UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු ගුණමහිම: ත්‍රිවිධ ශික්ෂා ධර්ම වැඩීම

ත්‍රිවිධ ශික්ෂා ධර්ම වැඩීම

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 29

" සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රි ශික්ෂා ධර්මයන් යම් තැනක ද පවතින්නේ, යම් කෙනෙක් ද වඩන්නේ, යම් කෙනෙකු ද දියුණු කරන්නේ ඒ ඇත්තාතුළ ‘මාර්ගාංග‘ සම්පූර්ණ වෙනවා."

තමන් සිවුර පෙරවනකොට සිවුර පෙරවාගන්න හැටි, සිවුර ගලවන හැටි ඒ වාගේම වැසිකිළි කැසිකිළි යන විට, ආහාර ගන්න විට අත පය දික්කරන විට, මේ ආදී හැම අවස්ථාවක් ම සිහිනුවණින් කරනවා. මේවා තමා කායානුපස්සනා කර්මස්ථාන. කායානුපස්සනා භාවනා වඩන්ට වඩන්නට සිහිය මනාව පිහිටනවා.

වේදනානුපස්සනාව කියා කියන්නේ අපේ සිත ඇතිවන වේදනාව, එය සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, දුක්ඛ වේදනාවක් වෙන්න පුළුවන්. උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. සාමිස වේදනාවක් වෙන්න පුළුවන්, නිරාමිස වේදනාවක් වෙන්න පුළුවන්, මේ වේදනා සියල්ලක් දැකලා, හොඳට අනුස්මරණය කරනවා. මෙලෙස වේදනාව මුල්කරගෙන වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැඩීම තමයි වේදනානුපස්සනාව කියා කියන්නෙ.

චිත්තානුපස්සනාවේ දී සිත දෙස බලාගෙන භාවනා කරනවා. කුසල් සිත්, අකුසල් සිත්, පහළ වෙනවා. එතකොට රාග සිත්, ද්වේශ සිත්, මෝහ සිත්, පහළ වෙනවා. රාගය නැති, ද්වේශය නැති සිත් පහළ වෙනවා. මෝහය නැති සිත් පහළ වෙනවා. සමාධි සිත්පහළ වෙනවා. සමාධි නැති සිත් පහළ වෙනවා. විසිරුණු සිත් පහළ වෙනවා. ඒකාග්‍රතා සිත් පහළ වෙනවා. ලෝකෝත්තර සිත් පහළ වෙනවා. ලෞකික සිත් පහළ වෙනවා. සිත දිහා බලාගෙන චිත්තානුපස්සනාවේ යෙදෙමින්, ඒ සිත අනුස්මරණය කරමින් සිත අනිත්‍යභාවයට යන ආකාරය මෙනෙහි කිරීම තමා චිත්තානුපස්සනාව කියා කියන්නේ. ධර්මානුපස්සනාවේ දී කර්මස්ථාන කිහිපයක් තියනවා. එකක් පංච නීවරණ විදර්ශනාව. මේ කාමච්ඡන්ද ආදි පංච නීවරණයන් අපේ සිතේ වැඩෙන ආකාරය දැක ඒවායේ ආදීනව දැක ඒවාගේ නිස්සරණ හොයාගෙන නීවරණයන් අනිත්‍යාදී වශයෙන් වැඩීම තමයි පංච නීවරණ විදර්ශනාව කියා කියන්නේ. ද්වේෂ විදර්ශනාව පංචස්කන්ධය අපි වඩනවා. කය ගැන වේදනාව ගැන, සිත ගැන. ධර්මය ගැන, පරමාර්ථ ධර්ම ගැන, මනාව සිහිය පිහිටුවා ගැනීම තමයි සම්මා සති කියා කියන්නේ.

අනාපාන සති භාවනාවේ පරිකර්ම සමාධිය කියන්නේ මොකක්ද? ආශ්වාස ප්‍රශ්වාස කියන මේ ස්වභාවික හුස්ම රැල්ල තුළ සිහිය පිහිටුවාගෙන සිටින විට ඇතිවෙන්නෙ මොකක්ද?

