Print this Article


බුදුපිළිමයේ උපත - 85: බුදුරදුන් ජීවමාන දවස අවසන් රහත් ශ්‍රාවකයාණන් වහන්සේ

බුදුපිළිමයේ උපත - 85:

බුදුරදුන් ජීවමාන දවස අවසන් රහත් ශ්‍රාවකයාණන් වහන්සේ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

සුභද්‍ර රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අභිමුඛයෙහි ශ්‍රාවකභාවය ලැබූ අන්තිම ශ්‍රාවකයා වූහ. මෙම කතාව ද මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වේ. එහි මෙසේ දැක්වේ.

මේ අවධියෙහි සුභද්‍ර නම් පරිබ්‍රාජකයෙක් කුසිනාරාවෙහි වාසය කරයි. අද රෑ අවසන් යාමයේ ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වන්නේයැයි ඔහුට අසන්නට ලැබිණ. එවිට ඔහුට මෙසේ සිතිණි, තථාගත අර්හත් සම්මා සම්බුදුවරුන් ලොව උපදින්නේ ඉතා කලාතුරකින්යැයි වැඩිහිටි,මහලු ආචාර්ය ප්‍රාචාර්ය පරිබ්‍රාජකවරුන් කියනු මා අසා තිබේ. අද රෑ අවසන් යාමයේ ම ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන්නේ ය. මට මෙබඳු සැකයක් ද ඇතිවී තිබේ. මගේ සැකය දුරලීම සඳහා ධර්මය දේශනා කිරීමට ශ්‍රමණ ගෞතමයාණෝ සමත්වෙත් යැයි උන්වහන්සේ කෙරෙහි මගේ පැහැදීමකුත් වේ.”


පිරිනිවන් මංචකය ගන්ධාර නිර්මාණයකි

ඉන් පසු සුභද්‍ර පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි වැඩසිටින මල්ලයන්ගේ උපවර්තන සල් උයනට ගොස් ආනන්ද හාමුදුරුවෝ හමු වූයේ ය. ආනන්ද හාමුදුරුවන්ට සුභද්‍ර පරිබ්‍රාජකයා මෙසේ පැවැසුවේ ය.

“ආනන්දයිනි, තථාගත අර්හත් සම්මා සම්බුදුවරුන් ලොව උපදින්නේ ඉතා කලාතුරකින් යැයි වැඩිහිටි, මහලු, ආචාර්ය ප්‍රාචාර්ය පරිබ්‍රාජකවරුන් කියනු මා අසා තිබේ.අද රෑ අවසන් යාමයේ ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන්නේ ය. මට මේ සැකයක් හට ගෙන ඇත. මගේ සැකය දුරලීම සඳහා ධර්මය දේශනා කිරීමට ශ්‍රමණ ගෞතමයෝ සමත් වෙතියැයි උන්වහන්සේ කෙරෙහි මගේ පැහැදීමක් වේ. ආනන්ද හිමියනි. ශ්‍රමණ ගෞතමයාණෝ බැහැදැකීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් යෙහෙකි.

මෙසේ කී කල ආනන්ද හාමුදුරුවෝ සුභද්‍ර පරිබ්‍රාජකයාට මෙසේ කීවෝ ය.”

“ඇති ඇවැත්නි සුභද්‍ර, තථාගතයාණන් වහන්සේ වෙහෙසන්නට එපා. උන්වහන්සේට ක්ලාන්ත ගතිය වගේ.

දෙවැනි, තුන්වැනිවරටත් සුභද්‍ර පරිබ්‍රාජකයා එම ඉල්ලීම කළ විට ආනන්ද හාමුදුරුවෝ එම පිළිතුරම දුන්හ.

