UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රතිපත්ති පූජාව

ප්‍රතිපත්ති පූජාව

ලොවුතුරා බුදු බවට පැමිණි පන්සාළිස් වසරක් ලෝ වැඩ කළා වූ තථාගතයන් වහන්සේ පිරිනිවීම සඳහා කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩ වදාරා සල් රුක් දෙකක් අතර පනවන ලද මඤ්චකයෙහි මතු නො නැගී සිටින සෙය්‍යාවෙන් ශයනය කළ කල්හි දෙවියෝ මල්, සඳුන් සුණුවලින් හා සංගීතයෙන් හා අනේක තූර්යයෙන් ද පූජා පවත්වන්නට වූහ.

ඒ මහා පූජාව පවත්වන කල්හි තථාගතයන් වහන්සේ ආනන්ද තෙරන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක.

ආනන්දය, මෙතෙකින් තථාගත තෙමේ සත්කාර කරන ලද්දේ හෝ ගරු කරන ලද්දේ හෝ සිතින් ආදරය කරන ලද්දේ හෝ පූජා කරන ලද්දේ හෝ අභිවාදනාදිය කරන ලද්දේ හෝ නොවේ. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ පූර්වභාග ප්‍රතිපදාවෙහි යෙදෙමින් වෙසේ නම්, නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසේනම්, නව ලෝකෝත්තර ධර්මයට පැමිණීමේ ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසේ නම් හෙතෙමේ තථාගතයන් වහන්සේට සත්කාර කෙරේ. ගරු කෙරේ. සිතින් ආදරය කෙරේ. අභිවාදනාදිය කෙරේ. ආනන්දය, එබැවින් තෙපි නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ පූර්වභාග ප්‍රතිපදාවෙහි යෙදෙන්නමෝ වෙමු යයිද, නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙන්නමෝ වෙමු යයිද ධර්මයට අනුව හැසිරෙන්නමෝ වෙමු යයිද මෙසේ හික්මිය යුතුය. (මහාපරිනිබ්බාන සුත්‍රය)

සැදැහැවත්හු තථාගතයන් වහන්සේට මල් පහන් සුවඳ ආහාර පාන යනාදිය බොහෝ පුදති. එහෙත් ඒවායින් උන්හන්සේට වුවමනාවක් නැත. ඒවා ලැබීමේ බලාපොරොත්තුවක් ද උන්වහන්සේට නැත. උන්වහන්සේ බලාපොරොත්තු වන එක් දෙයක් ඇත. එනම් මහජනයා විසින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම ය. තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බොහෝ දුක් ගෙන පෙරුම් පුරා බුදුබව ලබා ගත්තේ අනුන්ගේ පුජා සත්කාර ලැබීම සඳහා නොව මහජනයා සම්‍යග් ප්‍රතිපදාවෙහි යෙදවීම සඳහා ය. එ බැවින් උන්වහන්සේ බලාපොරොත්තු වන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යමෙක් යෙදේ නම්, එය උන්වහන්සේ තමන් වහන්සේට පූජාවක් කිරීමක් ලෙස සලකති. එබැවින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම තථාගයන් වහන්සේට පූජා කිරීමක් ද වේ. සුවඳ මල් ආදි ද්‍රව්‍යයන් මෙන් තම තමන් පුරන ප්‍රතිපත්තිය තවත් කෙනෙකුට පූජා කළහැකි දෙයක් නොවේ. මෙකල බොහෝ දෙනා ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි යනාදින් කියා ප්‍රතිපත්ති පූජාව කියා එකක් කරතත් එසේ කිරීමෙහි යම්කිසි ප්‍රයෝජනයක් නො පෙනේ. නානාවිධ පුජා කොට ඒවායින් නොයෙක් අනුසස් ලැබූ අයගේ කථා බොහෝ ගණනක් අපදාන විමානවත්ථු ආදී බණ පොත්වල දක්නා ලැබේ. ප්‍රතිපත්ති පූජාව කියා දෙයක් මේ කිසිවකු විසින් කරන ලද බවක් කියැවෙන කථාවක් කිසි තැනක නො දක්නා ලැබේ.

ප්‍රතිපත්ති පුජාව වරදවා තේරුම් ගත් ඇතැම්හු බුදුරදුන් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයයි වදාරා තිබෙනවා. දන්දීම මල් පහන් පිදීම ආදිය ආමිස පූජා ය. ඒවා නො කළාට අප ළඟ ප්‍රතිපත්තිය තිබෙනවා කියමින් නිකම්ම සිටිති. ගිහියාගේ සම්‍යක් ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පූජාව) පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේ ය.

යමෙක් තිසරණය, පඤ්චසීලය, දශ ශීලය සම්පූර්ණ කෙරේද, මාසයෙහි පොහෝ දින අටෙහි පෙහෙවස් වෙසේ ද, දන් දෙයිද, සුවඳ පුජා කෙරේ ද, මල් පුජා කෙරේද, මවට උපස්ථාන කෙරේද, පියාට උපස්ථාන කෙරේද, ධාර්මික ශ්‍රමණ බ‍්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේද ඒ තැනැත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේ ය.

මේ අටුවා පාඨයෙන් දැක්වෙන්නේ දන්දීම, සුවඳ මල් පිදී,ම මව්පියන්ට, ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කිරීම යන මේවා ධර්මානු ධර්ම ප්‍රතිපත්ති බවයි. ප්‍රතිපත්තිය සම්‍යග් ප්‍රතිපත්ති මිථ්‍යා ප්‍රතිපත්ති වශයෙන් දෙයාකාර වේ. මේ ප්‍රතිපත්ති පූජා කථාවෙහි අදහස් කරන්නේ සම්‍යග් ප්‍රතිපත්තිය ය. එනම් බුදුරදුන් විසින් නො කළ යුතු යයි වදාළ දේවලින් වැළකීමත්, කළයුතු යැයි වදාළ දේවල් කිරීමත් ය. යමෙක් බුදුරදුන් විසින් කළ යුතු බව වදාරා ඇති දානාදි පින්කම් වලින් කුමක් හෝ කෙරේ නම්, එය ප්‍රතිපත්ති පූජාව බව දත යුතු ය.

(පුණ්‍යෝපදේශය ග්‍රන්ථයෙනි)


 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]