UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෝමවතී ශ්‍රී දකුණු දළදා පෙරහර

සෝමවතී ශ්‍රී දකුණු දළදා පෙරහර

සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා අභියස සිට ජූලි 19 දින සිට පවත්වනු ලබන සතිපිරිත් දේශනාව හා ශ්‍රී දකුණු දළදා පෙරහර 13 වන වරටත් මෙම ජූලි මස 25,26,27 යන දිනයන්හි පැවැත්වේ.

ක්‍රි.පූර්ව දෙවන සියවසේ දී සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින්, බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කරන ලද සෝමවතී චෛත්‍ය රාජයා අභියස රාජ්‍ය වර්ෂ 112 දී ගජබා රජතුමා විසින්, සොලීන් විසින් ලක්දිවින් පැහැරගෙන ගිය 12000 ක් සිංහල ජනතාවත්, පාත්‍රධාතූන් වහන්සේත්, දේවාභරණත් සමග සොලීන් 12000 ක් ද මහා විජයග්‍රහණයකින් ලබාගෙන ශ්‍රී ලංකාද්වීපයට පැමිණ සෝමවතී චෛත්‍ය රාජයා අභියස දළදා පූජා හා පෙරහර පවත්වමින්, දළදා වහන්සේගේ ආශීර්වාද ලබාගත්තේය. ඒ මොහොතේ දී සෝමවතී විහාරස්ථානයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේ ගජබා රජතුමාට “යුද්ධ ජයග්‍රාහක ගාමණී අභය” යන ගෞරව නාමය පිරිනැමූ බව සෝමවතී චෛත්‍ය රාජයා සමීපයේ ඇති දිග්ගලේ “ගාමිණී අභය යුදජී රජඅඩියගම මණි අගිය විහරට දිනි” (රා.ව. 112 සිට 134) යනුවෙන් මීන්විලු පර්වත ලිපියෙහි රජතුමාට “ගාමිණී අභය යුදජී” (යුද්ධ ජයග්‍රාහක ගාමිණී අභය) යන ගෞරව නාමය පිරිනැමූ බවත්, රජතුමා අපමණ සතුටට පත්ව රාජකීය ඇළක් සාදවා එම ඇළෙන් වැඩ කරන කුඹුරු සියල්ල ම සෝමවතී හෙවත් මණි අගිය විහාරයට පිරිනැමූ බව එම සෙල්ලිපියේ සඳහන් වෙයි.

