UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස්සාන සමය ඇරඹේ

වස්සාන සමය ඇරඹේ

අදට යෙදී ඇති ඇසළ පුර පොහෝ දිනයෙහි සිදුකෙරෙන ඉතා වැදගත් චාරිත්‍ර ධර්මයක් ද මතුනොව, මහා පින්කමක් ද වන වස්විසීමට අදාළ වූ වස්සූපනායික ශික්ෂාපදය පැනවීම තථාගතයන් වහන්සේගේ මහජන මතයට ගරුකිරීමේ උතුම් ගුණය ප්‍රකටවන අවස්ථාවකි.

බුදුරජාණන් වහන්සේගේ පහළවීම සිදු වූ භාරතයෙහි තත්කාලීන ආගමික ඉගැන්වීම් දෙසැටක් පමණ වූ බව ශාසන ඉතිහාසය මඟින් අනාවරණය වේ. මෙම ආගමික ඉගැන්වීම් අතර සුවිශේෂී ඉගැන්වීමක් වූ බුදුදහම මූලික වශයෙන් ම තරුණ පිරිසක් ඒකරාශි කොටගෙන ව්‍යාප්ත වූවකි. සාම්ප්‍රදායික වෙනත් ඉගැන්වීම් අතර බුද්ධ ධර්මය නව මගක් ගත් දහමක් විය. දිගුකලක් මුළුල්ලේ පෙරුම් පුරා ඉතා දුෂ්කරව සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසින් අවබෝධකරගත් මෙම ධර්මය උන්වහන්සේ විසින් දේශනාකරන ලද්දේ මුළු මහත් සත්ත්ව ප්‍රජාව පිළිබඳව වූ මහත් කරුණාවෙන් යුතුවම ය.

ඒ අනුව තම ශ්‍රාවකයන්ගේ අවබෝධය පිණිස, හික්මීම පිණිස, ශාන්තභාවය පිණිස, කෙලෙස්මල දුරුකිරීම පිණිස තම ධර්මය දේශනා කරන බව පමණක් නොව “පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බාය ධම්මං දේසේති” යනුවෙන් සියලු කෙලෙස්මලින් පිරිනිවුන පරම සංසිඳීමේ සුවය ළගාකර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් තම ධර්මය දේශනා කර වදාළහ.

බුදුරජාණන් වහන්සේගේ මෙම අනුශාසනාව අනුව ක්‍රියා කළ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තම පැවිද්දෙහි උතුම් පරමාර්ථ සාධනය සඳහා ඉතා දිරිමත්ව ක්‍රියා කළහ. එහි දී උන්වහන්සේලා අව්වැසි, සීතෝෂ්ණ නො සලකමින් ක්‍රියාකළේ මතු නොව කිසිදු දේශගුණික බලපෑමක් ද මායිම් නො කොට චාරිකාවෙහි හැසිරුණාහ. බුදුදහම පහළවීමෙන් එලැඹි මුල් කාලපරිච්ඡේදය වන එම වකවානුවෙහි පැවැති විවිධ මතවාද ඉගැන්වීම් බහුල වශයෙන්ම නිර්මාණවාදී ඉගැන්වීම් වූ අතර, ඇතැම් ඉගැන්වීම් කර්මවාදී මෙන්ම පරම අවිහිංසාවාදී ඉගැන්වීම් ද විය. තත්කාලීන භාරතීය ජනතාව මෙම විවිධ ආගමික මතවාද නිසා දැඩි පීඩනයකට ලක්ව සිටියේ, ගිම්හාන ඍතුවෙහි ඇතිවන දැඩි නියඟය ආදි විවිධ පාරිසරික පීඩාවන්ගෙන් ද මහත් සේ පීඩාවට ලක්වූහ. වර්තමාන ඉන්දීය සමාජය තුළ ද මෙම තත්ත්වයන් අඩු වැඩි වශයෙන් පවත්නා බව ප්‍රකට කරුණකි.