‘නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මණා එක චිත්තස්ස”

නිමිත්ත කියා කියන්නේ හුස්ම රැල්ල වදින තැන. ආශ්වාස කියා කියන්නේ ආශ්වාස හුස්ම රැල්ල, ප්‍රශ්වාස කියන්නේ හුස්ම හෙළීමේ රැල්ල. එතකොට ‘අනාරම්මණා ඒක චිත්තස්ස’ එක සිතකට මේක අරමුණූ වෙන් නෑ .

මේ ධර්ම 03 මනාව දන්නවා නම් එයාට භාවනාව වැඩෙනවා. ඒ කියන්නේ එහෙනම් ආනාපාන සති භාවනාවේ දී හුස්ම ඉහළට යන හුස්ම රැල්ලත්, පහළට යන හුස්ම රැල්ලත්, හුස්ම රැල්ල වදින තැනත් කියන අවස්ථා 03 තමන්ට තේරෙනවා නම්, ප්‍රකට වෙනවා නම්, ඒ තුළ මනාව සිහිය පිහිටුවාගන්න පුළුවන් නම් තමා පරිකර්ම සමාධි කියා කියන්නේ. ඒ බව පැහැදිලි කරනවා. පටිසම්භිදා මග්ග පාලියේ දී සැරියුත් මහා රහතන් වහන්සේ. ඒ පරිකර්ම සමාධියෙ එක දිගට සිහිය පිහිටුවා ගෙන ඉන්න විට අර සියුම් දුමාර පටල වගේ ඇවිදින් තරු කැට මැණික් කැට වැනි දේවල් පහළ වෙනවා. ඉතිං ඒවාට සිත යොමුකරන්නේ නැතුව ඉන්නවා. සිහිය පිහිටුවාගෙන ඉන්න විට ආලෝක නිමිත්ත පහළ වෙනවා. ඒ වේලාවේ දී අපි කියනවා උපචාර සමාධිය කියලා. උපචාර සමාධිය කියා කියන්නේ සමාධිය බලවත්ව අරමුණේ ම කිඳා බැසගෙන සිටීම. මේ උපාචර සමාධියේ ඉන්න විට මොකද්ද වෙන්නෙ. ‘චිත්තං විවට්ටේති’ අන්න සිත වෙනත් අරමුණකට යනවා. ඒ කියන්නේ ආනාපාන සති අරමුණේ ඉදලා එක පාරටම සමාධිය බලවත් වුණාට පස්සේ අපේ සිත සමාධි නිමිත්තකට බැස ගන්නවා. අන්න ඒ වේලාවේ තමයි අර්පණා සමාධි, ධ්‍යාන සමාධි පහළ වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්නට ඕනේ. එය පරිකර්ම සමාධි, උපාචර සමාධි, අර්පණා සමාධි කියන්නේ ඔය සම්මා සමාධියට.

මොකක් ද ප්‍රථම ධ්‍යානය කියලා කියන්නෙ.

විතර්ක සහිත, විචාර සහිත, ප්‍රීති සුඛ්‍ය සහිත, ඒකාග්‍රතා කියන මේ අංග පහෙන් යුක්ත වූ සමාධිය තමයි ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ. මේක කොහොමද ඇතිවෙන්නේ.

කාමයන්ගෙන් බැහැර වෙලා, අකුසලයන්ගෙන් බැහැර වෙලා. විතර්ක විචාර සහිත ප්‍රීති සුඛ ලබනවා. එහෙනම් ප්‍රථම ධ්‍යානය ලැබෙනවා කියලා කියන්නේ පංච නීවරණයෙන්ගෙන් අපේ සිත නිදහස් වුණා කියන එකයි. එනම් පංච නීවරණයන්ගෙන් සිත නිදහස් වෙලා තමයි ප්‍රථම ධ්‍යානය ලැබෙන්නෙ. ප්‍රථම ධ්‍යාන උපදවාගන්න පුළුවන්කම ලැබෙන්නේ. දුතිය ධ්‍යාන කියලා කියන්නේ ‘විතක්ක විචාරානං වුපසමා. මේ විතර්කයයි, විචාරයයි දෙක සංසිඳවනවා. විතර්ක කියලා කියන්නේ අරමුණට නංවනවා. අරමුණට නැංවීම තමා විතර්ක කියලා කියන්නේ. අරමුණු වූ සිත පැතිර වීම තමා විචාර කියලා කියන්නේ. එතකොට සමාධි, ප්‍රීති සුඛ, දුතිය ධ්‍යානය කාය චිත්ත විවේකයෙන් හා ප්‍රථම ධ්‍යාන උපකාරයෙන් උපදවාගත යුතුයි.

