UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිමියාවේ අමරවංස අනු නා හිමි

ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය 22 වන දා :

අනුනායක පදවියෙන් පිදුම් ලබන මාලඹේ සුසිතපුර අසෝකාරාමය, ඔබේසේකරපුර අභිනවාරාමය ඇතුළු විහාර ගණයේ අධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක සිරි ශාසනවංශාලංකාර චන්ද්‍රකීර්ති ශ්‍රී උපාධ්‍යාය ආචාර්ය

දිමියාවේ අමරවංස අනු නා හිමි

ඓතිහාසික සබරගමු පළාතේ රත්නපුර දිසාවේ නිවිතිගල දිමියාව නම් වූ සුන්දර ග්‍රාමවරය අමරවංස අනු නා හිමියන්ගේ ජන්ම භූමියයි. දිමියාව ගමේ විසූ චන්ද්‍රසේකරගේ කරුණාරත්න හා නිවිතිගල කහන්ගමගේ පොඩිහාමි යන දම්පතීන්ට 1934 අගෝස්තු 01 දින පුත් රුවනක් ලැබුණ අතර හේ නමින් පේමසිරි චන්ද්‍රසේකර නම් විය.

එතැන් පටන් මවුපිය ඥාතිහිතමිත්‍රාදීන්ගේ ආදරය කරුණාව හා සෙනෙහස මැද දිනෙන් දින වැඩුණු පේමසිරි දරුවා පාසල් අධ්‍යාපනය සඳහා නිසි වයස් පිරුණු කල්හි දිමියාව රජයේ මිශ්‍ර පාසලට 1940 වර්ෂයේ ඇතුළත් ව පළමු ශ්‍රේණියේ සිට අට ශ්‍රේණිය දක්වා ගුරු සිත් දිනා ගනිමින් මැනවින් අකුරු කළේ ය. වයස අවුරුදු දහහතර පිරෙත්ම පැවිදි වන්නට පේමසිරි දරුවා පෙරැත්ත කළේ ය. මෙය සසර පුරුදු පුහුණු කළ ධර්මතාවක් බව තේරුම් ගෙන සිටි මවුපියෝ තම දරුවා පැවිදි කිරීම පිණිස මොරටු පළාතේ ප්‍රධාන සංඝ නායක මොරටුවේ සාසනවංස නාහිමියන් වෙත භාර කළහ.

පේමසිරි දරුවා හොරණ අඟුරුවාතොට මහයාල ශ්‍රී පුෂ්පාරාමයේ නේවාසිකව උගත යුතු පොත් වණ පොත් කළ අතර 1948 දෙසැම්බර් 22 වන දින මහායාල පුෂ්පාරාමයේ දී ම මොරටුවේ සාසනවංශ නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් ‘දිමියාවේ අමරවංස’ නමින් ප්‍රවෘජ්‍යාව ලැබීය.

මූලික බණ දහම් හා හික්මීම් සිය ගුරුදේවයාණන් වහන්සේ වෙතින් ලබා ගත් අමරවංස සාමණේරයන් වහන්සේ සෑම අතින්ම දැක්වූයේ සමත්කම් ය. මෙයින් අතිශය සතුටට පත් ගුරුදේවයන් වහන්සේ සිය ශිෂ්‍යපුත්‍රයාගේ මතු දියුණුව අපේක්ෂා කරමින් උසස් අධ්‍යාපනය සඳහා ලක්දිව පැවිදි අධ්‍යාපනයේ මුදුන්මල්කඩ වන් මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණට භාර දුන්හ. එහිදී අතිපූජ්‍ය බද්දේගම පියරතන, වැලිවිටියේ පේමරතන, වැලිවිටියේ ශ්‍රී සෝරත, දෙහිගස්පේ පඤ්ඤාසාර, පොළොන්නරුවේ විමලධම්ම ආදී මහා යතිවරයන් වහන්සේලාගේ සමීපාශ්‍රයේ වැඩසිටිමින් වර්ග පටිපාටියෙන් පිරිවෙන් අධ්‍යාපනය අවසන් කෙරුවේ ගෞරව පන්ති සාමාර්ථ ලබා ගනිමිනි.

