UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින්බර චුති සිත

පින්බර චුති සිත දෙව්ලොව උපත ගෙනෙයි

" මනු ලොව දී නිවනින් සැනසෙන්නට උත්සාහ නොදරා වෙනත් පිනක බල මහිමයෙන් මෙලෙස දෙව් ලොව උපත ලබන පින්වත් අය ද සිටිති. ඔවුහු දිව්‍ය සැප සම්පතින්, දිව්‍ය කාමයන්ට මුසපත්ව, නන්දන වනයට පිවිසෙමින් දෙවි දේවතාවුන් පිරිවරාගෙන ප්‍රීතියෙන් කාලය ගෙවති. ඇතැම් අය තමන්ගේ පින ගෙවී අවසන් වෙද්දී දිව්‍ය ලෝකයෙන් චුතව නැවත සතර අපායගාමී වෙති."

කවර ආගමක, කවර දෘෂ්ඨියක සිටිය ද, අසරණයෙකුට අනුකම්පාවෙන්, කරුණා පෙරදැරි ව උදවු උපකාර කිරීම පින්කමකි. මෙවැනි පින්කම්වල නියැළෙන ඇතැම් පිරිස් රැස් කරගන්නා පිනේ මහිමයෙන් සුගතියක උපත ලබයි. ඇතැම් විට දිව්‍ය තලවල පවා උපත ලබන්නට භාග්‍ය ලබයි. නමුත්, ඒ අය දෘෂ්ටි වශයෙන් සම්මා දිට්ඨියක් තුළ උපත ලබා නැහැ. එවැනි දෙවිවරුන්ට දෙව්ලොව දී ධර්මය ඇසුණ ද, ඒ අය ධර්ම මාර්ගයට යොමු වන අවස්ථා දුලභ ය. එහෙත් ඔවුහු සැප සම්පත්වල, දිව්‍ය කාමයන්හි මුසපත් වී විනෝදයෙන් සතුටෙන් ජීවිත ගත කරති. එවැනි දෙවිවරු චුත වන්නේ කෙසේද? යන්න බුද්ධ දේශනාවෙහි සඳහන් වෙයි.

‘මහණෙනි, බොහෝ දෙවිවරු පෙර පිනේ මහිමයෙන් දෙව් ලොව උපත ලබති. විමාන වත්ථුවෙහි සිය ගණනක් කතා අතර ඇත්තේ පෙර පින් මහිමයෙන් දෙව් ලොව උපත ලැබූ දෙවිවරුන්ගේ කතා පුවත් ය. එහි එක්තරා පින්වන්තියක්, මුගලන් මහ රහතන් වහන්සේට මෙලෙස පවසා ඇත. “ස්වාමීනි, මම පිණ්ඩපාතයේ වැඩම කරන එක්තරා ස්වාමීන් වහන්සේ නමකට දන් හැන්දක් පූජා කළෙමි. ඒ පින මගේ සිතේ නිබඳව ම රැව් පිළිරැව් දුන්නේ ය. මා මිය යන මොහොතේ දී ද ඒ පින ආවර්ජනය වී උපත ලැබුවේ දෙව් ලොව යි.” තවත් දෙවි කෙනෙක් තම පින්බර කතා පුවත මෙලෙස පැවසුවේ ය. “ස්වාමීනි, මම මිථ්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණ කාන්තාවක්මි. මම පින ගැන නොදන්නෙමි. තුනුරුවන් නොහඳුනමි. එහෙත්, එක්තරා දිනෙක පිපාසයෙන් ක්ලාන්ත වූ අයෙකුට පැන් පොදක් ලබා දී පවස නිවා සුවපත් කළෙමි. මේ පින මට මිය යන මොහොතේ අරමුණු වී දෙව් ලොව උපත ලැබූවෙමි.” තවත් දිව්‍යාංගනාවක්, ඇය දෙව් ලොව උපත ලබන්නට කළ පින මෙසේ ආවර්ජනය කළා ය. “ස්වාමීනි, මම නැන්දම්මා නිවසේ නොසිටි මොහොතක ඇයට අයත්ව තිබූ උක් දණ්ඩක, යුෂ ගෙන පිණ්ඩපාතයේ වඩින ස්වාමීන් වහන්සේ නමකට පූජා කළෙමි. ඒ පින අනුමෝදන්ව මම සතුටින් දිවි ගෙවීමි. දවසක් නැන්දම්මා සමඟ ඇතිවූ ආරවුලක දී ඇය මට පහර දුන්නා ය. ඒ හේතුවෙන් ම මියයන මොහොතේ මගේ මතකයට නැඟුණේ් එදා පිඬු සිඟා වඩින ස්වාමීන් වහන්සේට පූජා කළ උක් යුෂ පානය ය ගැන ය.” තවද, එක්තරා නිවසක සිටි මෙහෙකාරියක් තමා දෙව් ලොව උපත ලැබීමට හේතු වූ පින මුගලන් මහ රහතන් වහන්සේට මෙලෙස පැවසුවා ය. “ස්වාමීනි, මේ සියලු සැප සම්පත් වලට හේතු වූ මගේ කතා පුවත මෙය යි. දිනක් මම පිට්ටු කැබැල්ලක් ඉවතට දමන්නට නිවසින් පිටතට පිවිසුණෙමි. එහි දී පිණ්ඩපාතයේ වඩින ස්වාමීන් වහන්සේ නමක්, ‘නැගණිය, ඔබ ඉවතට දමන පිට්ටු කැබැල්ල මගේ පාත්‍රයට පූජා කරන්නැ’යි කාරුණිකව වදාළ සේක. එය මම බොහොම ශ්‍රද්ධාවෙන් පූජා කළෙමි. ඒ පින මා මියන තුරා, මගේ මතකයට නැඟුණි. ඒ පින්බර සිතිවිල්ලෙන් පිවිතුරු වූ මා උපත ලැබුවේ දෙව් ලොව යි.”

