UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පවෙහි සැහැසි බව පෙන්වන පේත කථා-16: සර්වඥ ධාතු පූජාවට ගැරහීමේ ආදීනව

සර්වඥ ධාතු පූජාවට ගැරහීමේ ආදීනව

බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන සාලවනෝද්‍යානයේ දී පරිනිර්වාණයට පත් වූ පසු උන්වහන්සේගේ ආදාහන චිතකයේ ශේෂ වූ සධාතුක භස්මාවශේෂ විවිධ රජ දරුවන් අතර බෙදා දෙන ලදි. මෙම ධාතු බෙදා දීමේදී අජාසත් රජතුමා තමා ලත් සර්වඥ ධාතූන් වහන්සේලා රැගෙන ගොස් මනහර ස්ථූපයක් කරවා සත් අවුරුදු, සත්මස්, සත් දිනක් බුදුගුණ සිහිකරමින් එයට පුද පූජා පැවැත්වීය. රජුගේ ධාතු පූජාව දැකීමෙන් චිත්තප්‍රසාදය ඇතිකරගත් බොහෝ දෙනා මරණින් පසු සුගති සංඛ්‍යාත ලෝකවල උන්නාහ.

එහෙත් ධාතු පූජාවට ගැරහූ බොහෝ අය එයට අනුරූපී විපාක වශයෙන් ප්‍රේත ලෝකවල උපන්නහ. එකල රජගහ නුවර වාසය කළ එක්තරා ධනවත් පුරුෂයෙකුගේ බිරිඳ හා දියණිය යන දෙදෙනා සුවඳ මල් ආදිය රැගෙන ධාතුන් වහන්සේලාට පූජා කිරීම සඳහා යාමට සූදනම් වූහ. තම බිරිඳ හා දියණිය ධාතු පූජාවට යාමට සූදානම්ව සිටිනු දුටු ධනවත් පුරුෂයා මිනිස් ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද යනුවෙන් පවසා ධාතුන් වහන්සේලාට අපහාස කළේ ය. ඔහුගේ කීම නොපිළිගත් බිරිඳ සහ දියණිය සුවඳ මල් රැගෙන ගොස් සිත් සේ ධාතුන්වහන්සේලාට පුදසත්කාර කළහ. පසු කලෙක ඔවුන් දෙදෙනා මියගොස් දෙව්ලොව උපන්නාහ. ක්‍රෝධයෙන් මඩනා ලදුව ධාතුන්වහන්සේලාට ගැරහූ පුද්ගලයා එයට අනුරූපී විපාක වශයෙන් ප්‍රේතයෙකුව උපන්නේ ය. එක් දිනක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන්ට දේවතාවන් හා ප්‍රේතයන් එකවර දර්ශනයවන ආකාරයේ ප්‍රාතිහාර්යක් කළහ. රැස් වූ දෙවියන් හා ප්‍රේතයන් අතර යට කී මව හා දියණිය යන දේවතාවියන් දෙදෙනාත්, ධාතුන් වහන්සේලාට ගැරහීමේ විපාක වශයෙන් ප්‍රේතව උපන් තැනැත්තාත් සිටියහ. ධාතු පූජාවේ නුගුණ කී ප්‍රේතයා දුටු මහා කාශ්‍යප මහාරහතන් වහන්සේ කවර හේතුවක් නිසා ප්‍රේතව උපන්නේ දැයි පළමුව විමසූ සේක. පෙර ධනවත් පුරුෂයෙකුව ඉපිද ධාතුන් වහන්සේලාට ගැරහීම නිසා ශරීරයෙන් කුණු ගඳක් හමා යන බවත්, කුණු ගඳ හමන මුඛය දෙපස කෘමීන්ගෙන් පිරී ඇති බවත්, එනිසා තියුණු ආධුයක් ගෙන ලුණු දිය ඉසිමින් නිතර නිතර මුඛය කපාගන්නා බවත් පැවසී ය. බුදුරදුන්ගේ ධාතුන් තැන්පත්කළ ස්තූප වන්දනයට ගරහමින්, ක්‍රෝධයෙන් මඩනා ලද සිතින් කටයුතු කළ නිසා ප්‍රේත ලෝකයක ඉපිද අපමණ දුක් රැසක් විඳීන බව මෙම ප්‍රේතයා තවදුරටත් සඳහන් කළේය. බුදුරදුන්ගේ ධාතුන් වහන්සේ සහිත චෛත්‍යයට සුවඳ මල් පිදූ මව සහ දියණිය යන දෙදෙන දෙව්ලොව ඉපිද දෙව් සැප විඳීන අතර දෙවඟනන් පිරිවරා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අභියස පෙනී සිටියා ය. ධාතුන් වහන්සේලාට ගැරහීම හේතුවෙන් ප්‍රේත ලෝකයේ උපන් ප්‍රේතයා විඳින දුකත්, බුද්ධස්ථූපයට වන්දනාමාන කිරීමෙන් දෙව්ලොව උපන් මව හා දියණිය යන දෙදෙනා විඳීන දෙව් සැපතත් සසඳමින් මහා රහතන් වහන්සේ පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළහ.

