UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ප්‍රතිපදාව සහ සදාචාර වර්ධනය

බෞද්ධ ප්‍රතිපදාව සහ සදාචාර වර්ධනය

බෞද්ධ ප්‍රතිපදාව නිසා සදාචාර වර්ධනය ඇතිවේ. සදාචාර වර්ධනය නිසා සමාජ සුබසාධනය ඇති වේ. ඒ අනුව බෞද්ධ ප්‍රතිපදාවන් මඟින් සිදු වන්නේ යහපතකි. බෞද්ධ ප්‍රතිපදාවේ ඇති වැදගත්කම නම්, එය අරමුණු කර ගන්නේ පුද්ගල පාරිශුද්ධිය පමණක් නොවීම ය. ආත්මාර්ථය පමණක් මුල් කරගත් පුද්ගල ජීවන දර්ශනයක් නොවීම ය. පුද්ගල විමුක්ති මාර්ගයක් පමණක් නොවීම ය. බෞද්ධ ප්‍රතිපදාවන් තුළින් පුද්ගල දියුණුව සේ ම ඔහු ජීවත්වන සමාජයේ යහපැවැත්ම, පොදු දියුණුව ද සැලසේ.

සමාජ දියුණුව පොදු දියුණුව යන්නෙහි බොහෝ අර්ථ අන්තර්ගත ය. අප ජීවත් වන්නේ විවිධ ජාතීන්, විවිධ ආගමිකයන් පිරුණු සමාජයක ය.

එහි ජීවත් වන්නේ බෞද්ධයන් පමණක් නොවේ. එහි අබෞද්ධ අය ද ඒකරාශි කරගෙන ජීවත් වන්නට සිදුවේ. බුදුදහම කියන්නේ විවිධ ආගමිකයන්, විවිධ අදහස් ගරු කරන පුද්ගලයන් පිරුණු සමාජයක ආර්ථික, සාමාජික සංස්කෘතික දියුණුව සැලසෙන සක්‍රීය සමාජ දර්ශනයකි. සෞඛ්‍යය,අධ්‍යාපනය, පාරිසරික සමාජ සම්බන්ධතා ආදී සියලු අංශයන්ගෙන් දියුණුව ඊට අයිති ය.

මෙතැන දී මූලිකව ම බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අවධාරණය කරන නානත්ථ සංඥා නානත්ථ කායා යන සංකල්පය පිළිබදව අවධානය යොමු කළ යුතු වේ.

සමාජය අප හිතනවාට වඩා වෙනස් ය. එහි ජීවත්වන අය සිතන්නේ අප සිතන විදිහට නොවේ. එය නා නා විධ මිනිසුන්ගෙන් සමන්විත ය . මගේ අදහසට, මගේ ආගමට, මගේ ජාතියට, මගේ සිරිත් විරිත්වලට අන්‍යයන් ද සම විය යුතු යැයි යම් පුද්ගලයෙක් සිතනවා නම් එය වැරැදිය. ලෝකය ලස්සන වී තිබෙන්නේ විවිධත්වය නිසා ය. සමාජය මල් උයනක්, මල් යායක් වැනි ය. විවිධ පාට ය. විවිධ හැඩ ය. විවිධ සුවඳ ය. මේ විවිධත්වය අගය කළ යුතු ය. මේ ධර්මය තාපස ධර්මයක් නො වන බව, පුද්ගල දර්ශනයක් නො වන බව දේශනා කළේ එහෙයින් ය. බුදුරජාණන් වහන්සේ විනය ක්‍රියා මාර්ගයක් දේශනා කොට වදාළේ එහෙයින් ය. උන්වහන්සේ දේශනා කොට වදාළ විනය ශික්ෂා පද කියන්නේ සමාජ ව්‍යවස්ථාව යන්න ම ය.

