Print this Article


ශ්‍රී දළදා පුරාණය - 16: ශ්‍රී දළදා මාලිගාව හා බැඳුණු සාම්ප්‍රදායික චාරිත්‍ර

 

ශ්‍රී දළදා මාලිගාව හා බැඳුණු සාම්ප්‍රදායික චාරිත්‍ර

දළදා මාලිගාවේ කාර්යභාරය ඉටුකරන ගිහි පින්වතුන් අතර විදානේවරු යන නාමයෙන් හඳුන්වනු ලබන පිරිසට විශාල වගකීමක් හිමි වේ.

ඓතිහාසික සෙංකඩගල ප්‍රදේශයේ ශ්‍රී දළදා මාලිගාව නිර්මාණය කිරීමෙන් පසු අතිපූජනීයවූත්, ගෞරවනීයවූත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදුකරනු ලබන තේවා කටයුතු ඒ ඒ යුගවල රාජ්‍ය කළ සැදැහැති රජදරුවන් විසින් ගෞරවාන්විතව සිදුකර ඇත. සහල් සේරු තිස්දෙක හා, ව්‍යංජන තිස්දෙක සහිත බුද්ධ පූජාව පැවැත්වීම , සන්ධ්‍යා යාමයේ පවත්වනු ලබන ගිලන්පස පූජාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කරගැනීම ,තේවා කටයුතුවල නිරතව සිටින නායක මා හිමිපාණන් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුකම් සලසාදීම, සෙසු තේවා කටයුතුවල නිරතව සිටින ගිහි පින්වතුන්ගේ ෙවිතන ලබාදීම, ශ්‍රී දළදා මාලිගාවේ පවත්වනු ලබන සංවර්ධන කටයුතු ඉටුකර ගැනීමට අවශ්‍ය වියදම් සොයාගැනීම උදෙසා ගොඩමඩ ඉඩම් සහිත ගම්වර පුජා කළ බවට තොරතුරු දළදා ඉතිහාසය තුළින් හමු වේ. එම ගම්වර පුජා කිරීමෙන් පසු තේවා පරිපාලනය කිරීම ඇතුලු කට්ටලය නමින් හඳුන්වන නිලධාරීන්ට පමණක් සිදුකිරීම අපහසු බැවින් ගම්වර අධික්ෂණ කටයුතු පමණක් ඇතුලු කට්ටලයේ නිලධාරින් විසින් සිදුකරන අතර සියලු රාජකාරිමය වගකීම් හා ගොඩමඩ ඉඩකඩම්වල ප්‍රධානත්වය දැරීමට වෙල්විදානේ නමින් හැඳින්වෙන පිරිසක් නම් කරන්නට යෙදී ඇත. කෘෂිකාර්මික ප්‍රදේශවල වෙල්විදානේවරුන් පත්කර ගැනීම බොහෝ දුරට දක්නට ලැබුණ ද, ශ්‍රී දළදා මාලිගාවට අයත් ගොඩමඩ ඉඩම් සහිත ක්ෂේත්‍රයන්හි සියලු කටයුතු සොයාබැලීම සඳහා විදානේවරයකු පත්කිරීම දියවඩන නිලමේවරයා විසින් සිදුකර ඇත. ගම්වල සිටින විදානේවරුනට වඩා ශ්‍රී දළදා මාලිගාවේ පත්කරනු ලබන විදානේවරුන් සඳහා බොහෝ ගෞරව හා වරප්‍රසද හිමි වේ. ඒ ආකාරයට අතීතයෙහි පත්කරන්නට යෙදුන විදානේවරුන්ගේ ගණන දහයක් වශයෙන් සඳහන් ය. ඉඩකඩම් පුජා කළ ගම්වල නාමයෙන් සෑම විදානේවරයකුම හඳුන්වා ඇති අතර ගබඩාගම යන පොදු නාමය අවසානයේ යොදා තිබෙන අයුරු දක්නට ලැබේ. ඒ අනුව ගොඩමඩ ඉඩම්වල ආදායම් එකතුකර ගබඩාකර තැබීම හේතු කොටගෙන ගබඩාගම යන නාමය පටබැඳී ඇතැයි විශ්වාස කළ හැකි ය. ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවෙහි පත්කරන ලද විදානේවරු මෙසේ සඳහන් කළ හැකි ය.

