UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීහළවත්ථු කතා: සිල්වත් වූ තරමට ආනිශංස වැඩි වේ

සීහළවත්ථු කතා:

සිල්වත් වූ තරමට ආනිශංස වැඩි වේ

සීහළවත්ථු කතාවෙහි අප දිවයිනේ සිදු වූ සත්‍ය සිදුවීමක් මෙසේ සඳහන් වෙයි.අනුරාධපුරයෙහි ලෝකුරු වැඩට(යකඩ වැඩ) දක්ෂ කම්කරුවෙක් විසී ය. ඔහුගේ යහළු තවත් එක් කම්කරුවෙක් මේ දක්ෂ ලෝකුරුකරුවාට තෑගි ලෙස ගිතෙල් භාජනයක් ද, ඇල්හාල් මුට්ටියක් ද තෑගි කළේ ය.

එය පිළිගත් ඒ කම්කරුවා ආසන්නයේ තිබූ විහාරස්ථානයට ගොස් ඔහුට ලැබූණු ගිතෙල් සහ ඇල්හාල් සාංඝික කොට පූජා කළේ ය. කාලයකට පසු ඔහු මියගොස් ඒ ගමෙහි ම ධනවත් පවුලක ඉපිද කාලයත් සමඟ තරුණයෙක් බවට පත්විය.

එක් දිනක් ඔහුගේ හිසකෙස් පැසී ඇති බව දැක මහත් සංවේගයට පත් විය. ජීවිතයේ අනිත්‍ය ස්වභාවය වැටහුණු ඔහු සසුනේ පැවිදි වී නොබෝ කලකින් රහතන් වහන්සේ නමක් බවට පත්විය.

උන්වහන්සේ පන්සියයක් ශිෂ්‍ය භික්ෂුන් සමඟ ආරණ්‍ය ගත වූහ. ශීල සමිපන්න වූ, අල්පේච්ඡ වූ, අවවාදයෙන් අන්‍යයන් හික්මවන්න දක්ෂ වූ ඒ තෙරුන් වහන්සේ “තම්බසුමන” හිමි නමින් හෙළ දිවයිනේ ප්‍රකට විය. උන්වහන්සේගේ උතුම් ගුණයන්ට පැහැදුනු වනවාසී දෙවියෝ බොහෝ දෙනා තෙරුන් වහන්සේට උපස්ථාන කළහ.

දිනක්, ඒ තෙරුන් වහන්සේ ගමට පිඬු පිණිස වඩින අතරේ පින් ඇති නමුත් මද ආයුෂ ඇති (ජීවත් වීමට එක් දිනක් තිබූ) ගොවියෙකු දුටුවේ ය. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් සඟල සිවුර පොරවාගෙන ඔහු ඉදිරියෙහි වැඩ සිටිය හ. තෙරුන් වහන්සේ දුටු ඔහු සතුටු සිතක් ඇති කරගෙන තෙරුන් වහන්සේට වන්දනා කොට වස්ත්‍ර ජෝඩුවක් ගෙනවුත් වැඩහිඳීම සඳහා ගල් තලාවක ඇතිරී ය.

තෙරුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස ඒ ආසනයෙහි වැඩ හිඳගෙන පිළිගැන්වූ අඹ කැඳ වැළඳුහ. ඒ කැඳ වළඳන කල්හි ඒ පුරුෂයා ගසක අත්තක් කඩා ගෙනවුත් තෙරුන් වහන්සේට අව්වෙන් පීඩාවක් නොවේවා කියා සිතා අල්වාගෙන සිටියේ ය. තෙරුන් වහන්සේ කැඳ වළඳා වැඩ නොබෝ වේලාවකින් සර්පයකු දෂ්ට කොට ඒ පුරුෂයා මිය ගියේ ය.

එසේ මියගොස් දඹදිව සාතවාහන රජ කුලයෙහි ඉතා සුරූපී ශරීරයක් ඇති සිත්කළු කුමරෙක් ලෙස ඉපදුණේ ය. මේ කුමාරයා ඉපදී පස්වෙනි දිනයෙහි දී ඔහුගේ මවුපියන් භික්ෂූ සංඝයාට දානයක් පිණිස ආරාධනා කොට දන් දුන්හ. තම්බසුමන තෙරුන් එම දානය දිවැසින් දැක අහසින් වැඩ ඒ සංඝාරාමයට පිවිස දනට වඩින භික්ෂූන් සමඟ ඒ රජ මැදුරට ගොස් දන් වළඳා පුණ්‍ය අනුමෝදනාව අවසන දී මෙසේ වදාළහ.

”මේ කුමාරයා පෙර ජාතියෙහි මට හිඳීමට වස්ත්‍ර යුග්මයක් ද, අඹ කැඳ දානයක් ද පූජා කළේ ය” මෙය ඇසුණු කුමාරයාගේ පිය රජු නො සතුටු සිතැති ව “ස්වාමින් වහන්ස, මේ මංගල අවස්ථාවෙහි කුමක් හෙයින් නින්දා සහගත වචන කියන්නාහු ද” ඇසී ය. පර සිත් දන්නා තෙරුන් වහන්සේ රජුගේ සිත නො සතුටු පත් වූ බව දැන පෙර ජාතියේ විස්තරය සම්පූර්ණයෙන් ම පවසා ඔහුගේ සිත පැහැද විය. “රජතුමනි, යම් තැනක ස්වල්ප දෙයක් දී මහත්ඵල ලබන්නේ නම්, ඒ සර්වඥ ශාසනයෙහි පහදිනු මැනවයි” වදාළ විට පහන් සිතැති රජතුමා ඒ ධර්ම දේශනාව අසා හුන් ආසනයේ ම ප්‍රථම ඵලය අවබෝධ කළේ ය. සාතවාහන රජ කුලයෙහි තිස් දෙනෙක් එහි වූහ. එයින් සුළු පිරිසක් හැර අන් සියල්ලෝ මාර්ගඵල ලැබූහ.

රජු කෙරෙහි අනුකම්පාවෙන් සියල්ලන්ට ම ධර්ම පී‍්‍රතිය ඇති කරවා තෙරුන් වහන්සේ අහසින් නැවත හෙළ දිවයිනට වැඩි සේක. සාතවාහන රජු තමාගේ පූර්ව කර්මය ද, තෙරුන් වහන්සේගෙන් අසා දැනගත් නිසාවෙන් නොයෙක් ආකාරයෙන් බොහෝ සේ දන් දී දානපතියෙක් ලෙස ද ප්‍රසිද්ධ විය.

 

   අධි පොසොන් පුර අටවක පෝය


 ... අධි පොසොන් පුර අටවක පෝය මැයි මස 21 වන දා සඳුදා අපරභාග 10.17 ට ලබයි.
22 වන දා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 22 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි 29 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]