බුදුදහමේ සමාජ ව්‍යවස්ථාව ලෙස හඳුන්වන්නේ ශීලය යි. සමාජය ව්‍යවස්ථාවක් හදන්නේ කුමක් සඳහා ද? යන බව බුදුරජාණන් වහන්සේ මහා වග්ග පාලියේ දී දේශනා කළහ. සංඥාපනයක්, පූර්විකාවක් ඉදිරිපත් කළහ. එහි කරුණු දහයක් මූලික ය. සමාජ විරෝධී ක්‍රියා පිටු දැකීමට, සමාජ විරෝධීන් පිටු දැකීමට, සමාජ හිතකාමී යහපත් අය ප්‍රශංසා කිරීමට, දකින, ඇසුරු කරන සමාජයේ යහපත පිණිස, සමාජ නායකත්වය තහවුරු කරනු පිණිස ආදි කරුණු ය. බුදු දහමේ මේ ව්‍යවස්ථාව හැඳින්වෙන්නේ ‘විනය’ යනුවෙනි. පුද්ගල පාරිශුද්ධියත් සමාජ පාරිශුද්ධියත්, සමාජ සංවර්ධනයත් ඇතිවන්නේ මේ විනය රැකීම මඟිනි.

ශිෂ්ටාචාරය ලෙස තවදුරටත් සමාජයට ඉදිරිපත් වන්නේ ද මෙය ම ය. එය සමාජගත වන්නේ සංස්කෘතිය යන නම් වලිනි. විනය ගරුක සමාජයක් සඳහා ශිෂ්ඨාචාරවත් සංස්කෘතියක් අවශ්‍ය ය. සංස්කෘතික සමාජයක නම් විනය අනිවාර්ය ය. එතැන දී අනෙක් කිසිදු ආගමකට වඩා වෙනසක් බුදු දහමෙහි අපට පෙනේ. බුදු දහම මිනිසා සංස්කෘතියට පත් කරන්නේ අනෙක් අයගෙන් වෙන් ව නොවේ. වෙන් වී වෙනම කොටසක් වෙන් කරගන්නට ද නොවේ.අනෙක් අය සමඟ එකතු වී වාසය කිරීමට ය.

විවිධත්වය කිසි කලෙකවත් වෙනස් කළ නොහැකි ය. නැතිකළ නොහැකි ය. ලෝක ස්වභාවය එය යි. හිට්ලර්ට ඕනෑ වුණේ එකම වගේ සමාජයකි. කාම්බෝජයේ පොල්පොට්හට ඕනෑ වුණේ එකම වගේ සමාජයකි. අන්තිමට එය අවසන් වූයේ මහා භීෂණයකිනි. අපගේ යහපත් ප්‍රතිපත්ති, යහපත් ගති අභ්‍යන්තරයට ම නැඹුරු කර නො සිට බැහැරට ප්‍රදර්ශනය කිරීම ද අත්‍යවශ්‍ය ය. අප හොඳ වැඩ කළ යුතුය. ඒවා බැහැරට පෙන්විය යුතුය. ඒ වගේම අනෙක් අය ඒ හොඳ කාර්යයන්ට පොළඹවා ගත යුතුය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ “ පාණාතිපාතා පටි විරතොහොති” ප්‍රාණ ඝාතයෙන්, හිංසාවෙන් වැළකිය යුතු බව ය. එහෙත් එපමණක් ප්‍රමාණවත් නොවේ.

අනෙක් අය ද ඉන් වළක්වා ගත යුතු බව ය. ‘චරාථ ධම්මේ’ ධර්මයෙහි හැසිරෙන්න යැයි දේශනා කළේ ඒ නිසයි. ධර්මයෙහි හැසිරෙන්න කියන්නේ ධර්මය තමාගේ චරිතයෙන් ද පෙන්වීම යි. අනෙක් අයට බලපෑමක් කළේ නම් ඔවුන් ද යහපතට යොමු වේ.