විද්‍යෝදය පිරිවෙණේ උසස් අධ්‍යාපනය ලබන අතරම අමරවංස හිමියෝ, 1956 දී පානදුර නදී උදකුක්ඛේප සීමාමාලකයේ දී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායික භික්ෂු සංඝයා වෙතින් උපසම්පත්තිය ලැබූහ. එහිදී අමරවංස හිමියන්ට උපාධ්‍යායයන් වහන්සේ වුයේ මාපලාන පුරාණ මහා විහාරාධිපති සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මාපලානේ ශ්‍රී පඤ්ඤාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

උපසම්පදාවෙන් අනතුරුව 1957 වර්ෂයේ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයත්, 1958 දී ප්‍රාචීන මධ්‍යම විභාගය හා විනයාචාර්ය උපාධියත්, 1959 විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයත් සමත් වූ අමරවංස හිමියෝ 1960 වර්ෂයේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) ඇතුළත්ව 1962 දී ශාස්ත්‍රවේදී උපාධියත්, 1964 දී ශාස්ත්‍රවේදී ගෞරව උපාධියත් දිනා ගැනීමට සමත් වූහ. 1963 දී රජයේ ගුරු සේවයට එක් වූ අමරවංස හිමියෝ මුල්ම පත්වීම ලබා බලන්ගොඩ පින්නවල උඩගම මහා විද්‍යාලයට වැඩම කර වූහ. අනතුරුව වල්හපුතැන්න මහා විද්‍යාලය, මරදාන මහාබෝධි විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විද්‍යාලය හා නුගේගොඩ ශාන්තජෝන් විද්‍යාලය යන පාසල්වල සේවය කොට 1991 දී විශ්‍රාම ලැබීය. විශ්‍රාම ලබන විට දකුණු කොළඹ අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්ම ගුරු උපදේශක තනතුර දැරීය. මුන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව පිළිබඳ පැහැදුණු කොරියානු රජය 2002 වර්ෂයේ දී ආචාර්ය උපාධිය පිරිනමා සම්මාන ගෞරවෝපහාර දැක්වී ය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපතීන් වහන්සේ ලෙස 2002 සිට මේ දක්වාම කටයුතු කරන අමරවංස නාහිමියෝ මේ කාලය තුළ කොට්ඨාසයේ සියලු දහම් පාසල් මානව සම්පත් හා භෞතික සම්පත් යන දෙ අංශයෙන් ම දියුණුවට පත් කළහ. කොට්ඨාසය තුළ අභිනවයෙන් දහම් පාසල් රාශියක් ආරම්භ කළහ.

දීර්ඝ කාලයක් තිස්සේ අතිපූජ්‍ය කොස්ගොඩ ධම්මවංස, අතිපූජ්‍ය තලල්ලේ ධම්මානන්ද, අතිපූජ්‍ය කොස්ගොඩ ජිනාලංකාර, අතිපූජ්‍ය බළන්ගොඩ සුධම්මවංස, අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි (වර්තමාන මහානාහිමි) යන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පස්නම සමඟ නිකායේ කටයුතු මහත් උද්‍යෝගයකින් හා කැපවීමකින් ඉටු කළ, දැනටත් ඉටු කරන අමරවංස නාහිමියෝ 2010 දී ‘සුධර්මා’ කාරක සංඝ සභාවේ සභිකයන් වහන්සේ නමක් ලෙස පත් වූහ. ඉන් අනතුරුව 2013 දී නිකායේ මහා ලේඛකාධිකාරී ධූරයට ද පත් වූහ. කොළඹ දිස්ත්‍රික්කයේ නිකායික විහාරස්ථාන එකතු කරමින් එහි වැඩවාසය කරන භික්ෂු මහා සංඝයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් දිස්ත්‍රික් සංඝ සභාව පිහිටුවාලීමට මුල් වූයේ ද අමරවංස නා හිමියන් ය. එසේම එම ප්‍රාදේශීය සංඝ සභාවේ ප්‍රථම සම ලේඛකාධිකාරී පදවියට ද පත් අමරවංස නා හිමියෝ පසුව සභාපති ධූරයට පත් ව මේ දක්වා ම කටයුතු කරති. 1993 දී නිකායේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක පදවිය ද, 2015 දී ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය ද දැරූ මුන්වහන්සේට 2017 දී නිකායේ අනු නායක පදවිය පිරිනැමුවේ ‘සිරි සාසනවංසාලංකාර චන්ද්‍රකීර්ති ශ්‍රී උපාධ්‍යාය’ යන ගරු නාම සම්මුතිය සහිතව ය.

