Print this Article


බුදුපිළිමයේ උපත - 103 : නීලගිරි මහා දාගැබෙන් හමු වූ ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ

බුදුපිළිමයේ උපත - 103

නීලගිරි මහා දාගැබෙන් හමු වූ ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2011-2012 වර්ෂවලදී “නීලගිරි මහා දාගැබේ” කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් නිසා මෙතෙක් එවැනි කැණීමකින් හමුවු විශාලතම පුරාවස්තු එකතුව එය බව වාර්තා වී ඇත.එම පුරාවස්තු අතර සර්වඥ ධාතුන් වහන්සේලා හමුවීම ඉතා විශේෂිත වු බව ද සඳහන් කළ යුතුව ඇත. අඩි එකහමාරක් පමණ උස්වූ ශිලාමය කරඬුවක් තුළ මැටි කරඬුවක් තැන්පත් කර තිබුණි. ඒ මැටි කරඬුව තුළ වූ කුඩා රන් මංජුසාවක් විය. එම රන් මංජුසාව තුළ රන් පත්‍රයක ඔතා කුඩා වස්තුවක් තිබුණි.එය සර්වඥ ධාතුන් වහන්සේ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යාඥයින් විසින් හඳුනා ගන්නා ලදී. එහිදී ඔවුන් මේ සර්වඥධාතුන් වහන්සේ බව තහවුරු කිරීම සඳහා සාපේක්ෂ සාධක කීපයක් ම පදනම් කර ගෙන තිබුණි. ඒවා මෙසේ ය.

1.සර්වඥධාතුන් වහන්සේ රන් පත්‍රයක ඔතා රන් මංජුසාවක තැන්පත් කර එම සර්වඥධාතුන් වහන්සේ කැටයම් කරන ලද රන් කරඬුවක තබා තිබුණි.එම රන් කරඬුව මැටි කරඬුවක සහ ගල් කරඬුවක තැන්පත් කර ඉතා ආරක්ෂිතව තිබීම.

2.පුරාතන ලංකාවේ ඉතා විශේෂ අවස්ථාවලදී පමණක් භාවිත කරන ලද දුර්ලභ ලෝහයක් වන රත්රන් වලින් සාදන ලද ස්වර්ණමය කරඬුවක සර්වඥාධාතුන් වහන්සේ තැන්පත් කර තිබීම

3.නීලගිරි දාගැබේ පුරාවිද්‍යා කැණීම් කටයුතු සිදු කිරීමේ දී පුරාවිද්‍යාඥයින්ගේ විශේෂ අවධානයට යොමු වූ කුඩා රන් කරඬුවේ කැටයම් කර තිබූ නෙළුම් මලද විශේෂිත වූයේය.ඒ අනුව එම රන්කරඬුවේ පවතින අලංකාර නෙළුම්මල් කැටයම බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද සංකේතයක් බවත් ඒ මගින් ඒ රන් කරඬුවේ තැන්පත් කර තිබුණූ ධාතුන් වහන්සේ සර්වඥධාතුන් වහන්සේ බවත් පුරාවිද්‍යාඥයින් විසින් තහවුරු කර ඇත. ඉතා මෑතකදී නීලගිරි මහා දාගැබෙන් හමුවූ ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ මහජනතාවගේ වැඳුම් පිදුම් සඳහා වෙසක් පුන් පොහෝදා අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය නිල නිවාසයේ සංවිධානය කර තිබුණි.

නීලගිරි මහා දාගැබේ පිහිටීම

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ (සියඹලාන්ඩුව– පොතුවිල් පාරේ) ලාහුගල ආසන්නයේ පිහිටි හැඩඔය නිම්නයේ මහා වනය තුළ මෙම නීලගිරි මහා දාගැබ පිහිටියේය. නීලගිරි මහා දාගැබට අමතරව මෙහි විශාල ප්‍රදේශයක පිහිටි ආරාම සංකීර්ණයක්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ හා කැණීම් වලින් සොයාගෙන ඇත. 1978 වැනි කාලයේදී මෙම පුදබිම හඳුනා ගන්නා අවස්ථාවේ මෙම දාගැබෙහි රූස්ස ගස් වැවී තිබුණු බව වාර්තා වී ඇත.

