UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතොසින් ඇසුවොත් මෙදහම් මනහර

සතොසින් ඇසුවොත් මෙදහම් මනහර

"බුදුරදුන් දහම් දෙසනුයේ ශ්‍රාවකයන්ට එය දැඩිව ගැනීම පිණිස නොවේ. ඔවුනට දුකින් එතෙර වීමට මග පෙන්වනු සඳහා ය. බුද්ධ වචනයේ ධර්මය උපමා කොට ඇත්තේ පහුරකට ය. එය එතෙරවනු පිණිස මිස කර ගසාගෙන යාමට නොවේ. ධර්ම ශ්‍රවණයෙන් ම විමුක්තිය ලද නොහැකි ය. ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාවෙහි හැසිරිය යුතු ය."

ශාසන බ්‍රහ්ම චර්යාවෙහි නිරත වීමට යමෙකු යොමුවන්නේ ධර්ම ශ්‍රවණය තුළිනි. අනුපූර්ව ශික්ෂණයෙන්, අනුපූර්ව ක්‍රියාවෙන්, අනුපූර්ව ප්‍රතිපදාවෙන් කෙසේ නම් රහත් බව ලබන්නේ දැයි පැහැදිලි කරන බුදුදහම මෙසේ පෙන්වා දෙයි.

“මෙලොව උපන් සැදැහැ ඇති තැනැත්තා (ගුරුන් කරා) එළඹෙයි. එළඹ ඇසුරු කරයි. ඇසුරු කරනුයේ ඇසීමට කන් යොමයි. යොමුකළ කන් ඇත්තේ දහම් අසයි. අසා මතකයෙහි තබා ගනියි. නුවණින් අරුත් විමසයි. වටහා ගනී. රුචිය උපදවයි. වෙර දරයි. සසඳා බලයි.භාවනාවට යොමුවෙයි. පරම සත්‍යය පසක් කරයි.”

බුද්ධ වචනය පිළිබඳ බහුශ්‍රැත භාවය නොවේ නම් පිටක සම්ප්‍රදායයෙහි නිපුණතාවය ආර්ය මාර්ගයට අවතීර්ණව සිටින භික්ෂුවකට අවශ්‍යම කරුණකි. “මහණෙනි, භික්ෂුව සැදැහැවත් වුවද, සිල්වත් වුවද බහුශ්‍රැත නොවන්නේ නම්, එම අංගයන් අපරිපූර්ණ වන්නේ ය. කවර නම් උපායෙකින් මම සැදැහැයෙන් සිල්වත් වූයෙම්. බහුශ්‍රැත වූයෙම් වෙම් දැයි එම භික්ෂුව එම අංග පිරිය යුතුය. මෙසේ (බහුශ්‍රැත බවද ඇති කල්හි) ඒ භික්ෂුව පිරිපුන් වන්නේය”යනු බුද්ධ වචනයයි. භික්ෂුව විසින් පර්යාප්ති ශාසනය පිරිය යුතු ය.” මේ සසුනෙහි භික්ෂූන් , සූත්‍රය ,ගෙය්ය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූත ධර්මය, වෙදල්ලය යන ධර්මය ප්‍රගුණ නොකරත් නම් එය සද්ධර්මයේ අතුරුදන් වීමට හේතුවන ප්‍රථම කරුණ යැයි” බුදුරජාණන් වහන්සේ වදාළහ. මේ අනුව ධර්ම ශ්‍රවණය හා ධාරණය ද ඔස්සේ උපයා ගන්නා ව්‍යක්ත බව බුදු දහමෙහි ඉතා වැදගත් කරුණක් ලෙස සලකාගෙන ඇත. ශ්‍රැතිය ධනයෙකි.

