UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

රත්කැරැව්වේ විමලධම්ම නා හිමි

මහකෙළිය කොළලෑගම පුරාණ විහාරය සහ ඓතිහාසික නාථගන රාජමහා විහාරය යන උභය විහාරාධිපති සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය ධර්මකීර්ති ශ්‍රී පියරතන උපාධ්‍යාය රත්කැරැව්වේ ශ්‍රී විමලධම්මාභිධාන කරණෑගල දිසාවේ ප්‍රධාන සංඝ නායක හිමිපාණෝ කුරුණෑගල රත්කැරැව්ව නම් ගම් පියසේ උපත ලැබූහ. ක්‍රි.ව. 1926 මාර්තු මස 07 දින අලහකෝන් මුදියන්සේලාගේ විමලධර්ම නමින් උපත ලැබීය.

1932 දී උඩබදලව පාසලෙන් අධ්‍යයන කටයුතුවල නියැලුන විමලධර්ම දරුවා 1938 ජූලි මස 02 වන දින රත්කැරැව්වේ විමලධම්ම යන ශාසනික නමින් පැවිදි විය . ඒ වන විටත් කොළලෑගල පුරාණ විහාරස්ථානයෙහි වැඩ විසූ වල්පොල සුමනසාර හිමියන්ගේ මැදිහත්වීමෙන් තත්විහාරාධිපති වල්පොල පියරතන හිමියන් රත්කැරැව්වේ විමලධම්ම හිමියන්ගේ ගුරුවරයා වූහ.

මෙසේ පැවිදි බවට පත් උන්වහන්සේ උගතමනා බණ දහම් ප්‍රගුණ කළහ.

1940 දී දෙනගමුව බෝධිගුප්ත පිරිවෙනින් අධ්‍යාපනය හදාරා 1942 දී කුරුණෑගල විද්‍යාලංකාර ශාඛා පිරිවෙනින් අධ්‍යයන කටයුතු වල නිරත වූහ.අංගංගල රාජමහා විහාරයේ නේවාසිකව සිට විද්‍යාලංකාර ශාඛා පිරිවෙනේ අධිපති කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නා හිමියන්ගේ ඇසුරෙන් භාෂා ශාස්ත්‍ර සහ ත්‍රිපිටක ධර්මය ප්‍රගුණ කර විහාරස්ථානය වු කොළලෑගලට පැමිණ එහි නැවති සිට හලාවත විද්‍යාකර පිරිවෙනේ නිර්මාතෘ පරිවේණාධිපති කඩිහාරේ ශ්‍රී ගුණානන්දාභිධාන වයඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක හිමියන් යටතේ අධ්‍යාපනය ලැබූහ.

1945 දී කුරුණෑගල විද්‍යාලංකාර පිරිවෙනින් (වර්තමාන මලියදේව විද්‍යාරක්ෂක පිරිවෙන) අධ්‍යාපනය ලැබූහ. උන්වහන්සේ 1946 ජුනි මස හයවෙනි දින මහනුවර මල්වතු මහා විහාර සීමා මාලකයේ දී උපසම්පදාව ලැබූහ.

මෙයින් පසු යථෝක්ත මලියදේව විද්‍යාරක්ෂක පිරිවෙනෙහිම අධ්‍යාපනය ලබමින් ප්‍රාචීන ප්‍රාරම්භ හා මධ්‍යම විභාගයන්ද, සාහිත්‍ය ප්‍රාරම්භ හා මධ්‍යම විභාගයන්ද සමර්ථව වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුලත් විය.

රාජකීය පණ්ඩිත උපාධියත්, සාහිත්‍යාචාර්ය උපාධියත් සමත් වෙමින් විද්‍යාලංකාර පිරිවෙනෙහි පැවැත්වූ ත්‍රිපිටක ධර්ම සංගායනාවට ද සහභාගි වූහ.

විද්‍යාලංකාර පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමියන් ගේ නිගමනය මත රාජකීය පණ්ඩිත රත්කැරැව්වේ විමලධම්ම හිමිපාණන් වහන්සේ 1952 දී කුරුණෑගල විද්‍යාලංකාර ශාඛා පිරිවෙනේ ආචාර්ය ධුරයකින් පිදුම් ලැබූහ. (1959 දී රජයේ පාසලක පත්වීම් ලබා ගත් උන්වහන්සේ කුරුණෑගල මලියදේව විද්‍යාරක්ෂක පරිවේණාධ්‍යක්ෂ ඉබ්බාගල පුරාණ රාජමහා විහාරාධිපති නැකැත්තේ ශ්‍රී ආනන්ද නා හිමියන්ගේ ඉල්ලීමට අනුව 1962 දී මලියදේව විද්‍යාරක්ෂක පිරිවෙනේ අධිපතිධුරයට පත් වූහ.

1971 දී රත්කැරැව්වේ විමලධම්ම හිමියන්ගේ ගුරුදේවෝත්තම වල්පොල පියරතන ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත්වීමෙන් පසු එතෙක් දැරූ පරිවේණාධිපති ධුරයෙන් ඉවත් වී ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිට 1981 දී පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක හිමියන්ගේ ඉල්ලීම මත විද්‍යාලංකාර පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වූ උන්වහන්සේ එහිම ප්‍රමුඛාචාර්යවරයා බවට පත් වූහ.

ග්‍රන්ථමාලා සම්පාදකවරයෙකු, විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයෙකු , ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභිකයෙකු, ප්‍රවීණ ආචාර්යවරයෙකු වශයෙන් දිගු කලක් කටයුතු කළ රත්කැරැව්වේ විමලධම්ම හිමියන්ගේ ලෝක ශාසනික හා ධර්ම ශාස්ත්‍රීය සේවාවන්ට උපහාරයක් ලෙස මහනුවර මල්වතු මහාවිහාරිය උපෝෂථ පුෂ්පාරාම විහාරද්වයාධිපති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක සංඝ සභාව විසින් 1988 දී උන් වහන්සේ කුරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝ නායක ධුරයට පත් කරනු ලැබූහ.