ඊළඟට තතිය ධ්‍යානය කියලා කියන්නේ ප්‍රීතියත් යටපත් කරගෙන පවතින සැප ස්වභාවයයි. ඒකාග්‍රතාවය නිසා ඇතිවෙන තතිය ධ්‍යානය එනම් ප්‍රථමත් ධ්‍යානය උපදවාගන්නට පුළුවන්. දුතියත් ධ්‍යානයට යන්න නම් ප්‍රථමත් ධ්‍යානයේ ආදීනව හිතලා දුතියත් ධ්‍යානයේ ආනිශංස හිතල තමයි, දුතියත් ධ්‍යාන අධිෂ්ඨාන කරන්න ඕනේ. දුතියත් ධ්‍යානයේ ආදීනව බලා තතියත් ධ්‍යානයේ ආනිශංස බලා තතියත් ධ්‍යානය අධිෂ්ඨාන කිරීමෙන් තතියත් ධ්‍යාන සම්පූර්ණ වෙයි. ඊළඟය චතුත්ථි ධ්‍යානවලට යනකොට මොකද කරන්නේ. තතියත් ධ්‍යානයේ ආදීනව හිතලා චතුත්ථාධ්‍යානයේ ආනිශංස බලලා යනකොට තමයි චතුත්ථධ්‍යාන ලබන්නේ. මෙසේ ධ්‍යාන පැහැදිලි කරන්නේ නම් සම්මා සමාධියයි. එතකොට දැන්, මේ කියන මාර්ග අංග අට දෙනා අපට පුළුවන් සීල, සමාධි, ප්‍රඥා වශයෙන් බෙදන්න. සීලය කියලා කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, ‘ආජීව අට්ඨමක සීලය’ කියන්නේ ‘සම්මා වාචා’ වචනයෙන් වන වැරැදි හතරෙන් වැළකීම. ‘සම්මා කම්මන්ත’ හෙවත් කයින් වන වැරැදි තුනෙන් වැළකීම. ‘සම්මා ආජීව‘ හෙවත් මිච්ඡා ආජීවයෙන් බැහැර වීම. එතකොට ආජීව අට්ඨමක සීලය කියලා දුන්නේ ආර්ය්‍යෂ්ඨාංගික මාර්ගයේ ම තියෙන සීල ශික්ෂාවයි.

ඊළඟට සමාධි කියන කොට සම්මා වායාම, සම්මා සති, සම්මා සති කියන මාර්ග අංග තුන්දෙනාට අපි කියන්නේ සම්මා සමාධි කියලා. මේවා සීලස්කන්ධ, සමාධි ස්කන්ධය කියලයි කියන්නේ.

ඊළඟට පඤ්ඤා ස්කන්ධය කියලා කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්පයි. සම්මා දිට්ඨිය, සම්මා සංකප්පයි කියන මේ දෙන්නට අපි කියන්නේ ප්‍රඥා ස්කන්ධය කියලා. එතකොට දැන් ඔය සීල සමාධි ප්‍රඥා තමයි භාවනා මාර්ගය. ඒ බව තමයි බුදුපියාණන් වහන්සේ,

සබ්බ පාපස්ස අකරණං - සියලු පාපයන්ගෙන් වැළකීම

කුසලස්ස උපසම්පදා – කුසල ධර්මය වැඩීම

සචිත්ත පරියෝදපනං - සිත දමනය කර ගැනීම

ඒතං බුද්ධනුසාසනං - මේ තමයි බුද්ධ ශාසනය

එහෙනම් සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රි ශික්ෂා ධර්මයන් යම් තැනක ද පවතින්නේ යම් කෙනෙක් ද වඩන්නේ, කෙනෙකු ද දියුණු කරන්නේ ඒ ඇත්තා තුළ ‘මාර්ගාංග‘ සම්පූර්ණ වෙනවා.

 

   අධි පොසොන් පුර අටවක පෝය


 ... අධි පොසොන් පුර අටවක පෝය මැයි මස 21 වන දා සඳුදා අපරභාග 10.17 ට ලබයි.
22 වන දා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 22 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි 29 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]