මෙසේ ධර්ම ශ්‍රවණයේ වැදගත්කම , බුදු දහම නොයෙක් විට පෙන්වා දෙයි. එහිලා විචාර පූර්වක මධ්‍යස්ථ ආකල්පය අවශ්‍ය බව ද පෙන්වා දෙයි. බුදුරදුන් දහම් දෙසනුයේ ශ්‍රාවකයන්ට එය දැඩිව ගැනීම පිණිස නොවේ. ඔවුනට දුකින් එතෙර වීමට මග පෙන්වනු සඳහා ය. බුද්ධ වචනයේ ධර්මය උපමා කොට ඇත්තේ පහුරකට ය. එය එතෙරවනු පිණිස මිස කර ගසාගෙන යාමට නොවේ. ධර්ම ශ්‍රවණයෙන් ම විමුක්තිය ලද නොහැකි ය. ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාවෙහි හැසිරිය යුතු ය. දහම් දෙසීමට සුදුස්සෝ කවරහුද, නුසුදුස්සෝ කවරහුදැයි ධර්ම විනයෙහිම සඳහන් වේ. බුදුරදුන් දහම් දෙසනුයේ සුදුසු පුද්ගලයන්ට ය. ඔවුහු දහම් ඇසීමට සුදුස්සෝ ය. මක්නිසාද යත් ධර්මයෙහි ඇල්ම ද, නිවන් මග යෑමේ අපේක්ෂාව ද ඇති බැවිනි. එබඳු පුද්ගලයෙකු වෙත තිබිය යුතු සුදුසුකම් අටකැයි පෙළ දහමෙහි දැක්වේ.

සැදැහැවත්කම ඇති තැනැත්තෙකු වීම, ධර්ම ශ්‍රවණය සඳහා ම එළඹි අයෙකු වීම, බුදුරදුන් වෙත එළඹ උන්වහන්සේ ඇසුරු කිරීම, ප්‍රශ්න කරන්නෙකු වීම,

සාවධානව ධර්මය ශ්‍රවණය කරන්නෙකු වීම, අසන ධර්මය හොඳින් සිත්හි ලා දරන්නෙකු වීම, සිත්හි ලා දරා ගත් ධර්මය අරුත් විමසන්නෙකු වීම හා

අර්ථයද, ධර්මය ද දැන එහි හැසිරෙන්නකු වීම යනුවෙනි.

ධර්මය දේශනා කිරීමට බුදුරදුන් යොමු වන්නේ ශ්‍රාවකයා මෙම සුදුසුකම් ඇත්තෙකු වූ විටය. භික්ෂූන් විසින් දහම් නොදෙසිය යුතු පුද්ගලයන් රැසක් සේඛියා නම් වූ භික්ෂු ආචාර ධර්ම මාලාවෙහි දක්නා ලැබේ. ඔවුන් සැලකිය යුත්තේ ශ්‍රවණයට නුසුදුස්සන් ලෙසයි. ඉහත කී ගුණ හා නැමියාවන් නැත්තවුන් මෙන්ම යට සඳහන් වන්නෝ ද දහම් ඇසීමට නුසුදුස්සෝ වෙති. දහම් නොදෙසිය යුතුය. ගිලනකු නොවේ නම් පාවහන් පැළඳ සිටින්නා, ගිලනකු නොවේ නම් යානාවක නැගී සිටින්නා, ගිලනකු නොවේ නම් සයනයක සිටින්නා, ගිලනකු නොවේ නම් පාදුකාවෙක නැගී සිටින්නා, ගිලනකු නොවේ නම් හිස වෙලාගෙන සිටින්නා,

ගිලනකු නොවේ නම් හිස වසාගෙන සිටින්නා, තමා බිම හිඳ සිටිද්දී අසුනක සිටින (ගිලන් නොවූ) තැනැත්තා,

තමා පහත් අසුනක සිටිද්දී උස් අසුනක සිටින (ගිලන් නොවූ) තැනැත්තා ,

තමා සිටගෙන සිටිද්දී හිඳගෙන සිටින (ගිලන් නොවූ ) තැනැත්තා,

තමා පසුපසින් යද්දී පෙරටුව යන (ගිලන් නොවූ) තැනැත්තා සහ

තමා මහ මග යද්දී අතුරු මග යන ( ගිලන් නොවූ) තැනැත්තා යනුවෙනි.