මේ අයුරින් ගජබා රජතුමා විසින් විජයග්‍රහණය සිහිපත් කරමින් ආරම්භ කළ පෙරහර, පොළොන්නරු යුගයේ අවසානය දක්වාම පවත්වාගෙන අවුත්, පොළොන්නරු යුගය අවසන්වීමත් සමගම අභාවයට පත් විය. නැවත 1947 දී මල්වතු මහා විහාරයීය ගරුතර කාරක සංඝ සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි සහ පහමුණේ ශ්‍රී ගුණානන්ද මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් සැදැහැවත් ජනතාව සමග පැමිණ බුද්ධ රශ්මි මාලාව හා ශබ්ද පූජාවන් සියැසින් දකිමින් හා අසමින් සොයා ගැනීමෙන් පසු මෙම චෛත්‍යස්ථානය සංවර්ධනය කිරීමට පටන් ගති. 2002 පෙබරාවරි 27 දින එවක එක්සත් ජාතික පක්ෂ රජයේ සම්බන්ධතාවය ඇතිව, ඝනකැලයෙන් වැසී තිබූ මෙම ස්ථානය, මහවැලිය, පොලිසිය, යුද හමුදාව සම්බන්ධ කරගෙන එවකට රජයේ හා සැදැහැවතුන්ගේ ආධාරයෙන් ජල පහසුකම් හා ජෙනරේටරයකින් විදුලිය ද තාවකාලික ගොඩනැගිලි පහසුකම් සලසාගෙන දින 112ක් ඇතුළත, 2002 ජුනි 19 වන දින බුද්ධරශ්මි මාලා මධ්‍යයේ චූඩාමාණික්‍යය පැළඳවීමෙන් අනතුරුව, එවක රජය මගින් ප්‍රධාන විදුලි පද්ධතිය ලබා දෙමින්, මාර්ග පහසුකම් සැලැස්වීය. එමෙන්ම, සැදැහැවතුන්ගේ ආධාර ඇතිව අදාළ ස්ථිර ගොඩනැගිලි ආදිය ඉදිකරවමින් සංවර්ධන කටයුතු සිදු කරන කාලයේ දී ගල් ගැලවී විනාශයට පත්වෙමින් පැවති ඇතුල් මළුව සෑදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන්, කොළඹ ජිනසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තිස්ස ජිනසේන මහතා අතින් මුල්ගල් තබන මොහොතේ චෛත්‍ය රාජයාගේ විහිදුනු බුද්ධරශ්මි මාලාවන් දැක වර්තමාන බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඇතුළු සැදැහැවත් පිරිස අපමණ සතුටට පත්වූහ. කුරුණෑගල කුලියාපිටිය නැදලගමුව ප්‍රදේශයේ දීගල්ල ධර්‍මදාන පදනම ඇතුළු එම පිරිස සම්බන්ධ කරගෙන දකුණු දළදා පෙරහර පැවැත්වීමට තීරණය කොට කිසිවෙකුගෙන් අලියෙකු ලබා ගැනීමට නොහැකි වූයේ වනයේ සිටින අලි ඇතුන් කෙරෙහි ඇති බිය නිසා අලි ඇතුන් රහිතව, සධාතුක කරඬුව සිය හිසමත හා ඉන්පසුව වාහනයක තබාගෙන වර්ෂ තුනක් පෙරහර පැවැත්වීය. අනතුරුව බෝධීන් වහන්සේගේ රන්මල් හා රන්දළු හටගත් අතරම, 04 වන දළදා පෙරහර පැවැත් වීමට 2009 ජුනි 07 වැනි පොසොන් පොහෝ දින සාකච්ඡා කරමින් වනයේ සිටින අලි ඇතුන් නිසා පෙරහර අලි රහිතව පැවැත් විමටත් රන්සිවිගේ සහිත කරඬුව වාහනයක තබා වැඩම කිරීමටත් තීරණය කරන ලදි.

එනමුත් පසුදින උදයේ 6.30 ට පමණ කිරි ආහාර පූජාව රැගෙන යන මොහොතේ දී චෛත්‍ය රාජයා දෙසින් බෙරහඬක් ඇසී බලන විට චෛත්‍ය රාජයා තුළින් කරඬුවක් තබා ගත් අලි ඇතුන් සහිත පෙරහරක් එන බව පෙනිණ. අමත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාට ඡායා රූප ගතකිරීමට ද හැකි විය. නැවත එම ජූනි මස 28 දින රත්‍රී 7.45 ට පමණ ගිලන් පස පූජාව තබන මොහොතේ පූජාවට සහභාගි වූ පිරිස අතර, අවුරුදු 03 මාස 06 වයසැති මිරිහානේ සිට පැමිණි මේනක තසිඳු නම් කුඩා දරුවෙක් බියට පත්වනු දැක, අතේ තිබූ දුරකථන කැමරාවෙන් ඡායා රූපයක් අහඹුලෙස ගන්නා ලදි. “තාත්තේ මගේ ඇගේ රත්තරන් මාල වළලු දැමූ ලස්සන ඇඳුමක් ඇන්ද වූ සුදු ඇත් පැටියෙක් හැපීම නිසා මා බියට පත්වූයේ යැයි.” කුඩා දරුවා ප්‍රකාශ කළ ද අසාසිටි පිරිස එය පිළිගත්තේ නැත. එනමුත් සිදු වූයේ අනිකකි. ගත් ඡායාරූපය දෙස බලන විට ඒ සියල්ලම සැබෑ විය.

මේ අවස්ථා දෙකම සිදුවීම නිසා පෙරහර සඳහා ඇතෙක්ම යොදා ගතයුතුයැයි තීරණය කොට වර්තමාන බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා හා හිටපු කෘෂිකර්‍ම නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමාගේ ද සම්බන්ධතාවය ඇතිව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තුමා මගින්, මහනුවර ශ්‍රී දළදා පෙරහරේ කරඬුව වැඩම වන ඉන්දිරාජා හස්තිරාජයා රැගෙන ගොස් 2009 ජූලි 06 වන දින දළදා පෙරහර චෛත්‍ය රාජයා වටා ප්‍රදක්‍ෂිණා කොට ගෙවදීමත් සමගම රාත්‍රී 01.00 ට පමණ එක් දළක් ඇති ඇත්පැටියෙක් චෛත්‍ය රාජයා වෙත පැමිණ පැයක් පමණ සිට කැලයට ගියේ ය.