සුභද්‍ර පරිබ්‍රාජකයා සමඟ ආනන්ද හාමුදුරුවන්ගේ මේ කථාබහ භාග්‍යවතුන් වහන්සේට ඇසිණි. එවිට භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් ඇමතු සේක. “ඇති ආනන්ද, සුභද්‍රයන් වළකාලන්න එපා. සුභද්‍රයන්ට තථාගතයාණන් බැහැදැකීමට ඉඩ දෙන්න. සුභද්‍ර යමක් මගෙන් අසන්නේ දැන ගැනීම පිණිස ම ය.මා වෙහෙසීමේ අදහසින් නොවේ .අසන යමක් වේ නම් මම ඔහුට පැහැදිලි කර දෙමි. ඔහු වහා එය වටහා ගන්නේ ය.

එවිට ආනන්ද හාමුදුරුවෝ සුභද්‍ර පරිබ්‍රාජකයාට මෙසේ කීවෝ ය. “ඇවැත්නි සුභද්‍ර, යන්න. භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීමට අවකාශයක් දෙන සේක.

ඉන් පසුව සුභද්‍ර පරිබ්‍රාජකයා ඉතා පී‍්‍රතියෙන් බුදුරජාණන් වහන්සේ හමුවී ඇසූ ප්‍රශ්නය ද ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ සුභද්‍ර පරිබ්‍රාජකයාට දුන් පිළිතුරුද මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේ ය.

භාග්‍යවත් ගෞතමයාණන් වහන්ස, පිරිස් සහිත ශ්‍රාවකයින් සිටින ගණාචාර්ය සුප්‍රසිද්ධ කීර්තිමත් බොහෝ ජනයා විසින් උසස් කොට පිළිගත් පූර්ණ කස්සප, මක්ඛලිගෝසාල, අජිත කේසකම්බල,පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨිපුත්ත , නිගණ්ඨනාථපුත්ත නම් තීර්ථකයෝ වෙති. ඔවුහු සියලු දෙනාම ඔවුන් කියා සිටින පරිදිම සත්‍යය අවබෝධ කළාහු ද, නැතහොත් සියලුම දෙනා සත්‍යය අවබෝධ නොකළාහු ද? එසේ නැතිනම් ඔවුන් ගෙන් සමහරු අවබෝධ කළාහු ද? සමහරු අවබෝධ නොකළහු ද?

මේ සඳහා බුදුරජාණන් වහන්සේ සුභද්‍ර පරිබ්‍රාජකයාට මෙසේ වදාළ සේක. ඇති සුභද්‍ර ඔවුන් කියා සිටින පරිදි ඔව්හු සියල්ලෝ සත්‍යය අවබෝධ කළාහු ද? නැද්ද? සමහරු අවබෝධ කළාහුද? සමහරු අවබෝධ නොකළාහුද? යන ප්‍රශ්නය පසෙක තිබියේවා, මම ඔබට ධර්මය කියා දෙන්නෙමි. එය අසන්න, මනාව සිතා බලන්න. මම කියන්නෙමි.”

“එසේය හිමියනි, යැයි සුභද්‍ර පරිබ්‍රාජකයා පිළිතුරු දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. යම් ධර්ම විනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්නට නොලැබේ ද? එහි පළමුවන ශ්‍රමණයකුත් දක්නට නැත.දෙවන ,තුන්වන, හතරවන ශ්‍රමණයකුත් දක්නට නැත.

“යම් ධර්ම විනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය දක්නට තිබේ ද? එහි පළමුවන ශ්‍රමණයකුත් දක්නට ඇත. දෙවන, තෙවන, හතරවන ශ්‍රමණයකුත් දක්නට ඇත. සුභද්‍ර, මෙම ධර්ම විනයෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය දක්නට ඇත. මෙහි පළමුව, දෙවන, තුන්වන, හතරවන ශ්‍රමණයා ද වේ. මේ සතර ශ්‍රමණයන්ගෙන් තොර අන් ඉගැන්වීම් හිස් ය. සුභද්‍ර, මේ භික්ෂූහු යහපත් ලෙස වසන්නාහු නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවනු ඇත.