මෙලෙස තමා කළ කුසල කර්මයක් මරණ මංචකයේ දී මතකයට නැඟුණොත්, එනම් අකුසල් යටපත්ව ආසන්න කුසල කර්මයක් මරණාසන්න මොහොතේ බලවත් වුණොත්, උපත ලබන්නේ සුගතියක යි. ඇතැම් විට එය දෙව් ලොවක් විය හැකි යි.

ප්‍රඥාව බහුලව නොවඩා, මඟ ඵල නොලැබූ අයෙක් කුමන දිව්‍ය තලයක උපත ලැබූව ද ආර්ය මාර්ගයට අයත් වෙයි. ඒ පින්වතා ධර්මය දියුණු කරන මඟ ඵල ලාභී දෙවිවරු සමඟ ම නිවන් මඟ ගමන් කරයි.

එහෙත්, මනු ලොව දී නිවනින් සැනසෙන්නට උත්සාහ නොදරා වෙනත් පිනක බල මහිමයෙන් මෙලෙස දෙව් ලොව උපත ලබන පින්වත් අය ද සිටිති. ඔවුහු දිව්‍ය සැප සම්පතින්, දිව්‍ය කාමයන්ට මුසපත්ව, නන්දන වනයට පිවිසෙමින් දෙවි දේවතාවුන් පිරිවරාගෙන ප්‍රීතියෙන් කාලය ගෙවති. ඇතැම් අය තමන්ගේ පින ගෙවී අවසන් වෙද්දී දිව්‍ය ලෝකයෙන් චුතව නැවත සතර අපායගාමී වෙති. එසේනම්, සුළු කාලයකට සුගතියේ සැප විඳ නැවත අපායට වැටී, සසර ගමන දුක් විඳින දෙවි දේවතාවුන් ද දිව්‍ය තලවල සිටී.

දෙව් ලොව අකුසලයට බර මාර පාක්ෂික පිරිසක් ද වැඩ සිටිති. මෙවැනි පිරිසක් එවැනි පින්බර ලෝකවල උපත ලබන්නේ කෙසේදැ’යි ඇතැමෙකුට සිතෙන්නට පුළුවනි. එයට හේතු වන්නේ මනු ලොව කෝටි ගණනක් මිනිසුන් අතර අන්‍ය දෘෂ්ටිකයන් පවා පිනට දහමට නැඹුරු වීම යි.

බොහෝ රටවල වාසය කරන ඔවුන් දෘෂ්ටි වශයෙන් බුද්ධ ශ්‍රාවකයන් නොවන අතර සම්මා දිට්ඨිකයන් ද නොවේ. එමනිසා ඔවුහු නිවන් දකින්නට අදහසක් නොමැති වුව ද පිනට දහමට පි‍්‍රය කරති. මේ නිසා ලෝකය පුරා තිබෙන නොයෙකුත් සංවිධාන මඟින් අසරණයන්ට පිහිට වේ. වකුගඩු රෝගීන් වෙනුවෙන් විවිධ අරමුදල් පිහිටුවා ඒ රෝගීන් සුවපත් කිරීමට දායක වෙති. ඇතැමුන් හදවත් සැත්කම් වෙනුවෙන් උදවු උපකාර කරති. ඇතැම් විට දිළිඳු රටවල් සංවර්ධනයට පවා යහපත් චේතනාවෙන් උදවු උපකාර කරති. එසේනම්, මේවා ද පින්කම් වෙයි.

