UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දේවාශිර්වාදය ලබන්නට නම්...

දේවාශිර්වාදය ලබන්නට නම්...

බලාපොරොත්තු, ප්‍රාර්ථනා, අධිෂ්ඨාන ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ කර ගැනීමට අපි සැවොම කැමැත්තෙමු. ඒ සඳහා නිරතුරුව උත්සාහ ගනිමු. නොයෙක් ක්‍රමෝපායන් යොදමු. එහි දී ඇතැම් බෞද්ධයන් පුරුදු වී සිටින්නේ මිථ්‍යා දෘෂ්ඨික ක්‍රම අනුගමනය කිරීමට ය. තම ලාභ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා භූමාටු මට්ටමේ දෙවියන් වැඩ හිඳින දේවාලවලට ගොස් දෙවියන් යැදීමට, භාරහාර වීමට, පූජා වට්ටි දීමට පුරුදු වී සිටිති. එයට හේතුව මොවුන් සැබෑ ලෙස ම තිසරණය තුළ ස්ථාපිත වී නොතිබීම ය. ඒ වගේම බුදුන් සරණ ගිය පින්වත් දෙවිවරු ගැන නොදන්නාකමයි.

ඒ නිසා මේ ලිපියෙන් අප කියා දෙන්නේ අවබෝධාත්මක ලෙස තිසරණය තුළ ස්ථාපිත වී සිටින පින්වත් දෙවිවරුන්ගේ වන්දනාව හා ආශීර්වාදය ලබාගැනීම පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව දිව්‍ය ලෝක හයක් ගැන අපට අසන්නට ලැබේ. ඒවා නම් චාතුර්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත, වසවර්ති යන දිව්‍ය ලෝකයන් ය.

චාතුර්මහා රාජිකයේ වැඩ සිටින්නේ සතරමහා දෙව්රජ දරුවන්, එනම් නැගෙනහිර දිසාවට අධිපති ගාන්ධර්වයන්ට අධිපති ධ්‍රැරාෂ්ඨ දෙව් මහ රජු, ඒ වගේම දකුණු දිශාවට අධිපති කුම්භාණ්ඩයන්ට අධිපති, විරූඪ දෙව් මහ රජු, ඒ වගේ ම බටහිර දිසාවට අධිපති නාගයන්ට අධිපති, විරූපාක්ෂ දෙව් මහ රජු, උතුරු දිශාවට අධිපතිත්වය දරන්නේ යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දෙව්මහ රජුන්ය.

තාවංතිසයත් චාතුර්මහාරාජිකයත් යන දෙදෙව්ලොවටම අධිපතිව කෝටි සංඛ්‍යාත දෙව් පිරිස් පාලනය කරන සෝවාන් ඵලයට පත්ව සිටින උතුම් දිව්‍ය රාජයා වන්නේ සක්දෙව් මහා රජු ය. යාමයට අධිපතිව වැඩ වසන්නේ සූයාම දිව්‍ය පුත්‍රයා ය. තුසිතයට අධිපතිව වසන්නේ මතු බුදුවන සංතුසිත දිව්‍ය රාජයා ය. සුනිම්මිත දිව්‍ය රාජයා නිම්මානරතියට අධිපතිව වැඩ වසති. වසවර්ති දිව්‍ය රාජයා වැඩ වසන්නේ පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයට අධිපතිවයි.

මෙවැනි උදාර දේව පිරිස් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ආදී මාර්ගඵලයන්ට පත්ව දිව්‍ය ලෝකයන්හි වැඩ වාසය කරති. අවාසනාවකට එවැනි උදාරතර දෙවියන් පිළිබඳ කිසිදු දැනීමක් හෝ අවබෝධයක් මනුස්ස ලෝකයේ බහුතරයකට නැත. උදාර යැයි සම්මත දෙවිවරු අතර උතුම් ම දෙවියන් වන්නේ සක් දෙව් මහ රජුයි. සංයුක්ත නිකායේ සක්ක සංයුක්තයේ ‘ධූතිය දේවා සත්ත වත පද” සූත්‍රයට අනුව එතුමා මිනිස් ලොව මග නමින් මානවකයෙක්ව සිටි නිසා ‘මගවන්තු’ නමින් හැඳින්වේ. මුලින් දන් දුන් නිසා ‘සූරීන්දෑ’ කියාත් පැවසේ. සකස්කර දන් දුන් නිසා ‘සක්‍ර’ නමින්ද හැඳින්වේ. ‘වාසව‘ නමින් හැඳින්වෙන්නේ ආවාස දන් දුන් නිසා ය. කරුණු දහසක් මොහොතකින් සිතන්නට පුළුවන් නිසා සහස්සස්ස (සහස්ස නෙක්ත) ලෙසද හැඳින්වේ. තව්තිසාවේ දෙවියන් අතර අධිපති නිසා ‘දේවා’ නමින් ද හැඳින් වේ.

