UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැන්දලියැද්දපාළුවේ ඤාණමෝලි නා හිමිපාණන් වහන්සේ

කැන්දලියැද්දපාළුවේ ඤාණමෝලි නා හිමිපාණන් වහන්සේ

සපුගස්කන්ද විහාර වංශය පිළිබඳ ව නොමැකෙන පියසටහන් දැකිය හැක්කේ ක්‍රි.ව. 1820 න් පසුව ය. ඊට පෙර දේශය අවදි කළ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ මහ සඟ පරපුරට අයත් පෙරාතුගොඩ නම් මහ සඟරුවන දක්වා අතීතයට පියමන් කරන විට මාතර සුමන නම් හිමි නමක් ද අපට හමුවෙයි.

ක්‍රි.ව. 1830 සිට කළුකොඳයාවේ ගුණරතන හිමිපාණන් වහන්සේද 1860 සිට 1886 දක්වා කීර්තිමත් වෙදැදුරු නාහිමිපාණන් වහන්සේ නමක් වන මාකොළ සරණපාල ස්වාමින්ද්‍රයාණන් වහන්සේද මෙම පුදබිමෙහි පාලකත්වය දරමින් සුවිශාල මෙහෙවරක් ඉටුකොට ඇත.

ඉන් අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍යවර මාකොළ ගුණරතන නාහිමියෝ සියනෑ කෝරළය තුළ ජාතියට දෑස පෑදවීමේ පාරමිතාවක් පුරමින් ඉමහත් සේවාවක් සිදු කොට වදාළ හ. (අධ්‍යාපන ප්‍රබෝධයක් ඇති කළහ) විදුදය මහ පිරුවණ පිහිටුවා වදාළ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ විදුලකර මහ පිරුවණ පිහිටුවා වදාළ මහෝපාධ්‍යාය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමිපාණන් වහන්සේ මහෝපාධ්‍යාය රත්මලානේ ශ්‍රී ධර්මාරාම මාහිමිපාණන් වහන්සේ මහගොඩ ශ්‍රී ඥාණේෂ්වර මාහිමිපාණන් වහන්සේ මල්වතු මහා විහාරිය විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ රඹුක්වැල්ලේ ශී‍්‍ර සිද්ධාර්ථ නාහිමිපාණන් වහන්සේ වැනි සමකාලින මහා පඬිවරුන් සමඟ මාකොළ ශ්‍රී ගුණරතන නාහිමියෝ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියහ.

අනතුරුව එළඹෙන්නේ සියනෑ හාපිටිගම් අලුත්කූරු කෝරලත්‍රයෙහි ප්‍රධාන සංඝනායක ධුරයද සමඟ භාරතීන්ද්‍ර ධර්ම කීර්ති ශ්‍රී යන අභිදානයද සහිත සපුගස්කන්ද රාජමහා විහාරාධිපති පදවියද හෙබැවූ ,නව යුගයක් නිර්මාණය කළ කැන්දලියැද්දපාළුවේ ශ්‍රී ඤාණමෝලි නාහිමිපාණන් වහන්සේගේ පාලන සමයයි.

විහාර සංවර්ධන ක්ෂේත්‍රයෙහි නිම් වළලු පුළුල් කෙරෙමින් ආරම්භ වූ මහා ගමනක වර්තමාන දියුණුවේ පුරෝගාමීයා වන ත්‍රිපිඨකාචාර්ය අභිධර්ම විශාරද දරණාගම ඤාණසිරි නාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උත්තම වනුයේ මෙම කැන්දලියැද්ද පාළුවේ ශ්‍රී ඤාණමෝලී නාහිමිපාණන් වහන්සේය.

1934 දී විහාරාධිපති පදවියට පත්වන ් ඤාණමෝලි නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සපුගස්කන්දේ රාජමහා විහාරාධිපති පදවියට අමතරව, දෙමටගොඩ ශෛලාරාමය, මාබිම ශෛලතරාරාමය, මාංකඩ පුරාණ විහාරස්ථානය යන විහාරස්ථානවල ද, අධිපතිත්වය ඉසුලූහ. එම වකවානුව තුළ සිදුවී ඇති විශේෂමය සහ පෙරළිකාරමය සිදුවීම් අතර මාබිම වලහේනේ විහාරස්ථානය පසුබිම් කරගෙන පැවැත්වීමට සංවිධානය කෙරුණු මහා පෙරහරක් ඉංගී‍්‍රසි ආණ්ඩුව විසින් තහනමකට ලක්වූ ඓතිහාසික අවස්ථාවයි.

සපුගස්කන්ද රාජමහා විහාරාධිපති ධුරයද, යථෝක්ත සිද්ධියට අදාළ මාබිම වලහේනේ ශෛලතලාරාම විහාරාධිපති පදවියද, නොසැලී මෙහෙයවා ලූ අපේ යුගයේ මහා පෞරුෂයකින් කටයතු කළ භාරතීන්ද්‍ර ධර්මකීර්ති ශ්‍රී කැන්දලියැද්දපාළුවේ ශ්‍රීඤාණමෝලි නාහිමිපාණන් වහන්සේ, අදාළ යෝජිත පෙරහර පැවැත්වීම පොලීසිය මගින් තහනම් කැර තිබියදීත් සැලසුම්කර තිබූ පරිද්දෙන්ම ඒ ආගමික පෙරහර ඉතාම සාර්ථකව , පැවැත්වු ආකාරය අද දවසේ පවා අපේ පැරැන්නෝ ගෞරවයෙන් සිහිපත් කරති.

එදා සපුගස්කන්ද පුදබිමේ අසිරිය ද ප්‍රදර්ශනය කරමින් ඉතාම ආදර්ශවත් ව පෙරහර පැවැත්වීම මෙලොවදීම ලද හැකි මහ ආනිශංස ද එදා ප්‍රදේශවාසී බෞද්ධ අබෞද්ධ හැමටම සපුරාම ලැබ ගත හැකි විය. ආණ්ඩුවේ ඒජන්තවරයා ද ඇතුළු පොලිස් නිලධරයෝ ද ගෞරවාචාර්ය ලබාගනිමින්, මාබිමේ දේවස්ථානය කරා (වලහේනේ) ආරාධිතව වැඩමවාගෙන ගිය කැන්දලියැද්පාළුවේ නා හිමියෝ ඒ පල්ලිය තුළදීම කාලෝචිත ධර්ම දේශනයක් ද පවත්වා තමන් වහන්සේ අද සිදු කරනුයේ ආදර්ශවත් ‘සාමදූත’ මෙහෙවරක් බව ද සනාථ කළහ.

මෙයින් අඩසිය වසරකට පෙර නවයුගයක් බිහිකොට වදාළ අපට මග පෙන්වූ කැන්දලියැද්දපාළුවේ ශ්‍රී ඤාණමෝලි නාහිමියන් වහන්සේට අමා මහ නිවන්සුව අත්පත්වෙවායි ගෞරව පූර්වකව කෘතවේදිව ප්‍රාර්ථනා කරමි.

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]