උඩදුම්බර ගම්පහ බටහිර කෝරළයේ බඹරබැද්ද පිටිගොඩ ගබඩාගම විදානේ ,

උඩදුම්බර ගම්පහ බටහිර කොරළයේ දොරලියැද්ද ගබඩාගම විදානේ

,නුවරඑලිය ගල්ලෑව කෝරළයේ කිතුල්පේ ්්ගබඩාගම විදානේ, ගඟ පළාත ගුරුදෙණිය ගබඩාගම විදානේ,

හාරසිය පත්තුව අලුදෙණිය ගබඩාගම විදානේ, හාරසිය පත්තුවේ අලදෙණිය ගබඩාගම විදානේ , උඩ පළාත ගඟ පහළ කෝරළයේ කළුගමුව ගබඩාගම විදානේ, උඩුනුවර ගඟ පළාත කෝරළයේ රදාගොඩ ගබඩාගම විදානේ , උඩුනුවර ගඟ පළාත කෝරළයේ කිරිගල්ල ගබඩාගම විදානේ , උඩුනුවර ගඟ පළාත කෝරළයේ අලපලාවල ගබඩාගම විදානේ යනුවෙනි.

අතීතයෙහි සිටි විදානේවරු දස දෙනෙකු පිළිබඳ තොරතුරු හමුවන අතර ගුරුදෙණිය ගබඩාගම විදානේ හා අලුදෙණිය ගබඩාගම විදානේ ්පිළිබඳ තොරතුරු වර්තමානයෙහි දී හමුනොවුව ද, ඒ වෙනුවට යටිනුවර ගඟ පළාත කෝරළයේ ගංතුරේ මුං අතුගොඩ ගබඩාගම විදානේ,ගඟ පළාත කෝරළයේ හේවාගොඩ ගබඩාගම විදානේ හා හාරසිය පත්තුවේ අංගොඩ ගබඩාගම විදානේ යනුවෙන් අමතර විදානේවරු තිදෙනකු පත්කර ඇති බවට දළදා මාලිගාවේ තොරතුරු ආශ්‍රයෙන් පෙන්වා දිය හැකි ය.

මේ අනුව අතීතයෙහි භාවිත කළ ඇතැම් නිල නාම වර්තමානයෙහි දක්නට නොලැබේ. මෙම නාමයන් පත්කිරීම පාරම්පරිකව සිදුකරන අතර පාරම්පරික පුද්ගලයකු නොසිටි අවස්ථාවන්හි ගම්මානයෙහි ප්‍රධාන පුද්ගලයකු පත්කිරීම සිදුකරනු ලබයි. මේ ආකාරයෙන් පත්කරනු ලබන විදානේවරු සඳහා වෙනම රාජකාරි ලයිස්තුවක් ද දළදා මාලිගාව තුළින් සකසා ඇති අතර එහි රාජකාරිමය කටයුතු නිවැරැදිව ඉටු කිරීම එම විදානේවරුන්ගේ ප්‍රධාන වගකීම වේ. එය පහත ආකාර වේ.

ඒ ඒ විදානේවරයාට අයත් ගම්මානයෙහි පවතින ගොඩමඩ ඉඩම් වල සුරක්ෂිතබව ඇතිකිරීම,

කෘෂිකර්මාන්ත කටයුතු අවසානයේ අස්වැන්න නෙළීමෙන් පසු මාලිගාවට අයිති පංගුව වෙන්කොට නිසි ලෙස මාලිගාවට ලැබීමට සැලැස්වීම,

ඉඩකඩම් භුක්ති විඳින්නන්ගෙන් නියමිත කාලයට බදු මුදල් එකතු කර ලබාදීම,

අලුත් සහල් මංගල්‍යය,අලුත් අවුරුදු මංගල්‍යය, පෙරහර මංගල්‍ය හා කාර්තික මංගල්‍යය යන සතර මංගල්‍යයන්හි කාරිය කරවන කෝරාළගේ අධීක්ෂණය යටතේ රාජකාරී කටයුතු වල නිරතවීම

