UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අරලියගහ මන්දිරයේ දී සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයක්

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අරලියගහ මන්දිරයේ දී
සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයක්

සංවිධානය - කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ අරලියගහ මන්දිරය

හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය සහ අරලියගහ මන්දිරය මඟින් සංවිධානය කරන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය හා ඊට සමගාමීව අරලියගහ මන්දිරයේ දී පවත්වන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රධාන කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය මෙම මස 29, 30 සහ මැයි මස 1, 2 දිනයන්හි දී පැවැත්වේ.

එහිදී ඉන්දියාවේ සාරානාත් හා පකිස්ථානයේ තක්ෂිලා සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ හා නීලගිරි ධාතුන් වහන්සේ එකම අවස්ථාවක දී වැඳ පුදා ගැනීමේ අවස්ථාව පළමුවරට මෙරට බෞද්ධ ජනතාවට හිමිවන සුවිශේෂී අවස්ථාවක් වේ.

එමෙන්ම නේපාලය, භූතානය යන රටවලින් ගෙන්වනු ලබන දුර්ලභ පුරාවස්තු හා බුද්ධ ප්‍රතිමා වහන්සේ ද, මෑතක දී සීගිරියේ කැණීම්වලින් සොයා ගන්නා ලද කෞතුක භාණ්ඩ ඇතුළු වටිනා කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයක් නැරඹීමේ අවස්ථාව ද එමඟින් සලසා ඇත.

එම ප්‍රදර්ශනය සඳහා රාජ්‍ය ආයතන 26 ක් හා පළාත් සභා 07 ක් සිය ප්‍රදර්ශන කුටි 19 ක් ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරේ. බුද්ධ රශ්මි වෙසක් කලාපයේ වෙසක් පහන් කූඩු 220 ක්, තොරණ 02 ක් හා දන්සැල් ද පැවැත්වේ. රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව සංවිධානය කරනු ලබන මෙරට එකම වෙසක් කලාපය බුද්ධ රශ්මි වෙසක් කලාපය වේ.

ප්‍රදර්ශනය සඳහා වැඩම කරවනු ලබන ධාතුන් වහන්සේ ඇතුළු කෞතුක භාණ්ඩ අතර ඉන්දියානු මහා බෝධි සංගමයේ භාරකාරත්වය යටතේ ඇති බරණැස් නුවර සාරානාත්හි පිහිටි මූලගන්ධකුටි විහාරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ, පන්ජාබ් පළාතේ තක්ෂිලා නුවරට සමීපයේ ධර්මරාජිකා ස්තූපයට ආසන්නයේ 1913 – 14 වසරවල කරන ලද කැණීම්වලින් සොයාගන්නා ලද ධාතූන් වහන්සේ, මදුරාසියේ නාගර්ජුන කොණ්ඩහි පිහිටි ස්තූපයකින් (මහාචේතිය) 1929 දී කරන ලද කැණීම්වලින් සොයාගන්නා ලද ධාතූන් වහන්සේ, පකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්ත රජයේ භාරකාරත්වය යටතේ තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ නේපාලයේ ලුම්බිනි හා තිලෝරකොට් කැණීම්වලින් සොයා ගන්නා ලද කෞතුක වස්තු රාශියක් සහ භූතානයේ සිට ගෙන්වනු ලබන 16 වන සියවසට අයත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා, මෙරට නීලගිරි හා සීගිරියේ කැණීම්වලින් මෑතක දී සොයාගනු ලැබූ පුරාවස්තු ඇතුළු වටිනා කෞතුක භාණ්ඩ රැසක් එම ප්‍රදර්ශනයට ඇතුළත් වේ.

ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකක් යටතේ ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත ය.

කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන ප්‍රදර්ශනය

අප්‍රේල් 29, 30 හා මැයි 01 හා 02 යන දිනයන්හිදී සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළු කෞතුක භාණ්ඩ අරලියගහ මන්දිරයේ දී ප්‍රදර්ශනය කෙරේ.

අප්‍රේල් 29 දින සවස 7.00 ට ප්‍රදර්ශනය ආරම්භ වන අතර, පසුදින අලුයම 04.00 දක්වා පැවැත්වේ. අනෙකුත් දින තුනෙහි එනම්, අප්‍රේල් 30 මැයි 01 හා 02 දින පෙරවරු 9.30 ප්‍රදර්ශනය ආරම්භ වන අතර, පසුදින අලුයම 04.00 දක්වා පැවැත්වේ.

එමෙන්ම, පකිස්ථානයේ සිට වැඩම කරවනු ලබන ධාතුන් වහන්සේ මැයි මස 03 දින සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී ද, මැයි මස 16 දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ද ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

කොළඹින් පිටත දිස්ත්‍රික් මට්ටමින් ප්‍රදර්ශනය

පාකිස්ථානයේ සිට වැඩම කරවනු ලබන ධාතුන් වහන්සේ කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, අනුරාධපුරය හා මහනුවර යන දිස්ත්‍රික්ක 06 හි මැයි මස 04 දින සිට මැයි මස 15 දින දක්වා විහාරස්ථාන 06 කදී ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 29 දින සවස 7.00 ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

ගංගාරාමාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ) ප්‍රධානත්වයෙන් එම පුණ්‍ය මහෝත්සවය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් ඉකුත්දා පැවැත්විණි.


 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]