අමරවංස නාහිමිපාණන් වහන්සේ විසින් ලියා පළ කොට ඇති, ශාස්ත්‍රීය ග්‍රන්ථ, ධර්ම ග්‍රන්ථ හා සංස්කරණය කොට ඇති ශාස්ත්‍රීය සඟරා විශාල ප්‍රමාණයක් ඇත.

මේ සා විශාල යුග මෙහෙවරක් කළ අමරවංස නාහිමියෝ සිදු කළ සේවාවන් අතර ප්‍රමුඛතම සේවය හා මෙහෙවර ලෙස මා දකින්නේ තමන් ගෙන ගිය ජාතික ආගමික සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් ධර්ම විනයධර ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා රාශියක් සසුනට දායාද කොට තිබීමයි.

ඒ අතරින් ප්‍රධාන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ බුලත්සිංහල මහින්දවංස නා හිමියන් ය. බැද්දේගම ධම්මවංස, එල්ලාවල ධම්මවංස, පොල්ගම්පොල සුධම්මවංස, එල්ලාවල තිලකවංස, වැලිකඩ කුසලවංස, මුල්ලේගම සුමනවංස, මොරටුවේ සුසීලවංස, අළුබෝමුල්ලේ පඤ්ඤාවංස, මොරටුවේ සුඛිතවංස යන හිමිවරු හා අනෙක් ශිෂ්‍යපුත්‍රයන් වහන්සේලා වෙති.


සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය

දිමියාවේ අමරවංස අභිනව අනු නා හිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය දෙසැම්බර් 22 වන දා පස්වරු 3 ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (බී ශාලාව) පැවැත්වේ.

එම අවස්ථාව කථානායක කරු ජයසූරිය, බුද්ධ ශාසන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහත්වරු ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි.


උදාර මෙහෙවරක යෙදී සිටිති

ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි නියැලෙන භික්ෂූන් වහන්සේ සංඝ ශෝභන ගුණයෙන් සමූපලක්ෂිත වෙයි. එබඳු මහා යතිවරයන් වහන්සේලා ම ලෝ සසුන් වැඩ වඩන්නට සමත් වෙති. අමරපුර සිරි සද්ධම් වංස මහා නිකායේ අභිනව අනුනායක පදවියෙන් පිදුම් ලැබූ ආචාර්ය දිමියාවේ අමරවංස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද යථෝක්ත ගුණ සමුදායෙන් යුක්ත මහා යතිවරයාණන් වහන්සේ නමක් ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි. පදවිප්‍රාප්තිය නිමිත්තෙන් උන්වහන්සේ වෙත දිගාසිරි පතමින් සුභාශිංසන කිරීම අපගේ පරම යුතුකමකි.

ආචාර්ය දිමියාවේ අමරවංස අනු නා හිමියෝ රත්නපුර නිවිතිගල දිමියාව නම් ග්‍රාමයේ සම්භාවනීය පරපුරක උපත ලබා ශ්‍රේෂ්ඨ සංඝ පරම්පරාවක පැවිද්ද ලැබූ අතර, මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණින් ප්‍රාචීන අධ්‍යාපනයත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපයත් ලැබීමට තරම් භාග්‍ය සම්පන්න වූහ. මෙරට පාසල් ගණනාවකම ආචාර්යවරයෙකු ලෙස අධ්‍යාපන සේවයට පිවිස උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරපුරක් දායාද කරන්නට සමත් වූහ.

