UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නොනිමි මෙහෙවරකනොමැකෙන ගුණ සුවඳ

නොනිමි මෙහෙවරකනොමැකෙන ගුණ සුවඳ

සියලු සත්ත්වයන් වෙත සුව පහසුව ප්‍රාර්ථනා කිරීම නිර්වාණාපේක්ෂකයන්ගේ කාරුණික පැතුම වේ. සසර කළ මහ පින් මහිමයෙන් තමන්ට ලැබෙන ප්‍රත්‍ය පහසුකම් තම සුව පහසුව උදෙසා පමණක් වැය නොකොට ඒවා සමස්ත සමාජයේ ම යහපත සඳහා යෙදවීම අගනා ආදර්ශවත් ක්‍රියාවක් බව වෙසෙසින් කිවයුතු නොවේ.

තමන් සතු යමක් අනුන්ගේ යහපතට යෙදවීම ලෙහෙසි පහසු කටයුත්තක් ද නොවේ. හේතුව ලෝභය නමැති අකුසල මූලය සැම විටම පුහුදුන් සිතට ගලා ඒම ය. එහෙත් ඒ අකුසල මූලය තදංග වශයෙන් යටපත් කර ගැනීමට අලෝභය නමැති කුසල මූලය උදාකර ගනු ලබන්නේ නැණවත්ව සසර ගැන මෙනෙහි කිරීමෙනි.

අපේ රටේ පූජනීය සම්භාවනීය මහ සඟරුවන ආදර්ශවත් යුග මෙහෙවරයන් හි නිරත වන බව සිහිකළ යුතු නොවේ. උන්වහන්සේලා විවිධාකාරයෙන් සිදු කරනු ලබන ඒ සමාජ මෙහෙවරයන් සමාජයට මහත් ආශීර්වාදයක් ද වේ.

යම් කෙනෙකුට පෞද්ගලික ව තම ජීවිත කාලය පුරා කරන්නට නොව සිතා ගන්නට පවා අපහසු පරිත්‍යාගශීලීව ගත සිත මෙහෙයවන ආදර්ශවත් යතිවරයන් වහන්සේ නමක් පිළිබඳව මෙසේ කෙටි සටහනක් තබමු.

ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ ථෙරවාදී බෞද්ධ විහාරය, අත්තනගල්ල රජ මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙතෙක් සිදුකර ඇති සහ දැනුදු සිදු කරනු ලබන්නේ යුග ගණනාවක් පුරා පවතින උදාර මෙහෙවරකි.

ඒ අතර සම්බුදු සසුනේ ව්‍යාප්තියටත්, චිරස්ථිතියටත්, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සමාජයට ආදී වශයෙන් විවිධාකාරයෙන් සලසා ඇති මෙහෙවර මෙහි දී එකින් එක පැහැදිලි කිරීමට නොව අධ්‍යාපනය වෙනුවෙන් කර ඇති සද් මෙහෙවර සටහන් කිරීම පමණක් මූලික අපේක්ෂාව වන්නේ ය.

ත්‍රිපිටක දහම සහ විදේශීය භාෂා රැසක් හදාරා විදේශීය ධර්මදූත මෙහෙවරෙහි ද යෙදෙමින් පන්නිල ආනන්ද නායක හාමුදුරුවන් වහන්සේ අත්තනගල්ල රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් උදාර මෙහෙවරක නිරත වෙති.

අත්තනගල්ල රජ මහා විහාරස්ථ පතිරාජ සාමණේර භික්ෂු පුහුණු ආයතනය අරඹා එමඟින් ත්‍රිපිටක දහම මූලිකව ජාත්‍යන්තර භාෂා පුහුණු කරමින් සාමණේර හිමිවරු රැසකට අධ්‍යාපනය ලබා දෙති. එහි අධ්‍යාපනය ලබන නේවාසික භික්ෂූන්ගේ පහසුව සඳහා තෙමහල් භික්ෂු නේවාසිකාගාර දෙකක් සහ දෙමහල් නේවාසිකාගාරයක්ද ඉදි කරවූහ.

ස්වභාවික විපත් පැමිණි හැම විටෙකම ඉදිරිපත් වී ශක්ති පමණින් පිහිටවීම ද උන්වහන්සේගේ උදාර සිරිතකි. සුනාමි විපත පැමිණි අවස්ථාවේ ඊට මුහුණ දුන් පවුල් තුන්සිය තිස් හයක් වෙත නව නිවාස ඉදිකරවා හිසට සෙවන සලසා දුන්හ.

අවට විහාරස්ථාන රැසක විහාරාංග ඉදිකරවීමට ධනය පරිත්‍යාග කළ පන්නිල ආනන්ද නායක හාමුදුරුවෝ රෝහල් සංවර්ධන පදනමේ සභාපති ලෙස වතුපිටිවල ජේ.පී. ඔබේසේකර ආර්යා මූලික රෝහලේ ළදරු වාට්ටුව රුපියල් ලක්ෂ 250 ක වියදමින් ඉදිකරවීම ද ලක්ෂ විසි දෙකක මුදලක් වැය කර ඔත්පල භික්ෂූන් වහන්සේලා උදෙසා භික්ෂු වාට්ටුවක් ද දසසිල් මාතාවන් උදෙසා රුපියල් ලක්ෂ හයක මුදලින් වාට්ටුවක් ද ඉදි කරවූහ. කොළඹ මහ රෝහලට ගිලන් රථ දෙකක්, නිට්ටඹුව සමූපකාර රෝහලට නවීන ගිලන් රථයක් පරිත්‍යාග කිරීම ද උන්වහන්සේගේ සේවා අතර වේ.