පසුදින 07 වැනිදා ප.ව. 05.00 ට පමණ එක් දළක් සහිත අවුරුදු හයක් පමණ වයසැති ඇත් පැටවෙක් චෛත්‍ය රාජයා දෙසට පැමිණෙනු දැක මා ඉදිරියට යන විට මා සමීපයට පැමිණ හොඬවැල ඔසවා මා දෙස බලා සිටියේ ය. මවිතයට පත් මා කැමරාව ගෙන ඡායා රූප ගත් අතරම, පලතුරු දෙනවාත් සමගම හුරු පුරුදු ඇත් පැටියෙක් මෙන් මා ඉදිරියට පැමිණ පලතුරු සියල්ලම අනුභව කොට පැය කීපයක් ම චෛත්‍ය රාජයා වටා ඇවිදමින් සිට කැලයට ගිය නමුත් එදා සිට මේ දක්වාම චෛත්‍ය රාජයා පෙනෙන දුරින් හැසිරෙමින් දකින කාටත් විනෝදයක් දනවන අයුරින් චෛත්‍ය රාජයා අවට හැසිරෙමින් අද දක්වාම සිටී.

මේ අතර 2012 නොවැම්බර් 04 දින සීමාමාලකය සම්මතර කර අවසන් වනවාත් සමගම සුදු ඇත්පැටවෙක් චෛත්‍යරාජයාට ඉහළින් අහසේ දිස්වනු ජායාරූපයට ගැනීමට හැකි වූ අතර, පසුගිය වසරේ මහනුවර දිසා විනිසුරුතුමා විසින් ද සුදු ඇත්පැටවෙකු සියැසින් දැකීමෙන් පෙරහරකට හස්තිරාජයන්ගේ සම්බන්ධතාවය මැනවින් පැහැදිලි විය. එසේම 2013 වසරේ දළදා මාළිගාවේ ඉන්දිරාජා හස්තියා සහිතව පෙරහරේ කරඬුව රන්සිවි ගෙහි තැන්පත් කරන මොහොතේ කිහිපවතාවක් ම දළදා වහන්සේ සහිත කරඬුව චෛත්‍යරාජයාණන් වහන්සේට ඉහළ අහසේ දිස්වනු දැකීමත්, 2015 දළදා පෙරහර පටන්ගන්නා මොහොතේ එවකට උතුරුමැද මහාමාත්‍ය පේසල ජයරත්න මැතිතුමා සධාතුක පෙරහර කරඬුව හස්තිරාජයා වෙත වඩමවන මොහොතේ දළදා වහන්සේ සහිත දළදා කරඬුව චෛත්‍ය ගර්භයෙන් එළියට වඩමවා එකී කරඬුව සමීපයට වැඩි ආකාරයත්, 2016 දළදා පෙරහර පවත්වන මොහොතේදී ඒ අයුරින්ම දළදාවහන්සේ සහිත දළදා කරඬුව චෛත්‍යරාජයාණන් වහන්සේගෙන් මතුවී පෙරහරේ කරඬුව සමීපයෙහිම ගමන් කළ ආකාරයත්, 2017 ශ්‍රී දළදා පෙරහර අවස්ථාවේදී දළදා වහන්සේ සහිත කරඬුව චෛත්‍යරාජයාණන් වහන්සේට ඉහළින් දැකීමටත් චෛත්‍යරාජයා වටා විශ්ණු දෙවියන් ඇතුළු දෙවිවරු කීපදෙනෙක් හා ඉබේම හටගත් රන්මල් රන්දළු පිපෙන බෝධීන් වහන්සේ සමීපයෙහි සිට දෙවිවරු 03 ක් බලාගෙන සිටින ආකාරයත් ඒ දෙවිවරු අතරම හාමුදුරුවරු දෙනමක් ද වැඳගෙන චෛත්‍යරාජයා දෙස බලාසිටින ආකාරය ද බුද්ධ ශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමා ඒ සියල්ලම ජායාරූප කරගෙන සෑම දෙනාටම දැකබලාගැනීමට අවස්ථාව උදාකර ඇත. එසේම 2018 ජුනි 25 දින පස්වරු 1.30ට පමණ බුද්ධරශ්මිමාලා සහිතව දළදා වහන්සේ චෛත්‍යරාජයාණන් වහන්සේට ඉහළින් වැඩ ඉන්නා ආකාරය සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා සියැසින් දැක ඡායාරූප ගෙන ඒ සමග සිටි හැමදෙනාටම දැකීමට සැලැස් විය. මේ අයුරින් බුද්ධරශ්මි මාලාවන් ද තවත් විටෙක හේවිසි ශබ්ද පූජාව, මිණිගෙඩි හා ඝණ්ටාර ශබ්ද හා පිරිත් දේශනා ශබ්දත් හා සාධුකාර ශබ්ද ද ඇසීමට හා දැකීමටත්, සුදු හංසයෙක් මත දිස්වන රූප ද වැනි ආශ්චර්යයමත් සිද්ධීන් සිදුවිමත්, අලි ඇතුන්ගේ ද වන්දනා පවා දකින මෙම ආශ්චර්යයමත් සිද්ධීන්ගෙන් ගහණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති මෙම සෝමවතී චෛත්‍යරාජයා අභියස මේ අයුරින් විශ්මයජනක සිද්ධීන් ඇතිවීමෙන් ඉතිහාසයේ ද මීට පෙර සඳහන් වු අයුරින් අදෘශ්‍යමාන බලවේග තුළින් පෙරහරක් පැවැත් විය යුතු ආකාරය පෙන් වූයේ මෙම සෝමවතී චෛත්‍ය රාජයා සමීපයෙහි ශ්‍රී දළදා පෙරහර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයැයි යන පණිවුඩය ලෝකයාට පෙන්නුම් කිරීම බව ඔබ අප හැම දෙනාටම වැටහී යන කාරණයකි,

