UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: දුසිරිත් දුරලීමට ...

උපදේශාත්මක බණ කතා සාහිත්‍යය:

දුසිරිත් දුරලීමට ...

මෙම ලිපියෙහි තවත් කොටසක් ජූලි 12 වනදා පොසොන් අමාවක පොහොය පත්‍රයේ පළවිය.

හත්දෙනාගේ ජීවයේ ප්‍රතිඵල ස්වරූපය අමාවතුර කතුවරයා ගෙනහැර පාන්නේ මේ අකාරයටය.

" ඔවුන් කෙරේ රාත් වූ මහතෙරහු පිරිනිවියාහ. අනාගාමී වූ මහතෙරහු සුදසන් බඹතෙලෙහි උපන්හ. තුබු පස්දෙන කිසි විශේෂයක් නොලදින් වියළී සත්වන දවස් මිය කමවජරි දෙව්ලොව්හි උපැද සදෙව්ලොවැ අනුලොම් පිළිලොම් විසින් දෙව්සැපත් වළඳා මේ බව බුදුරජයෙහි දෙව්ලොවින් සැවැ ඒ ඒ කුලෙහි උපන්හු. ඔවුන් කෙරෙහි එක් කෙනෙක් පොක්සී මහරජ වූහ. එක් කෙනෙක් කුමරකසුඛු මහතෙර වූහ. එක් කෙනෙක් දාරුචීර මහතෙර වුහ. එක්කෙනෙක් දබ්මල්පුත්තිස් මහතෙර වූහ. එක්කෙනෙක් සභිය පරිබ්‍රාජක වූහ."

පුරිසදම්ම සාරතී ගුණයෙන් අප බුදුරජාණන් වහන්සේ දමනය කරනු ලැබුවේ සභිය නැමැති පරිබ්‍රාජකවරයා ය. ඔහු දමනය කිරීමේ දී අමාවතුර ග්‍රන්ථයේ ගුරුළුගෝමී පඬිවරයා දක්වා ඇති කතා පුවත පහත දක්වමු. දඹදිව එක්තරා රජෙකුට උපන් දියණියක් අධ්‍යාපනය ලැබීම සඳහා උගත් පරිබ්‍රාජකයෙකු වෙත යැවී ය. ඔහු සමීපයෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු සමඟ අනියම් සබඳතාවයක් ඇතිකරගත් දියණිය ගැබ්ගත්තේ ය. එම සිදුවීම දත් පරිබ්‍රාජක ගුරුතමා ශිෂ්‍යාව පිටුවහල් කළේ ය. අතරමඟ දී ඇය දරුවෙකු ප්‍රසූත කළා ය. ඔහු සභිය නම් විය. තරමක් වැඩිණු දරුවා සභිය පරිබ්‍රාජක නමින් මහණ විය. ඔහු විවිධාකාරයෙන් වාද විවාද ඉගෙන විවාද කිරීමේ අදිටනින් විවාදයට සුදුස්සකු සොයා දඹදිව් තලයේ ඇවිද ගිය ද, වාදයට අයෙකු හමුනොවී ය.අනතුරුව නුවර දොරටුව සමීපයෙහි ආශ්‍රමයක ශිෂ්‍යයන් සමග වාසය කළේ ය. එකළ අප ගෞතම බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ සිටි සේක. සභිය නමැත්තා බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැන නොසිටියෙ ්ය.

