UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලලාට ධාතුන් වහන්සේ නිධන් කළ සේරුවිල මංගල මහා ස්තූපය

බුදුපිළිමයේ උපත - 102:

ලලාට ධාතුන් වහන්සේ නිධන් කළ සේරුවිල මංගල මහා ස්තූපය

" බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ තුන්වැනි ගමනේ දී මෙම පුදබිමට වැඩම කර නිරෝධ සමාපත්තියට සමවැදී මෙම පුදබිමෙහි වැඩසිටි බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ."

සේරුවිල පුදබිම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා පැරැණි බෞද්ධ සිද්ධස්ථානයකි. පැරැණි රෝහණ ජනපදයේ උතුරු දෙස සේරුවාවිල සමීපයෙහි ඇති මහා දාගැබ මෙහි අති අතිපුජනීය වූවකි.

ජය ශ්‍රී මහබෝධි ශාඛාව ලංකාවට වැඩම කරවන ලද්දේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රාජ යුගයේ (ක්‍රි.පූ. 250-210) දීය. ශ්‍රී මහා බෝධි ශාඛාව මහමෙව්නා උයනේ රෝපණය කිරීමෙන් පසුව අෂ්ටඵල රුහ බෝධින් වහන්සේලා පිළිබඳවද ඉන්පසු හටගත් දෙතිස්ඵල රුහ බෝධින් වහන්සේලා ගැනද මහාවංසයේ සඳහන් වෙයි. මෙම දෙතිස්ඵල බෝධින් වහන්සේලාගෙන් එක් බෝධින් වහන්සේ නමක් මෙම පුදබිමෙහි රෝපණය කරන ලද බව සිංහල බෝධිවංසයෙහිද සඳහන්වේ. මෙය එහි සඳහන් වන්නේ නයින්ගේ විල්ගම්වෙහෙර යන නාමයෙනි. මෙයින් කියැවෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි වෙල්ගම් වෙහෙර නොව සේරුවාවිල බව විද්වතුන් විසින් හඳුනාගෙන ඇත. මේ අනුව මෙම පුදබිම දේවානම්පියතිස්ස රාජ කාලය තෙක් පැරැණි බව හෙළිවේ. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ තුන්වැනි ගමනේ දී මෙම පුදබිමට වැඩම කර නිරෝධ සමාපත්තියට සමවැදී මෙම පුදබිමෙහි වැඩසිටි බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ ප්‍රදේශයෙහි ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දී සේරු නමින් රාජ්‍යයක් තිබුණි. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ සහ කේශ ධාතුන් වහන්සේ නිධන් කර දුටුගැමුණු රජතුමාගේ පියාවූ කාවන්තිස්ස රජු විසින් සේරු ප්‍රදේශයේ දාගැබක් කරවන ලද බව ධාතුවංසයේ සඳහන් වේ. මේ දාගැබ සේරුවිල දාගැබ ලෙසින් පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් විසින් හඳුනා ගෙන ඇත. සේරුවිල පුදබිම පුරා විසිරී ඇති පිළිම ගෙවල්, බෝධිඝරය ,පොකුණූ ආදි පැරැණි විහාරස්ථානවලට, අවශ්‍ය අංගයන්ගේ නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද පුරාවිද්‍යා කැණීම් සහ ගවේෂණ වලදී සොයාගෙන ඇත. සේරුවිල මංගල මහා ස්තූපය ලෙසින් ධාතුවංශයෙහි සඳහන් වන්නේ මේ දාගැබය. පාලි ධාතු වංශයෙහි මේ දාගැබ හඳුන්වන්නේ මංගල ථූප යනුවෙනි.

