Print this Article


සෞන්දර්යය හා කලා රසිකත්වය ආත්ම සංයමය සඳහාය

සෞන්දර්යය හා කලා රසිකත්වය ආත්ම සංයමය සඳහාය

මෙම ලිපියේ මුල් කොටස පොසොන් පෝදා (27) පත්‍රයේ පළවිය.

භාරතීය ස්තූපවල තිබු ගරාදි වැට හා ඡත්‍රය ලක්දිව ආරම්භක ස්තූප වල දක්නට තිබී ඇත.

ඒ අනුව මුල දි ස්තූපයේ 1 මේධී, 2.ගර්භය 3 . හර්මිකාව 4. ඡත්‍රය යන අංග හතර පැවති බවට සාධක ඇත. එහෙත් පසු කාලයේ එය අංග අටක්ව සකස්ව තිබේ. 1.පදනම 2. ආසනය 3. තුන් මහ පේසාව 4. ගර්භය 5.හතරැස් කොටුව 6. දේවතා කොටුව 7.කොත් කැරැල්ල 8.කොත වශයෙනි. ස්තූපයේ ඒ ඒ කොටස් වලින් එක් එක් අර්ථයන් දෙන බව සමහරු ප්‍රකාශ කරති. සුවාසු දහසක් ධර්මස්කන්ධය නමැති පදනමේ සිට නිර්වාණය නමැති කොත දක්වා අනුපිළිවෙලක් අර්ථවත් කොට ඇත. මෙසේ විමසා බලන විට ලංකාවේ ස්තූප කලාව දියුණු වී යත්ම එයට උසස් පරමාර්ථ ද ගැබ් කිරීමට කලාකරුවා අමතක කොට නැත.

බෝධි වන්දනාව, ස්තූප වන්දනාව තරම් කලාවේ හා ගෘහ නිර්මාණ ශිල්පයේ සංවර්ධනයට හේතු වූ බවක් නො පෙනේ. බෝධිය බොහෝ විට රෝපණය කරන ලද්දේ නිරාවරණ භුමියක මෙන්ම උස් ස්ථානයකය. අනුරාධපුර ශී‍්‍ර මහා බෝධි රෝපණය කරන ලද්දේ උස් මළුවක ය. එම මස්තකයට නැගීමට ගල්වලින් සකස් කරන ලද පිය ගැට පෙළ හතරක් තනා ඇත. ශ්‍රී මහා බෝධිය වටා ශෛලමය වේදිකාවක් තනා තිබූ බව මහා වංශයේ සඳහන් වේ. එය බුද්ධගයාවේ ශී‍්‍ර මහා බෝධිය වටා තිබූ ශෛලමය වේදිකාවට සමාන වූවක් විය හැකි ය. එහි දොරටු හතරේ ධර්ම චක්‍ර නම් වූ ස්තම්භ හතරක් තිබී ඇත. ප්‍රධාන දොරටු තුනේ ශෛලමය පිළිම තුනක් ද දකුණුූ දොරටුවේ පළඟක් ද විය. බුද්ධගයා බෝධි මණ්ඩලය ඉහත සඳහන් අයුරු සකස් වී තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වටා ද බෝධි ඝරයක් තිබු බව මහාංවංසයේ සඳහන් වේ. භාරුත්, අමරාවති හා ඉන්දියාවේ වෙනත් පැරැණි ස්ථානවල ද බෞද්ධ ඝර නිරූපණය කර දක්වන කැටයම් තිබේ.

බුදු පිළිම නෙළීමේ කලාවද ලක්දිවට පැමිණියේ එය ඉන්දියාවේ ඇති වූ කාලයට සමගාමීව ය. බුද්ධ රූපය ප්‍රථම වර දක්නට ලැබෙන්නේ ස්තූප අලංකාර කිරීමට පිහිටුවන ලද ගල් වැටවල පැතලි ආකාරයෙනි. පසුව බෝධින් වහන්සේ යට බුදු පිළිමය තැන්පත් කිරීම සිදු විය.මේ අනුව ස්තූපයට බෝධියට තිබුණ තැන බුදු පිළිමයට ද ලැබුණි, හිටි පිළිම, වැඩි හිඳින පිළිම හා සැතපෙන පිළිම වශයෙන් නොයෙක් ඉරියව් දැක්වෙන බුදු පිළිම නිර්මාණය කරන ලදී. පිළිමයේ ආරක්ෂාවට පිළිම ගෙවල් තැනීම ද, පසු කාලීනව දියුණු විය. ප්‍රතිමා ඝර නමින් ඒවා හැඳින්විණි. අතීත පිළිම ගෙයකට හොඳම උදාහරණය වන්නේ අනුරාධපුරයට උතුරින් පිහිටි කිරිබත් වෙහෙර පිළිම ගෙය යි.

ආවාස ගෙය ද ගෘහ නිර්මාණ ශිල්පයේ වර්ධනයට ඉදිවූ තවත් නිර්මාණයකි. මුලදී භික්ෂූන් වහන්සේලාගේ වාසය සඳහා ගල්ලෙන් පිළියෙල කොට ඇති බව පෙනේ. මිහින්තලය වෙස්සගිරිය, ඉසුරුමුණිය, සිතුල්පව්ව වැනි ස්ථානවල පිහිටි ස්වභාවික ලෙන් භික්ෂු ආවාස ලෙස සකස් කොට පූජා කරන ලද ආකාරය මහා වංශයේ සඳහන් වේ. එහෙත් පසුකාලීනව භික්ෂූන් වහන්සේලාගේ ගණන වැඩිවීමත් සමඟ ප්‍රාසාද වශයෙන් හා මන්දිර වශයෙන් වර්ධනය විය. දික්සඳ සෙනවියා විසින් එවැනි ප්‍රාසාදයක් කරවා ඇත. කනිට්ඨතිස්ස රජු රත්න ප්‍රාසාදය කරවා භික්ෂු වාසයට පූජා කළේ ය.

ඉහත දැක්වූ කලා ශිල්පවලට අමතරව භික්ෂුන් වහන්සේගේ විනය රැක්ම සඳහා උපයෝගී වන මන්දිරය උපෝසථාගාරය භාවනානුයෝගි භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය ගොඩනැගිලි විශේෂය පධානඝරයද, මුල් යුගයේ දී බැතිමතුන්ගේ පුද පූජා ලද වස්තුවක් වූ ආසන ඝරය, දාගැබ, බෝධිය, විහාරය,උපෝසථාගාරය යන ස්ථානවල මළුවට නැගීම සඳහා තනන ලද පිය ගැටපෙළ වැනිදෑ සැරසු බෞද්ධ කැටයම්, විහාරස්ථානයට අවශ්‍ය පොකුණූ, චිත්‍ර කලාව ආදි වෙනත් විවිධ කලා ශිල්ප බුදු දහමේ ආභාෂයෙන් සකස්ව තිබේ. මෙයට අමතරව චිත්‍ර ශිල්පිය දියුණු වීමට ද, බෞද්ධ ආභාසය ප්‍රබලව ලැබී ඇති බවද සඳහන් කළ හැකි ය.