මෙසේ වදාළ කල්හි සුභද්‍ර පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙලෙස කීවේ ය. ඉතා අගෙයි හිමියනි, ඉතා අගෙයි. හරියටම යටිකුරු කොට තිබූ යමක් උඩුකුරු කොට තැබුවා මෙනි. වැසුණු දෙයක් විවර කළා මෙනි. මං මුලා වූවෙකුට මග කියා දුන්නා මෙනි. ඇස් ඇත්තෙක් රූප දකීවා යි අඳුරු තැනකට තෙල් පහනක් දැල්ලුවා මෙනි. මෙලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරන්නට යෙදුනි. මම භාග්‍යවතුන් වහන්සේ ද, ධර්මය ද, සංඝයාද සරණ යමි. මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ලබමි.”

භාග්‍යවතුන් වහන්සේ සුභද්‍රට මෙසේ ද වදාළ සේක. කිසියම් අන්‍ය තීර්ථකයෙක් මේ ධර්ම විනය පැවිද්ද හා උපසම්පදාව අපේක්ෂා කරයි ද, ඔහු සතර මාසයක පරිවාස කාලයක් විසිය යුතු ය. සතර මසක් ගත වූ තැන සතුටු වූ සිත් ඇති භික්ෂූහු ඔහු පැවිදි කරති. භික්ෂුභාවය ලැබීම පිණිස උපසම්පදා කරති.

(මහා පරිනිබ්බාන සූත්‍රය – සිංහල පරිවර්තනය සනත් නානායක්කාර පි. 89-90 –(2015)

මේ ධර්ම විනයෙහි පැවිද්ද හා උපසම්පදාව අපේක්ෂාවෙන් පෙර අන්‍ය තීර්ථකයෝ සතර මාසයක පරිවාස කාලයක් වසන්නේ නම්, සතර මාසයක් ගතවූ තැන සතුටු සිත් ඇති භික්ෂූහු ඔහු පැවිදි කරන්නෝ නම් භික්ෂූ භාවය පිණිස උපසම්පදා කරන්නෝ නම් මම සතර වසරක් පරිවාසය සිටිමි. සතර වසරක් අවසන් වූ පසු සතුටු සිත් ඇති භික්ෂූහු මා පැවිදි කරත්වා, උපසම්පදා කරත්වා සුභද්‍ර පරිබ්‍රාජකයා පැවසී ය.

සුභද්‍ර පරිබ්‍රාජකයාගේ ඉහත සඳහන් ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ බුදු සසුනේ ශ්‍රමණභාවය ලැබීමට ඔහුගේ කැමැත්ත භාග්‍යවතුන් වහන්සේ හමුවේ ප්‍රකාශ කර සිටීම ය. ඉන්පසුව බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා මෙසේ වදාළ සේක.

“ආනන්ද එසේනම් සුභද්‍ර පැවිදි කරන්න. ආනන්ද හිමියෝ ඒ සඳහා ක්‍රියාත්මක වූහ. ඒ අවස්ථාවේ දී සුභද්‍ර පරිබ්‍රාජකයා ආනන්ද හාමුදුරුවන්ට මෙසේ ප්‍රකාශ කළේ ය.

“ඇවැත්නි, ආනන්ද ශාස්තෘවරයාණන් හමුවේ අන්තේවාසික අභිශේකයෙන් අභිශේක ලැබීම ඔබ වහන්සේලා ලැබූ මහත් ලාභයකි. විශිෂ්ට ලැබීමකි.

“බුද්ධ නියමය පරිදි ඔහු පැවිදි උපසම්පදාව ලැබී ය. නොබෝ වේලාවකින් ම රහත් බව සාක්ෂාත් කළේ ය. සුභද්‍ර තෙරණුවෝ තථාගතයන් වහන්සේගේ අන්තිම රහත් ශ්‍රාවකයාණෝ වෙති.

බුදුන් වදාළ බුද්ධ චරිතය – මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් සහ කීර්ති නාරම්පනාව පි. 232 (1999)

මෙසේ බුදු සසුනේ අවසන් රහතන් වහන්සේ ලෙසින් සුභද්‍ර රහතන් වහන්සේ පිළිබඳ මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වේ.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 84:  කුසිනාරාවේ අතීතය සහ මල්ල රජදරුවන් මහා සංවේගයට පත්වීම