විශේෂයෙන්ම ථේරවාදීය භික්ෂු ශාසනය අඛණ්ඩව පවත්වා ගනිමින් ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා සමත් සුපේෂල ශික්ෂාකාමී පැවිදි ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා රාශියක් සසුනට දායාද කිරීමට ද, දිමියාවේ අනුනාහිමියෝ සමත් වූහ. නිතරම සිනහ මුසු මුහුණින් සිටින අප අනුනාහිමියෝ ‘පුප්ඵභාණී’ ‘මධුරභාණී’ ගුණයන්ගෙන් යුක්ත වන අතර, මුන්වහන්සේ තුළ පවතින කරුණාභරිත මෘදු ගුණය අතිවිශිෂ්ට ය.

අතිපූජ්‍ය කොස්ගොඩ ධම්මවංස, තලල්ලේ ධම්මානන්ද, කොස්ගොඩ ජිනාලංකාර, බළන්ගොඩ සුධම්මවංස යන චිරරාත්‍රඥ අප නිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ සමයේ පටන්ම නිකායේ කටයුතුවලට සම්බන්ධව මහත් උද්‍යෝගයෙන් හා කැපවීමෙන් කටයුතු කළ බව මා ඉතා හොඳින් දන්නා කරුණකි.

ජාතික, ආගමික, සාමාජිය හා ශාස්ත්‍රීය වශයෙන් උදාර මෙහෙවරක යෙදී සිටින දිමියාවේ අමරවංස අභිනව අනුනායක මාහිමිපාණන් වහන්සේට නව පදවිය මගින් ස්ව නිකායටත්, පොදුවේ සම්බුද්ධ ශාසනයටත් තව තවත් වැඩ සළසාලන්නට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබේවා.


පූජාච පූජනීයානං අරුත් ගැන්වෙන සම්භාවනීය අවස්ථාවක්

“පූජාච පූජනීයානං’ යන බුදුවදනට අනුව පිදුම් ලැබිය යුතු උතුමෝ පිදුම් ලබන්නාහ. එලෙසම අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ අභිනව අනු නායක පදවියෙන් අතිපූජ්‍ය දිමියාවේ අමරවංස මාහිමිපාණන් වහන්සේ පිදුම් ලැබීම ද “පූජාච පූජනීයානං “අරුත් ගැන්වෙන සම්භාවනීය අවස්ථාවක් ලෙසින් දකිමි.

වන්දනීය සමනොළ ගිරිසිරස පිහිටි සබරගමුව අඩවියේ ජන්මලාභය ලැබ ළාබාල වියේදී ම සසුන්මගට පිළිපන් අප නා හිමිපාණන් වහන්සේ, උසස් අධ්‍යාපනයෙන් අත්පත් කර ගත් මහා දැනුම් සම්භාරය ශිෂ්‍ය පරම්පරාවන්ට දායාද කරමින් පිරූ ප්‍රඥා පාරමිතාව, අපමණක් දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරන්නට සමත් වූයේ ය. ධර්ම, ශාස්ත්‍රීය සහ සාහිත්‍ය කෘති ජනගත කරමින් දුහුණන්ගේ නුවණ වඩනු පිණිස කළ මෙහෙවර ද මාහිමිපාණන් වහන්සේගේ යශෝ කීර්තිය අනාගතය කරා රැගෙන යන්නට සමත්වනු ඇත.

පියවරෙන් පියවර, තනතුරෙන් තනතුර අත්‍රිකමණය කරමින් සිය වියත් ගුණවත්, ශීලෝපිත, ගුණෝපේත දිවිමග අර්ථ පූර්ණව ගත කරන අප මාහිමිපාණන් වහන්සේට අභිනව අනු නායක පදවිය පිරිනැමීම පිළිබඳව අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායට සමස්ත බෞද්ධ ජනතාවගේ විශේෂ ගෞරවය පිරිනැමෙනු නිසැක ය.

මාලඹේ, සුසිතපුර අශෝකාරාමාධිපති අතිපූජ්‍ය දිමියාවේ අමරවංස මාහිමිපාණන් වහන්සේ අභිනව අනුනායක ධුරයෙන් පිදුම් ලැබීම පිළිබඳව මාගේ ශුභාශිංසන නා හිමිපාණන් වහන්සේට පිරිනමන අතර, උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ද පතමි.


අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය

දකුණු සිරිලක වැලිතොට (බලපිටිය) මහකරාවේ ඤාණවිමලතිස්ස නාහිමිපාණන් වහන්සේගේ ආදිකර්තෘත්වයෙන් ක්‍රි.ව. 1803 දී අමරපුර භික්ෂු වංශය ආරම්භ විය.

ලක්දිව නා නා පළාත්වලින් ගම්නියම්ගම්වලින් ඇදී ආ සාධු ජනයා මහණ උපසම්පදාව ලදින් අමරපුර නිකාය විවිධ පළාත්වලට ද විහිදී පැතිරුණි. අවුරුදු පනහක් පමණ අඛණ්ඩව පවත්වාගෙන ආ අමරපුර නිකාය ක්‍රි.ව. 1848 දී බලපිටිය මෝදර උදකුක්ඛේප සීමාමාලකයේදී සිදු කරන ලද උපසම්පදා විනය කර්මයක දී හටගත් විනය ප්‍රශ්නයක් මත දෙකඩ විය. ලංකාගොඩ ශ්‍රී ධීරානන්ද තෙරුන් වහන්සේ ඇතුලු භික්ෂූ පිරිසක් සීමා සංකරයක් සිදු වුණා යැයි කරුණු ගෙන හැර දැක් වූ අතර, මහකරාවේ විමලසාර තෙරුන් වහ්සේ ඇතුළු භික්ෂු පිරිසක් සංකරයක් සිදු නොවුණා යැයි කරුණු ගෙනහැර දැක්වීම නිසා මෙය “සීමාසංකර වාදය” ලෙස ප්‍රචලිත විය. මෙම දෙපිරිසෙන් ලංකාගොඩ ධීරානන්ද තෙරුන් වහන්සේගේ මතය පිළිගත් රන්දොඹේ ධම්මාලංකාර තෙරුන් වහන්සේ ප්‍රධාන භික්ෂු පිරිස 1856 දී වැලිකන්දේ ශ්‍රී සුදර්ශනාරාමයට රැස්ව ලංකාගොඩ නා හිමියන්ගේ ආචාර්ය වු කපුගම ධම්මක්ඛන්ධ තෙරුන් වහන්සේට බුරුම රජු විසින් පිරිනමා තිබුණු ‘සද්ධම්මවංසපාල රාජාධිරාජගුරු’ යන ගෞරව නාමයේ “ ‘සද්ධම්මවංස’ කොටස ගෙන එයට ‘සිරි’ යන්න මුලින් යොදා ‘සිරි සද්ධම්මවංස’ නිකාය’ යන නාමය තබා’සුධර්මා’ නමින් දසනමකගෙන් යුත් කාරක සංඝ සභාවක් ද පිහිටුවා ක්‍රමානුකූලව කතිකාවත් ආදිය සකසා වෙනම නිකායක් ලෙස කටයුතු කළහ. අද ‘අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය’ යනුවෙන් හඳුන්වන්නේ මෙම භික්ෂු පිරිසයි. ඒ අනුව සිරි සද්ධම්මවංස මහා නිකායේ නියම ආරම්භක වර්ෂය ක්‍රි.ව. 1856 වර්ෂයයි.

1878 දී ස්වේජින් සයාතෝ නම් මහාධම්ම රාජාධිරාජගුරු ජාගර මහා තෙරුන් වහන්සේ බුරුමයේ සිට ලක්දිවට වැඩම කොට වැලිතර මහ කප්පින වලව්වේ දි අමරපුර නිකායික මෙම භික්ෂු දෙපිරිස සමගි සම්පන්න කිරීමට කටයුතු කළත්, එය සාර්ථක නොවුණු බව උන්වහන්සේම සිය ‘ලංකාසාසන විසුද්ධිකථා’ නම් පාලි ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ. මෙම සද්ධම්මවංසික භික්ෂු පිරිසට උපසම්පදා විනය කර්ම සිදුකිරීම සඳහා වැලිතර මහා කප්පින වලව්වේ කළුහත් සැම්සන් ද ආබ්‍රෙව් විජයගුණරත්න රාජපක්ෂ වාසලමුදලිතුමා සිය වලව්ව අසල මාදු නදියේ ක්‍රි.ව. 1878 දී සීමාමාලකයක් කරවා, දානමානාදී සියලු පහසුකම් ද සැලසුවේය. මෙම සීමාමාලකය ස්වේජින් සයාතෝ නම් ජාගර තෙරුන්ගේ මූලිකත්වයෙන් පිහිටුවූ නිසා එය ‘ස්වේජින් සීමාමාලකය’ නමින් හඳුන්වයි. ස්වේජින් යනු ජාගර තෙරුන් උපන් බුරුම දේශයේ ඇති ගමකි.

අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍ර නාමාවලිය

ලංකාගොඩ ශ්‍රී ධීරානන්ද මහානාහිමි, කරපුටුගල ධම්මදින්න මහානාහිමි, රන්දොඹේ ධම්මාලංකාර මහානාහිමි, අතිපූජ්‍ය කොස්ගොඩ සුමංගල මහානාහිමි, මාදම්පේ ධම්මතිලක මහානාහිමි, කරපුටුගල ධම්මරතන මහානාහිමි, බෝගහපිටියේ සීලක්ඛන්ද මහානාහිමි, වැලිතර සිරිසුදස්සන මහානාහිමි, තලල්ලේ ධම්මරක්ඛිත මහානාහිමි, දික්වැල්ලේ සංඝතිලක මහානාහිමි, පොහද්දරමුල්ලේ ඤාණානන්ද මහානාහිමි, මාපලානේ පඤ්ඤාලංකාර මහානාහිමි, මාදම්පිටියේ ජිනානන්ද මහානාහිමි , කොස්ගොඩ ධම්මවංස මහානාහිමි, තලල්ලේ ධම්මානන්ද මහානාහිමි, කොස්ගොඩ ජිනාලංකාර මහානාහිමි, බළන්ගොඩ සුධම්මවංස මහානාහිමි, අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානාහිමි (වර්තමාන මහනාහිමි)

නිකායේ කප්පියකාරක ප්‍රධාන දායකත්වය

1878 වර්ෂයේ සිට නිකායික සියලු කටයුතුවලදී දායකත්වය සපයමින්, විශේෂයෙන්ම වාර්ෂික උපසම්පදා විනය කර්මයේ දී සිව්දෙසින් වඩින මහා සංඝරත්නයට මෙන්ම සියලු ගිහි පින්වතුන්ට ද අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සැලසුයේ වැලිතර මහා කප්පින වලව්වේ රාජපක්ෂ මුදලි පරම්පරාවයි.

කළුහත් සැම්සන් රාජපක්ෂ වාසලමුදලිතුමා, කළුහත් ටියුඩර් රාජපක්ෂ වාසලමුදලිතුමා, කළුහත් හියුබට් රාජපක්ෂ මැතිතුමා, ටී.එල්.සී. රාජපක්ෂ මැතිතුමා, වයලට් රාජපක්ෂ මැතිණිය, ජයනාත් රාජපක්ෂ මැතිතුමා මෙම පරම්පරාවේ උරුමක්කරුවන් ලෙස දැනට යස්ටින් ෂෙරින් රාජපක්ෂ අබේසිංහ, ඇලෙක්සැන්ඩර් එඩ්මන් රාජපක්ෂ අබේසිංහ හා අධිනීතිඥ රුවනා රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සුජිවත්ව සිටිති.

වර්තමානය වන විට සිරි සද්ධම්මවංස මහා නිකායට ලක්දිව පුරා වෙහෙර විහාරස්ථාන 463 ක් පමණ සතුව තිබේ. භික්ෂූ සංඝයා වහන්සේ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් වැඩසිටිති. ‘සුධර්මා’ කාරක සංඝ සභාව සභිකයන් වහන්සේලා තිස් එක් නමකගෙන් සැදුම් ලත් අතර ප්‍රාදේශීය සංඝ සභා ද 12 ක් ක්‍රියාත්මක වේ.

 

දුරුතු පුර අටවක පෝය 


දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.44 ට ලබයි. 27 වන දා බදාදා පූර්ව භාග 2.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 26 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය දුරුතු පුර පසළොස්වක ජනවාරි 01 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]