සම්බුදු පියාණන් වහන්සේ දිව්‍ය චුති සූත්‍රයට අනුව මෙලෙස වදාළ සේක. මහණෙනි, දෙව් ලොව ආයුෂ අවසන් වී චුත වන ඇතැම් දෙවිවරු අතුරින් බොහෝ පිරිසක් සතර අපායගාමී වෙති. නැවත දිව්‍ය ලෝකයේ උපත ලබා ධර්මය දෙසට යොමු වන්නේ මනු ලොව ශ්‍රද්ධාව හොඳින් ප්‍රගුණ කළ පින්වතුන් පමණ යි. ඒ උතුමන් හොඳින් සිල් ගුණ දහම් සුරකින ,ශුැතවත් භාවය හෙවත් දහම් දැනුම කාලයක් පුරුදු පුහුණු කරගත්, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව වැඩූ පින්වන්තයෝ වෙති. ඔවුන් සද්ධා, ශීල, සුත, ත්‍යාග, ප්‍රඥා වන සේඛ බල වැඩූ අය යි. මෙහි බලවත් ම දේ ප්‍රඥාව යි. සේඛ බල පහ වඩාගෙන දිව්‍ය තලයක යම් පුද්ගලයෙක් උපත ලැබුවේ නම්, ඒ උත්තමයා කිසිවිටකත් දිව්‍ය කාමයන්හි මුසපත්ව, දිව්‍ය සැප සම්පත්තියට මුළා නොවේ. දෙව් ලොව සැප සම්පත් නිසා සතර අපායගාමී නොවී නිවන් මඟ උදෙසා ම ගමන් කරයි. එසේනම්, මඟ ඵල ලාභී දෙවිවරුන් සමඟ ම ධර්මාවබෝධය ලබන්නට අවස්ථාව ලැබෙන්නේ ඉහත සඳහන් සේඛ බල වැඩූ පින්වතුන්ට පමණ යි.

බුදුන් වහන්සේ, දෙවිවරුන්ට දේවතානුස්සති යනුවෙන් භාවනාවක් වදාළා. මනුලොව දී හොඳින් ශ්‍රද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව වඩා දිව්‍ය ලෝකයක් අරමුණු කරගෙන සිත පිහිටුවා ගත යුතුයි. එවිට තමන් දියුණු කළ ගුණධර්ම මත දෙව් ලොවකදී හෝ ඉතිරි පින සම්පූර්ණ කරගත හැකි යි. ඒ සඳහා මඟ ඵල ලාභී දෙවි දේවතාවුන් කලණ මිතුරන් වශයෙන්, සත්පුරුෂ ආශ්‍රයෙන් ඉක්මනින් ම නිවන් මඟ ගමන් කරනවා ඇත. ඒ අදිටනින් දිව්‍ය ලෝකයක් අරමුණු කරන්නැ’යි බුදුරදුන් වදාළා.

නමුත් දිව්‍ය ලෝක ගැන සඳහන් කිරීමේ දී ඇතැම් අය ‘අනේ! එහි සැප සම්පත් බහුල යි’ යනුවෙන් විවිධාකාර දෘෂ්ටි දරාගෙන සිටින්නට පුළුවනි. එහෙත් බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට පෙන්වා වදාළේ , ‘මහණෙනි, ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා වඩන බුද්ධ ශ්‍රාවකයා දෙව්ලොව අරමුණු කරන්නේ දිව්‍ය කාමයන්ට මුසපත් ව, සැප විඳින්නට සිතාගෙන නොවෙයි. ඒ උත්තමයාගේ පින්බර අරමුණ විය යුත්තේ මාර්ග ඵල ලාභී, කල්‍යාණ මිත්‍ර දෙවි දේවතාවුන්ගෙන් බැබළෙන, සුගතිගාමී භවයක උපත ලබා ඉක්මනින් ම සසර ගමන අවසන් කරන, නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම යි. එසේනම්, බුදුන් වහන්සේගෙන් සද්ධර්මය ශ්‍රවණය කර, ධර්මාවබෝධය ලැබූ දෙවි දේවතාවුන් අදටත් වැඩ සිටින දිව්‍ය තල අරමුණු කරගෙන යම් කෙනෙක් සිත වඩාගෙන භව ගමන අවසන් කරන්නට වෑයම් කිරීම වැදගත් වෙයි.

ඔබේ දිවිය ද මෙවැනි දේශනා ඔස්සේ, පරලොවින් රැකවරණය පිණිස ධර්ම මාර්ගය වඩන්නේ කෙලෙස ද, කාරණාව බුද්ධිමත්ව සිතා බැලිය යුතු යි.

 

දුරුතු පුර අටවක පෝය 


දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.44 ට ලබයි. 27 වන දා බදාදා පූර්ව භාග 2.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 26 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය දුරුතු පුර පසළොස්වක ජනවාරි 01 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]