මෙබඳු පුද්ගලයෝ ශ්‍රද්ධා හීනයෝ ය. ධර්මයෙහි නිසි ගෞරව නැතිව නොසැලකිල්ලෙන් දහම් අසන්නෝ ය. එබැවින් ඔවුනට දහම් දෙසීමෙන් වැළකිය යුතු යැයි කියන ලද්දේය. මේ හැර ධර්ම ශ්‍රවණය කරන නමුදු එයින් ඵල ලැබීමට අසමත් වන්නෝ ද වෙති. ඔවුන් හඳුන්වා ඇත්තේ කුසල ධර්මයන් පිරීමෙන් ආර්ය මාර්ගයට පිවිසීමට නොහැක්කවුන් ලෙස ය. සූත්‍රාන්තයන් අනුව ඔවුන් මෙසේ දැක්විය හැකි ය.

ධර්ම කථාවට පරිභව කරයි,

ධර්ම කථිකයාට පරිභව කරයි,

දහම් අසන තමාට පරිභව කරයි,

විසිරුණු සිතින් දහම් අසයි,

“නොදත් දෙය දනියි” යන මාන ඇත්තේ වෙයි,

ගුණමකු සිතින් මඩනා ලද්දේ දහම් අසයි,

වාදන ගත සිත් ඇතිව සිදුරු සොයමින් දහම් අසයි සහ

ධර්ම දේශකයා කෙරේ ක්‍රෝධ සිත් ඇත්තේ වෙයි යනුවෙනි.

මේ සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ දහම් අසන්නා සැදැහැවත් එනම්, ආගමික සංවේදීතාවයෙන් යුතු සිනිදු සිත් සතන් ඇති, එසේම ධර්මයෙහි අව්‍යාජ අපේක්ෂා ඇති විචක්ෂණ තැනැත්තෙකු වීම දේශනයෙහි නිසි ඵල ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බව ය.

ශ්‍රද්ධාදී ගුණයෙහි නොපිහිටි තැනැත්තා ධර්මකතාව උසස් කතාව කොට නොසලකයි. අගය නොකරයි. ඉන් රසයක් අර්ථයක් උරා නොගනියි. ශ්‍රද්ධාදී ගුණ ඇති කල්හි ම ධර්ම කතාව අගය කිරීම එහි ඵල ලබාගැන්ම ද වේ. “අනර්ථය සිදුකරන වචන දහසක් වුව ද උතුම් නොවන්නේ ය. අර්ථවත් වූ, සංසිඳීමට හේතුවන්නා වූ ද , එකම වචනය ඊට වඩා උතුම්ය.” අනර්ථකාරි ගාථා දහම් පද දහසක් හෝ සියයක් කියනු ලැබුව ද, උතුම් නොවේ. සංසිඳීමට හේතුවන එකම ගාථාව දහම් පද ඊට වඩා ශ්‍රේෂ්ඨය යනු බුදු වදනයි.

බුදුරජාණන් වහන්සේගේ අවසන් චාරිකාව හා පරිනිර්වාණය ද, දැක්වෙන මහා පරිනිබ්බාන සූත්‍රය උගන්වන සතර මහාපදේශයන් ධර්ම ශ්‍රාවකයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත කුමක්දැයි පෙන්වා දෙයි.

“මෙය ධර්මයයි. මෙය විනයයි. භාග්‍යවතුන් වහන්සේගෙන් ම මෙය මා විසින් අසන ලදී” යම් භික්ෂුවක් එසේ කියන්නේ ද, එවිට නිතැතින් ම ඔහුගේ බස නොපිළිගත යුතු ය. ප්‍රතික්ෂේප ද නොකළ යුතු ය.