මෙම පේත කථාවේ මූලික අරමුණ බුදුරදුන්ගේ ශාරීරික ධාතුන් වහන්සේලාට අපහාස කිරීමේ ආදීනව පැහැදිලි කිරීම ය. තථාගත පරිනිර්වාණයෙන් පසුව සිදු වූ මෙම පුවත වර්තමානයට බෙහෙවින් වැදගත් වේ. පෙරටත් වඩා මෙකල ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමත්, ඒවා ප්‍රදර්ශනය කිරීමත් බහුලව සිදුවේ. ඇතැම් විටෙක එම කටයුතු මහා පරිමාණයේ වෙළඳ ව්‍යාපාර බවට පත්කරගෙන තිබෙන අවස්ථා ද සුලබව දක්නට ලැබේ. විවිධ පටු පර්මාර්ථ පෙරදැරිව සිදු කරන එවැනි ක්‍රියා හේතුවෙන් ධාතුන් වහන්සේලා කෙරෙහි මහාජනයාතුළ පවතින ගෞරවයට හානි වී තිබේ. බුදුරදුන්ගේ මෙන්ම රහතන් වහන්සේලාගේ ශරීරයේ භස්මාවශේෂ ලෙස සැලකෙන මෙම ධාතූන් වහන්සේලා කෙරෙහි අතීතයේ සිටම මහජනයා තුළ විශේෂ ගෞරවයක් තිබුණි. එනිසා එම ධාතූන් වහන්සේලා නිසි තැන තැන්පත් කොට උන්වහන්සේලාට නිසි ගෞරවය හා පුද සත්කාර මැනවින් සිදු කළහ. ලක්දිව ධාතු වන්දනාව පිළිබඳ සාහිත්‍යයක් ද ඒ හා බැඳුණු සංස්කෘතියක් ද නිර්මාණය වී තිබේ. සර්වඥ ධාතූන් වහන්සේ අතරින් බුදුරදුන්ගේ දළදා වහන්සේට විශේෂ තැනක් හිමි වේ. දළදා වහන්සේ මෙරටට වැඩම කළ දිනයේ සිට අද දක්වාම උන්වහන්සේට දැක්විය යුතු නිසි ගෞරවය හා පුදසත්කාර ඉතා විධිමත් අයුරින් පවත්වාගෙන එනු ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස දඨාවංශය හා දළදා සිරිත ආදී සාහිත්‍යයක් ද දළදා පෙරහැර වැනි මහා සංස්කෘතික උත්සවයක් ද බෞද්ධයන් සතුවේ. අතීතයේ සිටම ලක්දිව සියලුම විහාරස්ථානවල අවම වශයෙන් ධාතුන් වහන්සේලා එක් නමක් හෝ දෙනමක්වත් වැඩ සිටි අතර විශේෂ ධාතු මන්දිර ඉදිකොට එහි උන්වහන්සේලා වඩා හිඳුවා පුද සත්කාර සිදු කෙරේ. එනිසා ධාතූන් වහන්සේලා කෙරෙහි මහත් ගෞරවයක් හා භක්තියක් සෑම බෞද්ධයෙකු තුළම පිහිටා තිබුණි. එහෙත් ඉහතින් දැක් වූ පරිදි විවිධ පටු ආකල්ප වලින් යුත් පුද්ගලයන් විසින් ඒවායේ ගෞරවය කෙලෙසා ඇති බව ගිහි පැවිදි කවරෙකුට වුව අවිවාදයෙන් ම පිළිගත යුතුව තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සැබෑ ධාතුන් වහන්සේලා යැයි පවසමින් ව්‍යාජ ධාතූන් වහන්සේලා පෙන්වන පුද්ගලයන් ද අප අතර දක්නට ලැබේ. ධාතූන් වහන්සේ යනු මිනිස් අස්ථියක කොටසක් බව සැබවි. එහෙත් ඒවා අයත් වන්නේ සාමාන්‍ය පුහුදුන් පුද්ගලයෙකුට නොවේ. නික්ලේෂී වීතරාගී උතුමෙකුට ය. එකී උතුමන්ගේ අධ්‍යාත්මික ගුණ ශක්තිය ඒ හා බැඳී පවතී. ගරු බුහුමන් දක්වන්නා ද තමා වන්දනාමාන කරන්නේ මිනිස් අස්ථියකට නොව නික්ලේෂී උතුමෙකුගේ ගුණ සමුදායටය යන්න තරයේ විශ්වාස කරයි. එබැවින් ධාතූ වන්දනය යනු වීතරාගී උතුමන්ගේ සීල සමාධි ප්‍රඥා විමුක්ති, විමුක්ති ඤාණ දර්ශනය ආදී ගුණ අනුස්මරණය කිරීමකි. එම නිකෙලෙස් ගුණ සිහියට නඟා ගැනීමකි. නැතහොත් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය හෝ සංඝානුස්සතිය වැඩීමකි. මේ අනුව ධාතුන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ හෝ වීතරාගී තථාගත ශ්‍රාවකයෙකුගේ ගුණ සිහියට නඟා ගැනීම පිණිස පවතින ආදර්ශකයකි. ධාතූන් වහන්සේ පමණක් නොව ඒවා තැන්පත්කොට ඉදිකරන ලද ස්තූප ප්‍රතිමා ආදියත් ආදර්ශක වේ. ඒවා දැකීමෙන්, වන්දනා කිරීමෙන් හා එයට පුදපූජා පැවැත්වීමෙන් සිදු වන්නේ ඉහතින් දැක් වූ පරිදි තෙරුවන් ගුණ සිහියට නඟා ගැනීමයි.