13 වන වරටත් පවත් වන මෙම පෙරහර ද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, බුද්ධශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මැතිතුමා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමාත්, පොළොන්නරු මහදිසාපති තුමා, අතිරේක දිසාපතිනි, ලංකාපුර ප්‍රාදේශීය මහලේකම් තුමා හා ලංකාපුර ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමා ඇතුළු එම ආයතනයන් හි නිලධාරී පිරිසත්, ලංකාපුර, පොළොන්නරුව, හිඟුරක්ගොඩ ආදි ප්‍රදේශවල සැදැහැවත් පිරිසත්, කුරුණෑගල, කුලියාපිටිය නැදලගමුව සැදැහැවත් පිරිසත් එකතුව ඉමහත් සහසම්බන්ධතාවයකින් මෙම ජූලි 19 වන දින පටන් සතිපිරිත් දේශනාව ආරම්භ කොට ජූලි 25 දින දොරකඩ අස්න අනුශාසනාව හා දළදා පෙරහර සහිත දේවදූත පෙරහර සිදු කොට එදිනම 75 නමක් මහා සංඝරත්නය විෂයයෙහි සාංඝික දානයක් පිරිනමා 26 හා 27 දිනයන්හි චෛත්‍යරාජයාණන් වහන්සේ වටා විහාරයේ ඇතුල් මළුවේ පෙරහර ද මෙම ඇසළ පුර පසළොස්වක් පොහො දින සවස 05ට චෛත්‍යාරජයා සහිත මහමළුව වටා පෙරහර මාර්ගයෙහි ශ්‍රී දකුණු දළදා පෙරහරත්, මහා මුළුතැන් දළදා පූජාව ආදී ඇසළ පොහෝ දින සිදු කෙරෙන මෙම පින්කම් මාලාවට සහසම්බන්ධ වන උක්ත ජනාධිපති තුමන් ප්‍රධාන මැති ඇමතිවරුන් ඇතුළු සකල ලාංකික ජනතාවට ශ්‍රී දකුණු දළදා වහන්සේගේ ආශීර්වාදය ලැබීමෙන් නිසිකලට වැසි ලැබී සකල ප්‍රාර්ථනා සමෘද්ධිමත් වී ඉමහත් යහපතක්ම සැලසේවායි ප්‍රාර්ථනය කරමි.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]