදානම් වූහ. දෙව්බඹුන් සහිත පිරිසක් ද ඊට සහභාගි වූහ. තථාගතයන් වහන්සේ මේ පිරිසට දේශනා කොට වදාළ ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කපවත්තන සුත්ත නම් විය. ධම්ම යනු ඥානයයි. චක්ක යනු පැවැත්මයි. ඥානය චක්‍රාකාරව පැවතීම ධම්මචක්කපවත්තන සූත්‍රයයි. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රීමුඛය විවෘත කොට බ්‍රහ්මස්වරයෙන් ධර්ම දේශනාව ආරම්භ කළ විට සියලු ශබ්ද නැවතී දැඩි නිශ්ශබ්දතාවක් ඇති විය. සියලු සිවුපා සතුන් මෙන්ම පක්‍ෂීහු ද නිහඬව සිටි තන්හිම උන්හ.

මෙම සූත්‍ර දේශනාවට අනුව ආර්ය සත්‍ය සතර ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කර ගැනීමට නම් කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගය යන අන්ත දෙකින් බැහැර විය යුතු බව තථාගතයන් වහන්සේ විසින් මුලින්ම වදාරණ ලද සේක. කාමසුඛල්ලිකානුයෝගය නම් අනාර්ය වූ, හීන වූ, ලාමක වූ, පුහුදුන් අය විසින් සේවනය කරනු ලබන ග්‍රාම්‍ය වූ පංචකාමයේ ඇලීමයි. කම් සැපයෙහි දොස් අනන්ත ය. නානාවිධ දුක් කරදර ඇතිවීමට මුල් වේ. බියකරුය. කෑ විටම දිවි නසන විෂ ඵලයක් බඳුය. ගිනි ජාලාවක් බඳුය. ආර්යයන් සඳහා නොවූ අවැඩ ඇසුරු කරන්නා වූ සිරුර පෙළීමෙහි නැවත නැවත යෙදීම අත්තකිලමථානුයෝගයයි. දැඩි වූ දුක් උපදවන දෙයෙහි ඇලීමයි. කටුක දුක් දෙන තපස් ව්‍රතයන්හි යෙදීමයි. මෙම අන්ත දෙකෙන්ම මිඳී මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදීමෙන් කෙලෙසුන් නසා ආර්ය සත්‍යාවබෝධය ලබා නිර්වාණාවබෝධය ලද හැකි ය. ආර්ය සත්‍ය සතර නොදැනීම නිසා, ප්‍රත්‍යක්ෂ කර නොගැනීම නිසා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි නැවත නැවත ඉපදෙමින් සංසාරයේ ඔබ මොබ ඇවිදීමට සිදු විනැයි තථාගතයන් වහන්සේ වදාළ සේක. දීර්ඝ සසර තුළ සත්වයෙකු නරකයන්හි ප්‍රේතව, තිරිසන්ව ඉපිද ලබා ඇති දුක් ප්‍රමාණය ගණන් කළ නොහැක්කේ ය. සත්‍යාවබෝධය නොකළ හොත් මතු සංසාරයෙහි ද බොහෝ දුක් විඳීමට සිදු වේ. එනිසා අනාගතයට විඳීන්නට සිදුවිය හැකි දුකින් නිදහස් වීමට මගක් සෙවීම සඳහා කටයුතු කළ යුතුය. එයට ඇත්තා වූ එකම මාර්ගය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. චතුරාර්ය සත්‍ය ඉතා ගැඹුරුය. අවබෝධ කර ගැනීම පහසු නොවේ. එහෙත් මොන දුකක් විඳ හෝ එය කළ යුතු ය. චතුරාර්ය සත්‍ය හෙවත් ඇත්ත සතරෙහි පළමු වැන්න දුක්ඛ සත්‍යයයි. ඉපදීම, ජරාව , ව්‍යාධි, මරණය. අප්‍රියයන් හා එක්වීම දුකය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය. කැමති දෑ නොලැබීම දුකය. සැකෙවින් ගත් විට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචඋපාදානස්කන්ධයම දුකය.

ඇත්ත සතරෙහි දෙවැන්න දුක්ඛ සමුදයාර්ය සත්‍යයයි. දුකට හේතුව වූ කාම, භව, විභව යන ත්‍රිවිධාකාර තෘෂ්ණාවෙහි ඇලීමයි. කාම තණ්හා යනු පංචකාමයේ ඇලෙන තෘෂ්ණාවයි. මෙලොව සැප විඳීය යුතුය යන හැඟීමයි. භව තණ්හාව යනු ශාස්වත දෘෂ්ටි සහගත තෘෂ්ණාවයි. මේ සැප කිසි දිනෙක නැති නොවන්නේ යැයි සිතා සැප විඳීමයි. විභව තණ්හාව යනු උච්ඡේද දෘෂ්ටි සහගතව හටගන්නා තෘෂ්ණාවයි. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය යනු දුක ඉපදීමට හේතුව වූ තෘෂ්ණාවේ නිරෝධයයි. නසා ලීමයි. දුරු කිරීමයි. අත්හැරීමයි. දුක්ඛ නිරෝධ මාර්ග සත්‍යය යනු දුක්ඛ නිරෝධය හෙවත් නිර්වාණයට පැමිණීමේ මාර්ගයයි. තෘෂ්ණාවේ මුල් සිඳ දමන ධර්මය ක්‍රමය වූ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයි. මාර්ගයි. නිවනට පැමිණෙන නොවරදින මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සසර දුකින් මිඳීමේ මාර්ගය වන්නේ, සම්මා දිට්ඨි - නිවැරැදි දැකීම, සම්මා සංකප්ප - නිවැරැදි සිතුවිලි, සම්මා වාචා - නිවැරැදි වචනය, සම්මා කම්මන්ත - නිවැරැදි ක්‍රියාව, සම්මා ආජීව - නිවැරැදි ආජීවය, සම්මා වායාම - නිවැරැදි වෑයම, සම්මා ස්මෘති - යහපත් සිහිය, සම්මා සමාධි - නිවැරැදි සමාධිය යන මේ අට මගයි.

දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන සත්‍ය සතර සත්‍ය ඥානය, කෘත්‍යය ඥානය, කෘත ඥානය තුන් පැවැත්මක් හා ආකාර දොළොසක් වශයෙන් ඇත. සත්‍ය ඥානය - දුක්ඛාර්ය සත්‍යයෙහි පෙර නොඇසූ චතුස්සත්‍ය ධර්ම කෙරෙහි නුවණැස, ඥානය, ප්‍රඥාව, විද්‍යාව, ඥානාලෝකය පහළ වීමයි. කෘත්‍යය ඥානය - ඒ දුක්ඛාර්ය සත්‍යය පිරිසිඳ දත යුතුයැයි පෙර නොඇසූ ධර්ම කෙරෙහි නුවණැස, ඥානය, ප්‍රඥාව, විද්‍යාව, ඥානාලෝකය පහළ වීමයි. කෘත ඥානය - ඒ දුක්ඛාර්ය සත්‍යය පිරිසිඳ දත්තේ යැයි පෙර නොඇසූ ධර්මයන්හි නුවණැස, ඥානය, ප්‍රඥාව, විද්‍යාව, ඥානාලෝකය පහළ වීමයි.

මේ අයුරින් දුක්ඛ සමුදය ද, සත්‍ය ඥානය - සමස්ත ලෝකය හටගැනීම පිළිබඳ මනා දැක්ම, කෘත්‍යය ඥානය - තෘෂ්ණාව ප්‍රහීණ කළ යුත්තක් බව, කෘත ඥානය - ප්‍රහීණ කළ බව යනුවෙන් ත්‍රිවිධාකාරය. දුක්ඛ නිරෝධ සත්‍යය ද, සත්‍ය ඥානය - මූලික අවබෝධය, කෘත්‍යය ඥානය - සාක්ෂාත් කළ යුත්තක් බව, ප්‍රත්‍යක්ෂ කළ යුත්තක් බව, කෘත ඥානය - සාක්ෂාත් කර ගන්නා ලද බව වශයෙන් ද, මාර්ග සත්‍යය, සත්‍ය ඥානය - සත්‍යයක් ලෙස දැකීම, කෘත්‍යය ඥානය- වැඩිය යුත්තක් සේ දැකීම, කෘත ඥානය - වඩන ලද බව, භාවිත බව යනුවෙන් ත්‍රිවිධාකාරය.

මෙසේ තුන් පැවැත්මක් හා ආකාර දොළොසක් ඇති සත්‍ය සතරෙහි සත්‍යාවබෝධ ඥානය ලබා ගත යුතු බව දැක්වෙන ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසු පස්වග තවුසෝ බලවත් සතුටට පත්වූහ. දෙවියෝ ද බ්‍රහ්මයෝ ද මහහඬින් සාධුකාර දුන්හ. මහපොළොව කම්පා විය. දේශනා කරන ලද මේ ගාම්භීර වූ ධර්මය පළමුව දැනගත් කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පැමිණ ‘එහි භික්ෂු භාවයෙන්’ පැවිදි උපසම්පදාව ලැබී ය. ඉන් අනතුරුව ආයුෂ්මත් වප්ප, භද්දිය දෙනම ද, අවසානයේ ආයුෂ්මත් මහානාම, අස්සජි යන දෙනම ද සෝවාන්ව මහණ උපසම්පදාව ලැබූහ. මෙසේ සෝවාන් වූ පස්වග මහණුන් වෙත නැවත දේශනා කරන ලද, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය විස්තර කෙරෙන අනන්තලක්ෂණ සූත්‍ර දේශනාව ශ්‍රවණය කොට රහත් වූහ.

ලෝකයේ ඇති සෑම දුකකටම හේතුවන තෘෂ්ණාව නැති කිරීම සඳහාත්, සසරෙහි නැවත නැවත ඉපදීම වැළකීම සඳහාත් සැබෑ සැපයට පමුණුවන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කොට සත්‍යාවබෝධය ලබා නිවන් සුවය ලැබීමට තිර අදිටනකින් යුතුව ධර්මයේ හැසිරීමට අපි ද උත්සාහවත් වෙමු. තෙරුවන් සරණයි.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]