මෙම පේත කථාවේ එන පුරුෂයාට ධාතුන් වහන්සේලා පිළිබඳ නිසි අවබෝධයක් නොතිබුණි. භෞතික දෘෂ්ටියෙහි පිහිටි ඔහුට ධාතු වන්දනය පෙනී ගියේ මිනිස් ඇට කැබැල්ලකට කරන සත්කාරයක් ලෙස ය. ආගමික විශ්වාස හා පිළිගැනීම් භෞතික විද්‍යාව නැමැති තරාදියෙහිලා කිරීම නිසා මෙවැනි අර්බුද නිර්මාණය වේ. කවර ආගමක වුවද එම ආගමික ඉගැන්වීම් අනුව ගොඩ නැගුණු විශ්වාස පද්ධතියක් මෙන්ම සංස්කෘතියක් ද තිබේ. ආගමික සංකේත හා බැඳුණු සංස්කෘතිය නිර්මාණය වී තිබෙන්නේ විවිධ හේතු පදනම් කරගෙන ය. එසේම ඒ සඳහා අනාදිමත් කාලයක් ගතව තිබේ. එම හේතු මැනවින් විශ්ලේෂණය නොකර නිගමන ඉදිරිපත් කිරීමෙන් එකී ආගමික විශ්වාස පද්ධතියට හානි වීම නොවැලැක්විය හැකිය. සමාජයක සියලු දෙනාම එක හා සමාන ප්‍රඥාවෙන් යුක්ත අය නොවෙති. මෙවන් පසුබිමක ආගමික සංකේත මෙන්ම ඒ හා බැඳුණු විශ්වාස පද්ධති තේරුම් ගත යුත්තේ ඉතා පරිස්සම් සහගතව ය. අනෙක් අතට එවැනි ආගමික විශ්වාස හා පිළිගැනීම් ලාභ උපදවන වෙළඳ ව්‍යාපාර බවට පත්කරගන්නා පුද්ගලයන් හා සංවිධානවලට ද ඒ පිළිබඳ නිසි දැක්මක් තිබිය යුතු ය. තරගකාරිත්වය මත හඹා යමින් තම වාණිජ අරමුණ ගැන පමණක් සලකා කටයුතු නොකළ යුතු ය. සංස්කෘති පද්ධති නිර්මාණය වී තිබෙන්නේ සමාජ පාලනයක් ද සමඟ ය. එය වටහා නොගෙන වාණිජ අරමුණම ඉදිරියට ගැනීමෙන් සමාජයක පවතින වටිනාකම් විනාශ වී යා හැකිය. ධාතුන් වහන්සේලා පිළිබඳ නිසි අවබෝධයක් තිබුණු මව හා දියණිය යන දෙදෙනාම එය බුද්ධානුස්සතිය වැඩීමේ මාධ්‍යක් බවට පත්කරගත්හ. බෞද්ධ ආගමික සංකේතවල මුඛ්‍ය පරමාර්ථය තෙරුවන් ගුණ සිහියට නගා ගැනීම ය. එකී අරමුණ ඉටුවන ආකාරයෙන් බෞද්ධ සංකේත භාවිත කිරීම නිවැරැදි පිළිවෙත වේ.

 

   අධි පොසොන් පුර අටවක පෝය


 ... අධි පොසොන් පුර අටවක පෝය මැයි මස 21 වන දා සඳුදා අපරභාග 10.17 ට ලබයි.
22 වන දා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 22 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි 29 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]