රුපියල් කෝටි තුනක මුදලක් වැය කර ප්‍රදේශයේ දරුවන්ගේ නැණ ගුණ වඩන්නට රුපියල් හැත්තෑ ලක්ෂයක පමණ පොත් එහි තැන්පත් කරමින් සිය කාර්ය මණ්ඩලයට වැටුප් ද ගෙවා මහජන පුස්තකාලයක් ද ඉදි කරවූහ.

ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ පහසුකම් සඳහා සිසු දරුවන් රැසක් වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් ශිෂ්‍යාධාර ලෙස පිරි නමති. එහිදී පටු භේදාදිය නොසලකා එම සිසු දරුවන් වෙත පිහිටවීම ද අගය කළ යුතු ය.

රටේ ජීවනාලිය බඳු දරු පරපුරෙහි නැණ පහන් දැල්වීමට උන්වහන්සේ මෙයට වසර කීපයකට පෙර පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළහ. ඒ අනුව අත්තනගල්ල රජමහා විහාරස්ථ දහම් පාසලේ තෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලක් සහ යටියන ජයවර්ධනාරාම දහම් පාසලේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරවූහ. උඩගහ වල්පොල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ එකසිය අනූවක වියදමෙන් තෙමහල් ගොඩනැගිල්ලක්, ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ එකසිය අනූ හතක වියදමෙන් තෙමහල් පාසල් ගොඩනැගිල්ලක්, නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පිරිවෙනෙහි කාමර 24 කින් සමන්විත දාන ශාලාව සහිත දෙමහල් ගොඩනැගිල්ලත්, කඹුරාගල්ල පන්නිල ශ්‍රී ආනන්ද මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ දෙසිය දහයක තෙමහල් පාසල් ගොඩනැගිල්ලත්, දඹාන ආදීවාසී දරුවන් සඳහා දහම් පාසල් ගොඩනැගිල්ල, රුපියල් ලක්ෂ හැටක වියදමෙන් කිරිඳිවැල ශ්‍රී සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයේ කලා සෞන්දර්ය දෙමහල් පාසල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ එකසිය පනහක වියදමෙන් ද, වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි විද්‍යාගාර තෙමහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ එකසිය අනූ අටක වියදමෙන් ද, තිහාරිය අල් අස්හර් මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ දෙසිය තිහක වියදමෙන් තෙමහල් ගොඩනැගිල්ලක් ද අලවල මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක්, කන්දෙගම පාසල් ගොඩනැගිල්ලත් ඉදිකරවූහ.

නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල සඳහා රුපියල් දෙකෝටි හැට ලක්ෂයක පමණ මුදලක් වැය කර එය ඉකුත් දා (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කිරීමට නියමිත ව තිබුණි.

නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලක්ද උන්වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කෙරේ.

එල්ලක්කල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල සහ ගොරකදෙණිය විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල ද දැනට ඉදිකරවාගෙන යමින් තිබේ. වේයන්ගොඩ පත්තලගෙදර විද්‍යාලෝක මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල සහ ගණේගොඩ රාජසිහ විද්‍යාලයේ පාසල් ගොඩනැගිලි ඉදිවෙමින් පවතී.

වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල ඉදිකරවීමට ඉකුත් දා මුල්ගල තැබූහ.

මෙසේ පාසල් ගොඩනැගිලි 12 ක් පමණ සිසු අයිතියට පත් කර ඇති අතර තවත් පාසල් ගොඩනැගිලි හතක් ඉදිවෙමින් පවතී.

පාසල් දරුවන් හත් දහසක පමණ පිරිසක් අදාළ පාසල් ගොඩනැගිලිවල සෙවණ ලබමින් නැණ ගුණ වඩන්නට අකුරු කරන අයුරු සිතා උන්වහන්සේ අපමණ සතුටක් ලබති. අදාළ පාසල් ගොඩනැගිලි ඉදිකරවීම සඳහා රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය කර ඇති උන්වහන්සේ මේ වන විට එබඳු ඉල්ලීම් අසූ හතක් පමණ ලැබී ඇති බව ද කියති.

උන්වහන්සේ කිසි විටෙක දේශීය හෝ විදේශීය කිසිවකුගෙන් ආධාර ඉල්ලන්නේ නැත. හිතවත් විදේශික පරිත්‍යාගශීලීහු ඒ සුවිශේෂි මෙහෙවරයන් දැක ස්වකීය කැමැත්තේ ඉදිරිපත් වී අනුග්‍රහය දැක්වීම මහත් අනුබලයක් වී ඇත. ගත සිත ශක්තිය පවතින තුරු මෙවන් සේවාවන් ඉදිරියට ද කරගෙන යාම උන්වහන්සේගේ අපේක්ෂාව ය. සිය කාර්යභාරයේ දී උන්වහන්සේ වෙත ලැබුණ ඇණුම් බැණුම් සේ ම ප්‍රශංසාවන්ගේ අඩුවක් නොවී ය. ඒවා සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සේවය සැලසීම තමන් වහන්සේ ගේ අරමුණ බවත් පන්නිල ආනන්ද නා හිමියෝ පවසති.

සමාජ යහපත උදෙසා අමිල මෙහෙවරක නිරතව වැඩ වසන ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තව තවත් මෙවන් මෙහෙවරයන් සලසන්නට ශක්තිය හා ධෛර්ය තෙරුවන් බෙලෙන් ලැබේවා.

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]