මේ අතර ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ සිටි මහා බ්‍රහ්මයා සමවතින් නැගී සිට තම අදහස් දැන්වී ය. පෙර කල හත්දෙනෙකු සමඟ දුෂ්කර ස්ථානයක සිට මහණදම් පුරා සිල් ආරක්ෂා කළ පින් මහිමයෙන් තමා දෙව්ලොව මහා බ්‍රහ්මයාව උපන් ආකාරය ආවර්ජනය කළේ ය. සත්‍ය සොයන සභිය පරිබ්‍රාජක ද බුදුරදුන් වෙත යැවිය යුතු බවට සිතා අහසින් අවුත් සභිය පරිභ්‍රාජකට කතාකොට ඔහු ඉදිරියෙහි දී දීප්තිමත්ව බබළමින් පෙනී සිටියේය. සභියගේ ජීවිතය ගොඩනගැනීම සඳහා ප්‍රශ්න 20ක් ද උගන්වා ආපසු බඹලොවටම ගියේ ය. ප්‍රශ්න 20 උගත් සභිය පරිබ්‍රාජක එයට විසඳුම් සෙවීම සඳහා මුළු දඹදිව පුරාම ඇවිද ගිය ද බුදුවරුන් යැයි කියාගන්නා පූර්ණ කස්සප ,මක්කලී ගෝසාල, අජිත කේශ කම්බල, පකුධකච්ඡායන, සංජය බෙල්ලට්ඨිපුත්ත, නිගන්ඨනාථ පුත්ත යන ෂඩ් ශාස්තෘවරුන් වෙත ගොස් ප්‍රශ්න 20 විචාරමින් විසඳුම් සෙවී ය. ඒ කිසිවකුගෙන් ප්‍රශ්න 20 සඳහා විසදුම් නොලැබිණි. ෂඩ් ශාස්තෘවරුන්ගෙන් සාරයක් නොල ද බැවින් රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හමුවට ගියේ ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමට පත් සභිය ප්‍රශ්න විස්ස විචාරීමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලීය. තමා යොදුන් හත්සියයක් දුර සිට පැමිණි බවද කීවේ ය. ඕනෑම ප්‍රශ්නයක් අසන ලෙස බුදුරජාණන් වහන්සේ අවසර දුන්හ. කරුණාව විදහා පෑහ. එයින් විස්මිත වූ සභිය පරිබ්‍රාජක බුදුරජාණන් වහන්සේට ස්තුති කොට ෂඩ් ශාස්තෘවරුන්ගෙන් එවැනි අවසරයක් නොලද බව ද, සදහන් කළේ ය. ප්‍රශ්න 20ක් සභිය විසින් විමසන ලදී. ප්‍රශ්න 20 ටම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ. එම ප්‍රශ්න හා පිළිතුරු විස්සම කුද්ධඛ නිකායේ සුත්ත නිපාතයේ සභිය සූත්‍රයේ සඳහන් වේ. එයින් ප්‍රශ්න දෙකක් හා පිළිතුරු දෙකක් පමණක් මෙහි දැක්වේ. සභිය මෙසේ විමසී ය. බුදුරජාණන් වහන්ස, සෝරත යනු කුමක් ද? යමෙකු රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණුවල උපෙක්ෂිත විසීයක් ඇත්තේද, ලොව කිසිදුක ප්‍රාණියෙකු නොපෙළා ද පව් නොකරන්නේ ද, මිථ්‍යා සංකල්ප නැතිවේද, රාග, දෝෂ, මෝහ, මාන, දිට්ඨි, ක්ලේෂ දුෂ්චරිත නැත්තේ ද ? හේ සෝරත නම් වේ. සභිය පරිබ්‍රාජකයා ඊළඟට මෙසේ ඇස ීය. බුදුරජාණන් වහන්ස, බුද්ධ යනු කවරෙක් ද? එවිට තෘෂ්ණා, දෘෂ්ටි කල්පයන් ද, අනිත්‍යාදිය ද, සසරද, චුති උප්පත්ති දෙක ද, දැන කෙලෙස් මළ දුරලූ රාගාදී රහිත වූ නිර්වාණ සංඛ්‍යාත පුද්ගලයා බුද්ධ යැයි වදාළ සේක ් සභිය ගේ තියුණු ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ ඉතා පහසුවෙන් පිළිතුරු දුන් සේක.

සභිය පරිබ්‍රාජක බුදුරජාණන් වහන්සේගෙන් ලත් පිළිතුරු තුළින් මෙල්ල වූයේ ය. දමනය වූ ඔහු පැවිදි වීමට අවසර ඉල්ලීය. එවිට බුදුහු සාරමසක් පිළිවෙත් පුරා අවසානයේ භික්ෂූන් වහන්සේලාලවා පැවිදි වීමට අවසර දුන්හ. අතිශයින් පැහැදී දමනයට පත් වූ සභිය තමා අන්‍යතීර්ථක නිසා මාස හතරක් නොව වර්ෂ හතරක් පිළිවෙත් පිරීමට අවසර ගෙන විනයධර භික්ෂූන් අතින් පැවිදි විය. සභිය පරිබ්‍රාජකයා රහත් බවට ද පත්විය. සභිය පරිබ්‍රාජක පමණක් නොව, තවත් පරිබ්‍රාජකයන් කිහිප දෙනෙකුද, දමනය කළ බුදුරජාණන් වහන්සේ ඔවුන් අමාමහ නිර්වාණයටම පත්කළහ. ඔබ ද , දුසිරිත් ගති දුරලා සම්‍යයක් දෘෂ්ඨිකයකු වීමට අමාවතුරේ එන සභිය පරිබ්‍රාක කතාපුවත අවබෝධකොට ගත යුතු ය.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]