වස්සාන සමය එළැඹෙත්ම දැඩි නියගය ආදි පීඩාවන්ගෙන් මිදී ගස්වැල් තෘණ ලතාදිය සතා සීපාවන් ද කිසියම් ප්‍රබෝධයකට පත්වීම සාමාන්‍ය සංසිද්ධියකි. කෙසේ නමුත් භාරතයෙහි මෙම වර්ෂා සමය ද එක්තරා ප්‍රමාණයකට පීඩාකාරි කාලයක් වේ. ඒ අනුව තම වාසස්ථාන තුළම රැදී සිටීම හැර මෙම කාලවකවානුවෙහි වෙනත් කළහැක්කක් නොමැත. එහෙත් බුද්ධ ශ්‍රාවකයන්වහන්සේලා තථාගතයන් වහන්සේගේ අනුශාසනය අනුව වර්ෂා සමයෙහි ද චාරිකාවෙහි හැසිරෙමින් තම පරමාර්ථ සාධනයෙහි නියැලුනහ. තත්කාලීනව ඉතා පිළිගැනීමකට ලක්ව තිබූ නිගණ්ඨනාථපුත්ත හෙවත් ජෛන මහාවීරතුමාගේ ඉගැන්වීම් බුදු දහමට ද කිසියම් ප්‍රමාණයකින් බලපා ඇතිබව ප්‍රකට ය. මේ අනුව එතුමාගේ පරම අවිහිංසාවාදී ඉගැන්වීම් අනුව තෘණලතාදියෙහි පවා ඒකීන්ද්‍රීය ප්‍රාණයක් ඇති බව පිළිගැනිණි. ඒ අනුව ඒවා කැඩීම, කැපීම,පෑගීම , විනාශ කිරීම ආදියෙන් ප්‍රාණඝාත අකුසලය සිදුවන බව ප්‍රකාශිතව තිබිණි. ජෛන ශ්‍රාවකයින්ගේ මෙම ආගමික පිළිගැනීම බුද්ධ ශ්‍රාවකයන්ගේ වස්සාන චාරිකාවන් සඳහා බලවත් බාධාවක් වූයේ පමණක් නොව උන්වහන්සේලා මහජනතාවගේ දැඩි දෝෂදර්ශනයටද ලක්වූහ. ඒ අනුව බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට දොස් පවරමින්, විවේචනය කරමින්, විරෝධය පළකරමින් ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ වැසි කාලයෙහි කුරුල්ලන් පවා කූඩු තනාගනිමින් ඒවායේ වාසය කරන අතර, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයන් වහන්සේලා තණපත් පාගමින් ඒවා විනාශ කරමින් චාරිකාවෙහි හැසිරීම විනය විරෝධි ක්‍රියාවක් බවයි. පරිසරයට හානිකර වූ සමාජ විරෝධි කි‍්‍රයාවක නිරතවන බවට තම ශ්‍රාවකයන් වහන්සේලාට එරෙහිව සමාජය මතින් පැන නැගුන තත්කාලීන ජනමතය පිළිබඳව බුදුරජාණන් වහන්සේ තම දැඩි අවධානය යොමුකළේ භික්ෂූන්වහන්සේලා වහා කැඳවාලූහ. එසේ කැඳවන ලද භික්ෂූන් අමතන ලද තථාගතයන් වහන්සේ් “අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” මහණෙනි වස්සාන කාලයෙහි වස් එළැඹ එක්තැනෙක රැඳීසිටීම අනුදනිමියි “වස්සූපනායික ශික්ෂාපදය’ නම් වූ විනය නීතිය පැනවූ බව අපේ විනය ප්‍රඥප්තීන් හි සඳහන් වේ.