පුරා වසර 75 ක් මහණ දම් පුරා අවුරුදු 88 ක් ආයු වළඳා රත්කැරැව්වේ ශ්‍රී විමලධම්මාභිධාන කුරුණෑගල දිසාවේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2014 ජනවාරි මස 14 වන දින අපවත් වී වදාළ සේක.

අපවත් වී වදාළ රත්කැරැව්වේ විමලධම්ම නා හිමියන්ට නිවන් සුව අත්වේවා.


නාලපහ ඉන්දවිමල නා හිමි

තෙමසකට පෙර අපවත් වී වදාළ විනයාචාර්ය නාලපහ ධර්මකීර්ති ශ්‍රී රතනපාල ඉන්දවිමලාභිධාන සීනාදි සිවු කෝරළයේ ප්‍රධාන සංඝ නායක හිමිපාණන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණය නිමිත්තෙනි.

1927 ජනවාරි මස 07 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ නාලපහ නම් ග්‍රාමයෙහි උපත ලත් උන්වහන්සේ වයස අවුරුදු 11 දී යටගම ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරයේ දී 1939 මැයි මස 24 වන දින නාලපහ ඉන්දවිමල යන නමින් පැවිදි වූහ. මංගෙදර රතනපාලාභිධාන සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හිමිපාණෝ උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වූහ. තම ගුරු දේවයන් වහන්සේගෙන් මූලික බණ දහම් හදාරා මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනෙහි ත් , පසුව කෝට්ටේ පැරකුම්බා පිරිවෙන, කුඩා උඩුවේ නාලන්දා විශ්වවිද්‍යාලයීය පිරිවෙන, කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන යන අධ්‍යාපන ස්ථානයන්හි ත් ශාස්ත්‍ර හදාළහ.

නාලපහ ඉන්දවිමල සාමණේරයාණන් වහන්සේ විසි වයස් සම්පූර්ණ කර 1949 මැයි මස 11 වන දින ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වීය මහනුවර ශ්‍රී හයගිරි විජයසුන්දරාරාම මංගල උපෝෂථාගාරයේ දී යටවත්තේ ධර්මකීර්ති ශ්‍රී ධම්මරතන මහා නායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබූ සේක.

උන්වහන්සේ කලක් කොළඹ කොටා රෝඩ් හි ජයවර්ධනාරාමයේ වැඩ විසූහ. එකල කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ධූරය හෙබ වූ දේවහන්දියේ සද්ධාතිස්ස මහා නායක මාහිමිපාණන් වහන්සේගේ සමීප ආශ්‍රය ද උන්වහන්සේට ලැබිණ.

1986 දී ස්වකීය ආචාර්යයන් වහන්සේ අපවත් වූ පසු නාලපහ ඉන්දවිමල නාහිමිපාණන් වහන්සේ යටගම ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරයේ විහාරාධිපති ධූරයට පත් වූ සේක. විහාරාධිපති ධූරයට පත් උන්වහන්සේ ස්වකීය ගුරුදේවයන් වහන්සේ ආරම්භ කළ විහාර සංවර්ධනය සියලු විහාරාරාංගයන්ගෙන් පරිපූර්ණ කළහ. විතානමුල්ල ගුණවර්ධන බෝධිමළු විහාරය උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද්දකි.

ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක ධූරය හෙබ වූ පලිපාන ශ්‍රී චන්දානන්දාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව 1989 දී සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවියට විනයාචාර්ය නාලපහ ධර්මකීර්ති ශ්‍රී රතනපාල ඉන්දවිමලාභිධාන නායක හිමිපාණන් වහන්සේ පත් කරන ලදී.

අපේ නාලපහ ඉන්දවිමල නායක හාමුදුරුවන්ට නිවන් සුව පතමු.

බෝරුක්ගමුව ආලෝකාරාමය කවුඩුමුන්න රජමහාවිහාරය යන විහාරද්වයාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී


පොල්හේනේ විමල හිමි

අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාල විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝ නායක මීවැවේ සාරද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ උක්ත විහාරස්ථානයේ විහාරාධිපති ධූරය පිළියන්දල බටකැත්තර ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ශාසනකීර්ති පොල්හේනේ විමල ස්වාමීන් වහන්සේ වෙත පිරිනමා ඇත.

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ සභාපති ආචාර්ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර මහා නායක හිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් මෙම පත්වීම සිදුකර ඇත.

පොල්හේනේ විමල ස්වාමීන් වහන්සේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ලෙස වැඩසිටි, අපවත් වී වදාළ සද්ධර්ම වාගීෂ්වර බටකැත්තර රේවත මාහිමියන්ගේ හා අපවත්වී වදාළ කොම්පඤ්ඤවීදියේ ජිනරතන මාහිමියන්ගේ සහ නුගේගොඩ නාවල ශ්‍රී සිද්ධත්තාරාමාධිපති බෙල්ලන්විල නන්දාරාම මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු මෙන්ම අපවත් වී වදාළ මී වැවේ සාරද නා හිමියන්ගේ පැවිදි සහෝදර තෙර නමකි.

 

  මැදින් අමාවක පෝය


 මැදින් අමාවක පෝය මාර්තු 16 වන දා සිකුරාදා අපර භාග 06.15 ට ලබයි. 17 වන දා සෙනසුරාදා අපර භාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 17 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය මාර්තු 24 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]