මෙවන් උදාර වූ ගුණාංග ඇති සෝවාන් ඵලයට පත් සක් දෙවිඳුන් දිනක් තමාගේ වෛජයන්ත ප්‍රාසාදයෙන් බැස අජානීය අශ්වයන් යෙදූ රථයට නැගීමට පෙර සෑම දිශාවකටම වන්දනා කළේ ය. එය දුටු එතුමාගේ රථාචාර්ය මෙසේ ඇසී ය.

“වේදත්‍රය හදාරන සියලු පොළව වාසී රජවරුන් සතරවරම් දෙව්මහ රජවරුන් මහේශාක්‍ය දෙවිවරුන් ඔබ වහන්සේට වන්දනා කරති. ඔබවහන්සේ වන්දනා කරන්නේ කාටදැයි විමසා සිටියේ ය.

එවිට එතුමාගේ පිළිතුර වූයේ ‘සීලයෙන් යුතු , චිත්ත සමාධියෙන් යුතු, බඹසර වාසයෙන් යුතු පැවිදි උතුමන්ට මම වන්දනා කරමි. එසේම තිසරණ සරණගිය, සිල්වත්, පන්සිල්, අටසිල් ආරක්ෂා කරන දාන, ශීල, භාවනා ආදී පින්කම් කරන ධාර්මිකව මුදල් උපයා අඹු දරුවන් පෝෂණය කරන ගිහියන්ටත් මම වන්දනා කරමි’ යනුවෙනි.

යම් කෙනෙකුට සක් දෙවිඳුන්ගේ වන්දනාව එහි තිබෙන ආනුභාවය, බරපතලකම, උදාර බව වචනවලින් පැහැදිලි කළ නොහැක. හිමිවෙනවා කියන්නේ දුර්ලභ සිදුවීමකි. එතුමන්ගෙන් වන්දනාව ලබන්නට මුදල් වියදම් කිරීමට අවශ්‍ය නැත, වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ තෙරුවන් සරණ ගොස් සිල්වත් වී, පින් දහම් කරමින් ධාර්මිකව මුදල් උපයාගෙන අඹුදරුවන් පෝෂණය කිරීම පමණි.

අප පැල්කොටයක විසුවත් ධාර්මිකව ජීවිතය ගත කරන්නේ නම් සක් දෙවිඳුන් අප දෙස බලයි. අපට පිහිට වෙයි. මහා මාලිගාවක හිටියත් වැරැදි වැඩ කළේ නම්, අපට කිසිදු පිහිටක්, සරණක් නැත.

පන්සිල්, අටසිල් රකින තිසරණයෙහි පිහිටි පුද්ගලයා දේවාලයකට ගියත් නැතත් දෙවියන්ගේ පිහිට නිතැතින්ම හිමිවේ. එයට හේතුව මෙවැනි සත්පුරුෂයන්ට සක් දෙවිඳුන්ගේ පවා වන්දනාව හිමිවන බව මේ දෙවිවරු දනිති. ඒ දෙවිවරුන් සක් දෙවිඳුන් ගැන සතර වරම් දෙවිවරු ගැන පැහැදීමකින් පසුවන්නේ ඒ දෙවිවරුන්ගේ බලය පිළිබඳව අධිපතිභාවය පිළිබඳ මනා වැටහීමක් ඇති හෙයිනි.

සක් දෙවි රජුගේ ආශීර්වාදය වන්දනාව යම් පවුලකට, පුද්ගලයකුට ලැබෙනවා කියන්නේ එහි තිබෙන උදාර බව ආනුභාවය වචනවලින් විස්තර කළ නොහැකිය.

සක් දෙවිඳු මනුස්ස ලෝකයේ ඉන්න කාලයේ වෘත පද 7 ක් සමාදන් විය. ඒවා 'සත්ත වත පද' ලෙස ද හැඳින්වේ.

ජීවිතාන්තය දක්වා මව්පියන්ට උපස්ථාන කිරීම, ජීවිතාන්තය දක්වා වැඩිහිටියන්ට ගරු කිරීම, ජීවිතාන්තය දක්වා මිහිරි වචන කතා කිරීම, ජීවිතාන්තය දක්වා කේලාම් නො කීම, ජීවිතාන්තය දක්වා මසුරු මල දුරුකර දන්දීම, ජීවිතාන්තය දක්වා සත්‍ය වචන කතා කිරීම හා ජීවිතාන්තය දක්වා ක්‍රෝධ නොකිරීම යනුවෙනි. යම්හෙයකින් ක්‍රෝධය ඉපදුණේ නම් ක්ෂණයකින් එය දුරුකිරීම කළ යුතුය.

යම් කෙනෙක් මෙම උදාර කරුණු හත සමාදන් ව කටයුතු කරන්නේ නම් සක් දෙවිඳුන්ගේ ආශීර්වාදය අනිවාර්යයෙන් හිමිවේ. ඒ නිසා පින්වතුනි, මේ ආකාරයෙන් නිවැරැදිව කටයුතු කර දේවාශීර්වාදය ලබාගෙන මෙලොව ජීවිතය යහපත් කරගන්න. පරලොව දී එවැනි උදාර දෙවියන් සමීපයට යාමට කටයුතු කරගන්න. ඒ තුළින් උතුම් නිවන සාක්ෂාත් කරගන්න.

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]