බෞද්ධ චාරිත්‍ර ධර්ම, සංස්කෘතික උත්සව, ක්‍රියාකාරකම් වැදගත් වන්නේ මේ නිසා ය. සමහර අය ගේ අදහස වෙසක් පොහෝ දිනය වැනි උතුම් දිනයන් හි ප්‍රතිපත්ති පුජාවට පමණක් ම මුල් තැන දිය යුතු බව ය. එහෙත් ප්‍රතිපත්තියට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලටද මුල්තැන දී කටයුතු කිරීම කාලීන ය. තොරන ඉදිකිරීම, පෙරහර පැවැත්වීම, දන්සල් දීම, සැරසිලි කිරීම ඉතා වැදගත් ය. ඒවායින් බෞද්ධ අය සේ ම අබෞද්ධ අය ද වින්දනයක්, සතුටක් සැනසීමක් ලබති. එක් පසෙකින් මේවා දකින බෞද්ධයන් තුළ වඩාත් හොඳ හික්මීමක්, චිත්ත පාරිශුද්ධියක් ඇතිවේ. ඒ වගේම ලෝකය ධාර්මික, සාධාරණ වින්දනයක් ලබන්නේය. එය සමාජ පාරිශුද්ධියට හේතුවකි. නිදසුනක් ලෙස පෙරහරක් පැවැත්වීමේ දී ආගමික, ජනවාර්ගික භේදයකින් තොරව සියල්ලෝ වින්දනය ලබති. බෞද්ධයන් දන්සල් දෙන්නේ බෞද්ධයන්ට පමණක් නොවේ. ඕනෑම කෙනෙකුට එහි දොරටු විවෘත ය. වෙසක් තොරණ ද එපරිදි ය. මේ මගින් බාහිර සමාජයට යහපත් පණිවුඩයක් ලැබේ.

හිංසාවක් නො මැතිව, අවිහිංසාවෙන් තමන්ගේ ආගමික ශාස්තෘවරයාණන්ගේ උපන් දිනය සමරන පිරිස අපි වෙමු. සතුන් මරන්නේ නැත. මත්පැන් සාද නැත. ඒ තුළ වෛරය වර්ධනය වන්නේ නැත. කුරා කුහුඹුවකුටවත් හිංසාවක් නො කොට අවිහිංසාව පදනම් කරගෙන කරන පින්කමක් දුටුවා ම විදේශිකයන් පවා ඒ ගැන විමසයි. බෞද්ධ ප්‍රතිපත්තිය කුමක්දැයි ඉගෙන ගනියි. ඒ අනුව බෞද්ධ ප්‍රතිපත්තිය පෞද්ගලික විය යුතු නැත. ලෝකයට පෙනෙන්නට තිබිය යුතුය.

1956 අවුරුද්දේ සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් වසරක් තිස්සේ රට පුරා ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්විණි. දන්දීම, පෙරහර, තොරණ, ප්‍රසිද්ධ දේශනා, ප්‍රදර්ශන, ජනමාධ්‍ය ක්‍රියාකාරකම්, පොතපත ලිවීම සිදුවිය. මේවා ආමිස පූජාවන් ය. බණ භාවනාවන් ද ඉහළින් සංවිධානය විය. අපරාධ සමීක්ෂණ දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකින් හෙළිදරව් වුණේ ඒ වසරේ, එම කාල සීමාවේ මෙරට සොරමැරකම් වැනි අපරාධ 40 % න් අඩු වූ බව ය. එයින් ගම්‍ය වන්නේ බෞද්ධ, අබෞද්ධ සැම දෙනා තුළම ශික්ෂණයක් ඇති වූ බව ය. ඊට හේතුව බෞද්ධ වැඩ පිළිවෙල සමඟ ඇතිවූ සමාජ බලපෑමයි. මෙය සමාජ පරිවර්තනය පිළිබද හොඳම උදාහරණයකි.

හොඳ වැඩ දකින තවත් කෙනෙක් අනුමෝදනා අනුව සතුටට පත්වෙනවා නම් එය පිනකි. බෞද්ධ සාරධර්ම තුළ සාමයේ පැවැත්ම උදෙසා, රටේ ආර්ථික දියුණුව උදෙසා මොන තරම් පැතිරුණූ විසිරුණූ සර්ව සාධාරණ විශ්වගත ශක්තියක් තිබෙනවාද යන්න අප අවබෝධ කරගත යුතුය. ඒ අනුව ක්‍රියාත්මක විය යුතුය.


 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]