UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැයේ නැණ පහන් දල්වන උදාර මෙහෙවරක විශිෂ්ටත්වය

දැයේ නැණ පහන් දල්වන උදාර මෙහෙවරක විශිෂ්ටත්වය

බෞද්ධ පත්‍ර කලා විශාරද
සීසර් සුදුසිංහ

රටෙහි ජීවනාලිය වන් හැදෙන වැඩෙන දරු පරපුරෙහි නැණ පහන් දැල්වීමට සිදු කරන මෙහෙය යුග මෙහෙවරකි. එවන් උදාර මෙහෙවරක් සිය ජීවිත කාලය තුළ ගිහි පැවිදි කවර අයෙකුට වුවත් සිදු කළ හැකි වෙතොත් එය ඓතිහාසික වේ. කවරෙකු හෝ සිය පෞද්ගලික ධනය යොදා මෙබඳු මෙහෙවරක් කර ඇද්දැයි මොහොතක් විමසා බැලීමට තරම් පුදුම එලවන සුළු නොවේද?


ගම්පහ විද්‍යාලෝක මහා විද්‍යාලයේ පසුගියදා සිසු අයිතියට පත්කළ ගොඩනැගිල්ල

එබඳු අත්‍යුදාර මෙහෙවරක් සිදු කරනු ලබන්නේ අත්තනගල්ල රාජමහා විහාරාධිපති, මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරයේ අධිපති මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

උන්වහන්සේ විසින් දිගු කලක සිට අපේ සමාජයට සිදු කරනු ලබන ආගමික, ශාසනික, සාමාජික සේවාව සුවිශාල ය. ඒ මහා මෙහෙවරට අමතරව පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් පාසල් සංවර්ධනය සඳහා පමණක් සිදු කර ඇති සේවාව පැහැදිලි කිරීම පමණක් මෙහි අරමුණයි.

එම සේවාව වඩාත් ආදර්ශමත් වනුයේ ජාති, ආගම් ආදී කිසිදු භේදයක් නොමැතිව සිදු කිරීමයි. උන්වහන්සේගේ පොදු අපේක්ෂාව නම් නැණ ගුණ පිරි සමාජයක් බිහිකිරීමට ශක්ති පමණින් අතහිත දීමම ය.

රුපියල් තුන්කෝටි අසූ ලක්ෂයක වියදමෙන් අත්තනගල්ල රජමහා විහාරයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ද රුපියල් දෙකෝටි හැට ලක්ෂයක සහ රුපියල් තුන් කෝටියක වියදමින් විහාරස්ථ තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාර දෙකක් ද, යටියන ජයවර්ධනාරාම දහම් පාසල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ හතළිස් පහක වියදමෙන් ද, රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වියදමෙන් වල්පොල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැඟිල්ල ද, රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂයක වියදමෙන් ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ද, රුපියල් දෙකෝටි දහඅට ලක්ෂයක වියදමෙන් මහනුවර නියංගොඩ ධර්මාලෝක පිරිවෙනේ දෙමහල් ගොඩනැගිල්ලද, රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක වියදමෙන් කඹුරාගල්ල පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ද, රුපියල් ලක්ෂ හතළිස් දෙකක් වියදමෙන් දඹාන ආදි වාසී ගම්මානයේ පාසල් ගොඩනැගිල්ලද, රුපියල් එක්කෝටි විසිහය ලක්ෂයක වියදමෙන් කිරිඳිවැල, සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දෙමහල් පාසල් ගොඩනැගිල්ලද රුපියල් දෙකෝටි විසි ලක්ෂයක වියදමෙන් වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ තෙමහල් විද්‍යාගාර ගොඩනැඟිල්ල ද, රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක වියදමෙන් තිහාරිය අල් අස්හර් මුස්ලිම් මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ද, රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක වියදමෙන් අලවල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ද, රුපියල් එක්කෝටි අනු ලක්ෂයක වියදමෙන් නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ද, රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂයක වියදමෙන් නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ද, රුපියල් ලක්ෂ විසි දෙකක වියදමෙන් කන්දේගම මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලද, රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂයක වියදමෙන් එල්ලක්කල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලද, රුපියල් ලක්ෂ දහ අටක වියදමෙන් මීරිගම, ගණේගොඩ රාජසිංහ මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලද, රුපියල් ලක්ෂ විසි අටක වියදමෙන් ගොරකදෙණිය මහා විද්‍යාලයේ දෙමහල් පාසල් ගොඩනැගිල්ල ද 2019 වසරේ විවෘත කෙරෙන රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක වියදමෙන් වේයන්ගොඩ ජනාධිපති මහා විද්‍යාලයෙන් තෙමහල් පාසල් ගොඩනැගිල්ලද, රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂයක වියදමෙන් වේයන්ගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ද 2019 ජනවාරි 26 වන දා විවෘත වන රදාවඩුන්න මහා විද්‍යාලයේ තෙමල් පාසල් ගොඩනැගිල්ල ද එසේ ඉදිකළ පාසල් ගොඩනැගිලි අතර වේ. දැයේ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට සෙවණ සදන පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් රටට ආදර්ශයකි. සසුනට ආශීර්වාදයකි.

පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ ආචාර්යවරයන් වහන්සේ නමක් වූ එල්ලක්කල ශ්‍රී ධම්මාරාම නාහිමියන් වෙත පූජනීය ගුරු උපහාර ලෙස ජූලි 26 වන දා වසර 75 ක් පමණ පැරැණි එල්ලක්කල මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල රුපියල් දෙකෝටියක වියදමින් පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ පාසල් ගොඩනැගිලි ඉදිකරවීමේ ව්‍යාපෘතියේ 17 වන ගොඩනැගිල්ල ලෙස ඉදිකරවා සිසු අයිතියට පිරිනැමේ.

පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් මේ වන විට එම මෙහෙවර සඳහා රුපියල් කෝටි 40 කට ආසන්න මුදලක් වැය කර ඇත. මහඟු චරිතාදර්ශ සපයන පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් වෙත තෙරුවන් බලයෙන් චිර ජීවනය පතමු.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]