ශ්‍රී දළදා මාලිගාවේ සාම්ප්‍රදායිකව සිදුකරන සෙසු චාරිත්‍ර හා ඇතුලු පෙරහර හා පිටත පෙරහර කටයුතු වල දී ඊට අවශ්‍ය සහාය දැක්වීම,

සියලු මංගල්‍යයන් පැවැත්වෙන අවස්ථාවන්හි මෙන්ම, සාම්ප්‍රදායික සිරිත් විරිත් ඉටුකරන අවස්ථාවන්හි දී වැඩසිටින මාලිගා පරිශ්‍රයේ සැරසිලි කටයුතු සඳහා අවශ්‍ය සහාය දැක්වීම. තේවා කටයුතු පැවැත්විමේ දී අවශ්‍යතා මත සැම කාර්යයක්ම මනාව ඉටුකිරීම විදානේවරුන් සියලු දෙනාගේම වගකීමකි.

වගකීම් පැහැරහරිනු ලබන විදානේවරුන්ගේ සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමේ අයිතිය දියවඩන නිලමේවරයා සතුව පවතී.

ශ්‍රී දළදා මාලිගාවෙහි තේවා කටයුතුවල නියුතුව සිටින පිරිස අතර ශබ්ද පූජාව පැවැත්වීම සඳහා ඒ වෙනුවෙන් වෙන්වූ පාරම්පරික කණ්ඩායමක් ද සිටී. උදෑසන 5.30 පෙරවරු 9.30 හා සවස 6.30 දක්වා පැවැත්වෙන බුද්ධ පූජාව හා ගිලන් පස පූජාව පුජා කරන අවස්ථාවන්හි දී නොකඩවා ශබ්ද පූජාව පැවැත්වීම ඔවුන්ගේ කාර්යයභාරය වේ. මහනුවර දළදා මැදුර ඉදිවූ ආරම්භක අවධියෙහි සිටම අඛණ්ඩව දීර්ඝ කාලයක් පුරා ශබ්ද පූජාව පැවැත්වූ පුමුඛ ස්ථානයක් ලෙස දළදා මන්දිරය හැඳන්විය හැකි ය. පෙරහර පැවැත්වෙන දිනයන්හි දී පෙර කරන ලද දැනුම් දීමකට අනුව ඒ වෙනුවෙන් වෙන්වූ පාරම්පරික හේවිසි කරුවන් පෙරහර සඳහා සූදානම් වේ. තම්මැට්ටම්, හොරණෑ දවුල් ආදියෙන් නැගෙන පංචතූර්යනාදය පැවැත්වීමට අතිදක්ෂ හේවිසි කණ්ඩායම් ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කරගනිමින් සිටී. විශේෂයෙන්ම උඩරට ප්‍රදේශයට ආවේණික වන පරිදි එම භාණ්ඩ වාදනය කිරීමෙන් දළදා වහන්සේ වැඳපුදා ගන්නා වූ සැදැහැවතුන්ගේ ද සිත් සතන් ප්‍රමෝධමත් වේ. සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන කාර්යයන්හි දී ප්‍රධානත්වය ගෙන නායකත්වය ලබාදෙන පුද්ගලයකු හේවිසි කණ්ඩායම් අතර සිටී. ඒ ඒ අවස්ථාවන්හි දී සියලු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සියල්ල නිවැරැදිව නිරවුල්ව සිදුකිරීම ඔවුන් සතු කාර්යයභාරයකි. මේ ආකාරයට ශබ්ද පුජාව පවත්වනු ලබන සියලු දෙනාට පාරම්පරිකව බුක්තිවිදීම සඳහා මාලිගාව සතු ඉඩකඩම් කුඹුරු ලබාදී තිබේ. එයට අමතරව ඒ සියලු දෙනා සඳහා අවශ්‍ය පහසුකම් සියල්ලම දළදා මාලිගාව තුළින් ලබාදේ. අතිපූජනීය වූත් ගෞරවනීය වූත් දළදා හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් ගෞරවාන්විතව සියලු කටයතු ඉටුකිරීම ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව වේ.


ශ්‍රී දළදා පුරාණය - 15 : ගෞරවනීයවූත් අතිපූජනීයවූත් දළදා තේවාව හා බැඳී පවතින සාම්ප්‍රදායික සිරිත්