හතරවන කාශ්‍යප රජුගේ (ක්‍රි.ව. 894) ශිලා ලිපියක් මෙම දාගැබේ බටහිර දොරටුව පාමුල ගල්තලාවේ දක්නට ලැබේ. එම ශිලා ලේඛනයේ මෙම පුදබිමෙහි ඇති දාගැබ තිස් මහ වෙහෙර’ යන නාමයෙන් හැඳින්වේ. මෙම දාගැබෙහි නිධන් කර ඇති ලලාට ධාතුන් වහන්සේ කුසිනාරා නුවර සිට සේරුවිලට වැඩම කරවීම තෙක් වූ කතාව ඇරඹෙන්නේ මල්ලරජ දරුවන්ගේ සල් උයනෙහි පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණු ඇදුරුතුමන් විසින් බෙදා වෙන් කළ අවස්ථාවෙහි සිටය. එය පළමුව අයත් වූයේ මල්ලරජ දරුවන්ටය. එහෙත් කාශ්‍යප මහ රහතන් වහන්සේ එය තම ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත්වන ලෙස ඔවුන්ගෙන් පවරා ගත්හ. බොහෝ කාලයක් තිස්සේ රහතන් වහන්සේලා විසින් ආරක්ෂා කරන ලද මහාර්ග පුජනීය වස්තුවක් වු ලලාට ධාතුන් වහන්සේගේ ආරක්ෂාව යටාලතිස්ස රජතුමාට පවරන ලද්දේ රෝහණයේ හත්ථෝටික දනව්වේ කුක්කුට පබ්බතයේ වැඩ සිටි මහාදේව නම් රහතන් වහන්සේගෙන් බව ධාතුවංසයෙහි සඳහන් වන්නේය. යටාලතිස්ස නිරිඳුන්ගෙන් පසු ඔහු පුත් ගෝඨාභය රජුටත්, එතුමා ඇවෑමෙන් කාවන්තිස්ස රජුටත් ලලාට ධාතුන් වහන්සේගේ උරුමය ලැබුණි. බුදුරජාණන් වහන්සේ ද ලලාට ධාතුන් වහන්සේ සේරුවිල අසල චෛත්‍යයක තැන්පත් කරන ලෙස අනුදැන වදාරා ඇතැයි පවසා, කාවන්තිස්ස රජු මෙහෙයවා, සේරුවිල සමීපයෙහි විහාර කර්මාන්තය ආරම්භ කරවන ලද්දේ විහාර මහා දේවියගේ සහෝදරයෙකු හෝ බෑනනුවෙකු වු චුල්ලපිණ්ඩපාතික තිස්ස නම් හිමියන් විසිනි. (ලලාට ධාතුවෙන් ඔපවත් කොටසර දනව්වේ සේරුනුවර රාජධානිය, කන්තලේ ජී.එල්. සිරිසේන පි. 53-54 දයාවංශ ජයකොඩි සහ සමාගම – 2014)

කාවන්තිස්ස රජු, සිව, මහානාම හා අභය යන තුන් රජුන්ගේ සහයෙන් පෙදෙසේ වැසියන්ගේ ශ්‍රමයෙන් වෙහෙර කර්මාන්තය නිමවා තම පරපුර සතුව පැවති ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර වෙහෙර වැඩ නිමවා තම මෙහෙසියගේ ඥාති චුල්ල පිණ්ඩපාතික තිස්ස හිමියන්ට පුජා කර ඇත.

මෙම පුදබිම රැකගැනීමටත්, තවත් මෙම පෙදෙසේ බෞද්ධ පුදබිම් සුරක්ෂිත කිරීමටත් මහඟු කාර්යයක් ඉටු කළ අපවත්වී වදාළ පූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහා නා හිමිපාණන් වහන්සේ සිය දිවි දෙවැනි කොට එම ශාසනික සේවාව ඉටු කළ බව, ගෞරව පුර්වකව සඳහන් කළ යුතු කරුණකි. 1921 දී උන්වහන්සේ මෙම දාගැබ නටබුන්වී තිබු ස්ථානයට වැඩම කරවන විට සේරුවිල දාගැබ පස් ගොඩක් සේ කාලයෙන් වැසී තිබු බව වාර්තා වී ඇත. පූජ්‍ය දඹගස්ආරේ නා හිමියන් මේ පුදබිම පමණක් නොව නැගෙනහිර පළාතේ බොදු පුදබිම් රැසක්ම රැක ගැනීමටත්, බෞද්ධ ජනාවාස දියුණු කිරීම සදහාත් අප්‍රතිහත ධෛර්යයකින් යුතුව කටයුතු කර ඇත.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 101: දකුණු දළදා වහන්සේ නිධන් කළ සෝමවතී දාගැබ

 

   අධි පොසොන් පුර අටවක පෝය


 ... අධි පොසොන් පුර අටවක පෝය මැයි මස 21 වන දා සඳුදා අපරභාග 10.17 ට ලබයි.
22 වන දා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 22 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි 29 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budus[email protected]