මෙම පුදබිමට 1985 දී සංචාරය කළ ලංකාවේ ප්‍රකට විද්වතෙකු වූද සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වූ ද, ග්‍රන්ථකර්තෘවරයෙකු වූ ද ආචාර්ය සෝමපාල ජයවර්ධන මහතා මෙසේ සඳහන් කරයි.

නීලගිරි දාගැබ ඉතා විශාල දාගැබකි. එහි පාදමේ වටය අඩි 480 බව ස්ථානභාර නිලධාරිගෙන් දැන ගතිමි.සමස්ත දාගැබම ඒ වන විට මහා වනයෙන් වැසී තිබුණි. ඒ මත අඩි 30 තරම් උස ගස් වැවී තිබුණි. මෙම දාගැබ මුදුනට නැග ගත්විට එහි වු යුපගල දාගැබ හරහට වැටී තිබෙනු දක්නා ලදී. එම යුපගල වට ප්‍රමාණ අඩි 2 පමණ විය. දකුණු දෙසින් නීලගිරි කන්ද වේ. මෙම දාගැබ අඩි 80 පමණ උසය. දාගැබ අසල ශිලා ඡත්‍ර ගල් කණු ආදිය ද තිබුණි.

(සිංහල ස්වදේශික විශ්ව කෝෂය –ආචාර්ය සෝමපාල ජයවර්ධන පි. 107-108 ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ 1985)

නීලගිරි මහා දාගැබ පිළිබඳ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ද හැන්දුපැල්පොල පුඤ්ඤරතන හිමියන්ද ලියා ඇත.

නීලගිරි දාගැබ නිශ්චිත ලෙසින්ම නිර්මාණය කල කාලය හා එය කුමන රජකෙනෙකුගේ අනුග්‍රහයෙන් සාදන ලද්දේදැයි නිගමනය කර නැත. මෙම පුදබිමෙහි පුරා විද්‍යාකැණීම්වලදී යුග දෙකකට අයත් සාක්ෂි හමුවී ඇත. එනම් ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ දෙවැනි සිය වස සහ ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවසට අයත් පුරාවිද්‍යාත්මක සාක්ෂි ලෙසිනි.

යුද සමයෙන් පසුව 2010 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නැගෙනහිර පළාතේ සිදුකරන ලද පුරාවිද්‍යා ගවේෂණයෙන් පසුව මෙම පුරාණ නීලගිරි දාගැබ හඳුනාගෙන ඇත. ඊට අමතරව එම ප්‍රදේශය තුළ තවත් පුරාවිද්‍යා ස්මාරක සියයකට අධික සංඛ්‍යාවක් සොයා ගැනීමට ලැබී තිබේ.

මෙම පුදබිමෙහි ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසට අයත් ශිලාලිපියක සීවලි පබ්බත විහාරය යන නාමය සඳහන් වී ඇත. ඊට අමතරව මහාදාඨික මහානාග රජු විසින් කරවන ලද පාෂාන දීපික විහාරය බවටත්, ඊට පෙර කාවන්තිස්ස රජ විසින් කරවන ලද මහානුග්ගල සෑය බවටත් සමහරු සඳහන් කරති.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෑත දී සොයාගන්නා ලද නීලගිරි දාගැබක හමු වූ සර්වඥධාතුන් වහන්සේ සැබවින්ම අප රටට ආශිර්වාදයක් වන්නේ ය.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 102: ලලාට ධාතුන් වහන්සේ නිධන් කළ සේරුවිල මංගල මහා ස්තූපය