“මෙය ධර්මයයි. මෙය විනයයි, තෙරුන් සහිත ගණපාමොක් මහා සංඝයාගෙන් මා විසින් අසන ලදී” යැයි යම් භික්ෂුවක් එපමණකින් ම ඔහු ගේ බස නොපිළිගත යුතු ය. ප්‍රතික්ෂේප ද නොකළ යුතු ය.

“මෙය ධර්මයයි. මෙය විනයයි. අසුවල් ආවාසයෙහි වෙසෙන බහුශ්‍රැත, ධර්ම විනයධර මාතිකාධර බොහෝ ස්ථවිර භික්ෂූන් විසින්ම මා විසින් අසා ගන්නා ලදැයි” යම් භික්ෂුවක් කියන්නේ ද එපමණකින් ඔහු ගේ බස නොපිළිගත යුතු ය. ප්‍රතික්ෂේප ද නොකළ යුතු ය.

“මෙය ධර්මයයි. මෙය විනයයි.අසුවල් ආවාසයෙහි වෙසෙන බහුශ්‍රැත, ධර්ම විනයධර, මාතිකාධර අසුවල් භික්ෂුව වෙතින්ම මා අසා ගත්තේ යැයි “ යම් භික්ෂුවක් කියන්නේ ද එපමණකින් ඔහුගේ බස නොපිළිගත යුතු ය. ප්‍රතික්ෂේ්ප ද නොකළ යුතු ය.

මෙකී සිව් ආකාරයෙන් ම ඇසෙන බණ හොඳින් අසාගෙන සුත්‍රයෙහි බහාලිය යුතු ය. විනය හා සැසඳිය යුතු ය. එමඟින් සැබවින් ම බුදුන් වදාළ දහම් මේ යැයි නිෂ්ඨාවට පැමිණිය යුතු ය.

මෙසේ ලෝකය හා ජීවිතය පිළිබඳ දැනුම ලබාගැනීමේ වඩාත් ප්‍රබල විධි ක්‍රමයක් ලෙස ධර්ම ශ්‍රවණයෙහි වැදගත්කමද , නිසි ශ්‍රද්ධාවෙන් හා විමසිලි නුවණින්ද යුක්තව එහි නිරතවීමේ අවශ්‍යතාවය ද බුදුදහම නොයෙක් ලෙස පෙන්වා දෙයි. සුදුසු කල්හි ධර්ම ශ්‍රවණය කිරීම මංගල කරුණකි. විධිමත්ව ධර්ම ශ්‍රවණය කිරීමේ අනුසස් ද පෙළ දහම උගන්වයි. එබඳු එක් දේශනාවකට අනුව ධර්ම ශ්‍රවණයෙහි ආනිසංස පහකි.

නො ඇසූ විරූ දෙය අසන්නේ ය – තමන් වෙත නැති දැනුමක් ලබාගත හැකිය

ඇසූ විරූ දෙය පිවිතුරු වන්නේ ය– තිබෙන දැනුම වඩාත් පිරිසිදු දැනුමක් කරගත හැකි ය

සැක දුරු කරන්නේ ය – තමන් තුළ ඇති සැක සහිත දැනුම සැක දුරු වීමෙන් නිරවුල් කරගත හැකි ය

දෘෂ්ටිය ඍජු කරන්නේ ය – ලෝකය හා ජීවිතය පිළිබඳ නිවැරදි ඍජු දැක්මක් උපදවාගත හැකි ය

සිත පහදින්නේ ය – ශ්‍රද්ධාව උපදවාගත හැකිය

මෙසේ උසස් දැනුමක්, දැක්මක්, ප්‍රසන්න මානසික සුවයක් උදා කර ගැන්මට ධර්ම ශ්‍රවණය උපකාරි වන්නේ එය විධිමත්ව සිදුකිරීමෙන් පමණකි.

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]