UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉඳුනිල් මාණික්‍යය මත පිහිටි ශ්‍රී පාද පද්මය

ඉඳුනිල් මාණික්‍යය මත පිහිටි ශ්‍රී පාද පද්මය

එදා මහියංගනය රාජධානිය බවට පත් කරගත් යක්ෂ නම් ගෝත්‍රයක් විය. එලෙසම කැලණිය සහ නාගදීපය රාජධානිය බවට පත් කරගත් නාග නම් වූ ගෝත්‍රයක් ද, රට මැද කඳුකර පෙදෙස් මුල් කරගෙන දේව නම් ගෝත්‍රයක් ද විසූහ.

ඒ දවස සුමන සමන් දිව්‍ය රාජයාගේ ඇරයුමෙන් සමන්තකූඨ පර්වතය මුදුනෙහි තථාගත බුදුපියාණන් වහන්සේ ඉඳුනිල් මාණික්‍යය මත තම වම් ශ්‍රී පාද ලාංඡනය පිහිටු වූහ.මෙම අමරණීය අවස්ථාවේ ලෝකය කම්පා වී මහා මාණික්‍ය වර්ෂාවක් ඇද හැළුණ බව ජන වහරේ වේ. සබරගමු දිස්ත්‍රික්කය පුරා අද දවසේ ද වැඩිපුර දකින්නට ඇත්තේ එදා ඒ වට වැස්සේ මැණික් බව ද විශ්වාස කෙරේ. සමනල කඳු සිරසේ ශ්‍රී පාද පද්මය පිහිටුවීමෙන් පසු ඒ කඳු පන්තියේ ඇති බෑණ සමනොළ, කළුදිය පර්වතය, ගවරවිල ආදී කඳු හත ද මෙන් ම ගස්වැල් හා මලින් බර වූ තුරු ලතාවන් ද සමනල කන්ද දෙසට නැමුණු බව සඳහන් වේ.‘සමනල කන්ද හාත්පස වනපෙතින් නැගී සිටින වනස්පතීන්ගේ මුදුන් වළාපටලයෙන් හා මීදුමෙන් වැසීගිය සියලු පරිවාර කඳු පන්තිය ද පාද පද්මයට නමස්කාර කරන්නා සේ සමන්ගිර දෙසට නැමී තිබීම ආශ්චර්යවත්, අත්භූතජනක දර්ශනයක් යැයි ද සඳහන් වේ.

සිරිපතුල පිහිටි ඉඳුනිල් මැණිකේ ආලෝකය චමත්කාරජනක ලෙස කන්ද පුරා විහිදෙන්නට වූ බව කියවේ. මේ ආලෝකය බුදුරැස් විහිදෙන ආකාරයෙන් නිතර විහිදෙන්නට වීම ශ්‍රී පතුලේ ආරක්ෂාවට බාධාවක් විය හැකි යැයි සිතූ රජවරු වරින් වර කළුගල් යොදා ශ්‍රී පාද පද්මයේ ආරක්ෂාව පිණිස ආවරණය කළහ.එසේ ආවරණය කරන ලද කළුගල් මත ශ්‍රී පතුල සටහන් කොට ඇත. මේ ආකාරයෙන් ශ්‍රී පාද පද්මය ආවරණය කළ ද බොහෝ කලක් යනතුරු සමනොළ කන්ද මුදුනේ සිට ශ්‍රී පාද පද්මය නැරඹීමට කුඩා කපොල්ලක් හා සමාන වූ සිදුරක් තිබී ඇත.

සිරිපා කඳු මුදුනේ බෑවුම් අද්දරින් කළු දෙබරු මතුවන ඇතැම් සිදුරු තුළින් බැලූ කල නීල වර්ණ රශ්මි ධාරා විහිද යන්නා වූ ආලෝකයක් දැක ගන්නට ලැබුණු බව ජනවහරේ වේ.ජන වහරේ එන තවත් කතාවකට අනුව සුමන සමන් දෙවියන්ගේ වන්දනාමාන කිරීම පිණිස තථාගත බුදුරදුන්ගෙන් ලබාගත් සිරිපා සලකුණ පසු කාලයක දී සතුරු උවඳුරුවලින් ආරක්ෂා කර තැබීම පිණිස දැවැන්ත කළුගල් කුට්ටියකින් වසනු ලැබ ඇත.මීට පෙර සම්බුදු පදවි ලද කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුන් වහන්සේලා ද මෙම කඳු මුදුනට වැඩම කර ඇති බව ද සඳහන් වේ. ඒ අනුව කකුසඳ බුදුරදුන් සමයේ මෙම කන්ද දේවකූඨ නාමයෙන් ද, කාශ්‍යප බුදුන් සමයේ සුභකූඨ නමින් ද ව්‍යවහාර වී ඇත.සිරිපා කඳු මුදුනේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීමෙන් පසු එතැන් සිට ශ්‍රී පාද අඩවිය සුමන සමන් දිව්‍ය රාජයාණන්ගේ ආරක්ෂාව යටතේ පැවතිණි.

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]