මෙම විනය ප්‍රඥප්තියට අනුව උපසම්පදා භික්ෂූන් වහන්සේලා අනිවාර්යයෙන් ම මෙම වස් ශික්ෂාපදය සමාදන්විය යුතුය. මෙය ඉක්මවාලීම කිසියම් ආපත්තියක් සඳහා ද හේතු වේ. දායක දායිකාවන්ගේ ආරාධනයක් ඇතත් නැතත් භික්ෂුවක විසින් කිසියම් ස්ථානයක වස් විසීමේ මෙම උතුම් චාරිත්‍රය ආරම්භ වී වසර 2600 ද ඉක්මවා ගොස් ඇත. තත්කාලීන භාරතයේ කාලගුණික, පාරිසරික හා සමාජමය අවශ්‍යතා මත ආරම්භ වන මෙම උතුම් චාරිත්‍ර ධර්මය භික්ෂූන් වහන්සේලා තමා අධිගමයන් සඳහා වඩාත් උත්සුක වූ කාලසීමාවක් ලෙස ද සඳහන් කළ හැකි ය. වස්විසීම පිළිබඳ අවස්ථා දෙකක් අපේ ත්‍රිපිටක ධර්මයෙහි සඳහන්ව ඇත. පෙරවස්විසීම, පසුවස්විසීම යනුවෙන් එය හැඳින්වේ. ඇසළ පුරපොහෝ දිනයෙහි පොහෝ පවුරුණුකොට පසුදින වස් එළැඹීම පෙරවස් සමාදන්වීම ලෙසත්, නිකිණි පුර පුරපොහෝ දිනට පසුදින වස්විසීම පසුවස්විසීම ලෙසත් සඳහන් වේ. මේ සඳහා අවස්ථා දෙකක් ලබාදී තිබීම තුළින්ම මෙම උතුම් කාර්යයෙහි අනිවාර්ය බව මෙන් ම අවශ්‍යතාව ද මැනවින් වටහාගත හැකිව ඇත. මේ අනුව උපසපන් භික්ෂූන් වහන්සේගේ වස් එළැඹීමේ චාරිත්‍රය බුද්ධ නියමයක් ඉටුකරනවා මතු නොව විනය ශික්ෂාපදයක් ආරක්ෂාකිරීමක් ද වන්නේ ය. නියමිත දිනයෙහි පොහෝ පවරුණු කටයුතු සම්පූර්ණ කරන භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලා විසින් තීරණය කරගත් ස්ථානයෙහි අදාළ දිනයේ දී “ඉමස්මිං ආරාමේ ඉමං තේමාසං වස්සං උපේමි ඉධ වස්සං උපේමි” යනුවෙන් තෙවරක් වාචිකව ප්‍රකාශකොට වස් අධිෂ්ඨාන කිරීම සිදුකරනු ලැබේ. එසේ වස් විසූ භික්ෂුව එම ස්ථානයෙන් බැහැරව යාමේ දී ‘සතිකරණයෙන්’ යුතුව බැහැර විය යුතු අතර, ඉන් අදහස් කරනුයේ අනිවාර්යයෙන් ම නැවත එම ස්ථානයට පැමිණෙමියි යන අදහස ය. එදින පැමිණීමේ නො හැකියාවක් වේ නම් සතියක් ඇතුළත පැමිණෙමියි අධිෂ්ඨානශීලිව පිටත්වීම ‘සත්තාහකරණය’ යනුවෙන් දක්වා ඇත.

වස් ශික්ෂාපදය ආරක්ෂාකර ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා කොතරම් උත්සුකවන්නේ ද යන්න පමණක් නොව මෙම උතුම් ආගමික චාරිත්‍රයෙහි ඇති වගකීම් සහගත බව ද, මින් මනාව ප්‍රකට කෙරේ. අද සිට අපේ බොහෝ විහාරස්ථානවල ප්‍රධාන දොරටුව ආන්නයෙහි ‘අයං වස්සාන කාලෝ’ යන වැකිය ඉදිරි තෙමස පුරා ප්‍රදර්ශනය කිරීමෙන් පෙනීයන්නේ ද මෙහි ඇති වැදගත්කම පිළිබඳ භික්ෂූන් වහන්සේලා දක්වන මනා කැපවීම ය.

මහින්දාගමනය පොසොන් පොහෝදිනයෙහි සිදුවූ අතර, ඉන් පසුව එළැඹෙන ඇසළ පුර පොහෝ දිනයෙහි වස් විසීම නම් වූ බුද්ධ නියමය ඉටුකළ යුතු බව මිහිඳු මා හිමියන් වහන්සේ විසින් දෙවන පෑතිස් රජතුමාට දැනුම්’ දුන්නේ මතුනොව ඒ පිළිබද පූර්ණ අවබෝධයක් ද ලබාදුන්නාට සැකයක් නැත. ඒ අනුව මිහින්තලයෙහි අටසැටලෙන් හි භික්ෂූන් වහන්සේලා වස් වසා වැඩසිටි බව අපේ වංශකථා මගින් අනාවරණය කරනු ලැබේ.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]