UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භේද නොමැති සමානාත්මතාවය

භේද නොමැති සමානාත්මතාවය

"බුදුරජාණන් වහන්සේ අන්‍ය ආගමිකයන් සමඟ, දාර්ශනිකයන් සමඟ වාද කොට මත ඛණ්ඩනය කළහ. එහෙත් ඔවුන් සමඟ සතුරු නොවූහ. මිත්‍රශීලී වූහ. පෞද්ගලික ව වෛරයක් තරහක් නොවීය. උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තවත් ආගමික කණ්ඩායමකට විරුද්ධව මෙහෙය වූයේ නැත."

‘නා නා භවො - විනා භාවෝ’ මිනිසුන්ගේ නා නා ප්‍රකාර ආකාරය ලෝක ස්වභාවය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ වෙනසට හේතුව කර්මයයි. සත්ත්වයා බෙදෙන්නේ කර්මය මුල් කරගෙනය. එය ලෝක සත්‍යයකි. එය නොපිළිගත්තේ කොතැන ද එතැන ඇති වන්නේ ව්‍යසනයයි.

ඒකාධිපති ආඥාදායකයෙක් වූ හිට්ලර්ට ඕනෑ වුණේ ආර්ය ජාතියක් බිහි කරන්නටය. ජර්මානුවන් විශිෂ්ට ජන වර්ගයක් කරන්නටය. ඒ උදෙසා ගත් දැඩි ප්‍රතිපත්තිය මිලියන පහකටත් වැඩි ජනතාව මරා දමන්නට හේතු විය.

කාම්බෝජයේ පොල්පොට් නායකයා සූදානම් වූයේ නිර්ධන පන්ති ආඥාදායකත්වයක් යටතේ රට ගොඩ නඟන්නට ය. නිර්ධන පන්තිය පමණක් ජීවත්විය යුතුය යන අදහස ඔහු තුළ විය. ඔහුගෙන ගිය ක්‍රියාකලාපය නිසා ඒ මතවාදයට විරුද්ධ වූ, නොගැළපෙන්නා වූ පිරිස් අඩුම වශයෙන් මිලියන දෙකක්වත් මරණයට පත් වුණි.

එක් යුගයක චීනයේ, රුසියාවේ වේවා බොහෝ විනාශකාරී දේ සිදුවූයේ සමාජවාදය නිර්මාණය කරන්නට යෑම නිසා ය. යුද්ධයට, ගැටුමට මූලිකම හේතුව අන්‍ය මතවාද නොපිළිගැනීමය. උපේක්ෂාවෙන් තොර වීමය. මේ තත්ත්වය සමනය කරන්නට නම් සමානාත්මතාව ඇවැසිය. සාමානාත්මතාවය අවශ්‍ය වන්නේ අසමානතාව කියන අසාධාරණයට පත්ව සිටින පිරිසටය. විනාශකාරී දේ සිදු වන්නේ අසමානව බව කෘත්‍රිමව හදන්නට ගිය තැනය.

එදා බුද්ධ කාලීන භාරතීය සමාජයේ කුල භේදය, වර්ණ භේදය නිර්මාණය වුණේ අසමානතා කෘත්‍රිමව මවන්නට කළ උත්සාහය නිසා ය. සමාජයේ යම් පිරිසක් බලවත් කොට දක්වමින් තමන්ගේ සුඛ විහරණය පමණක් ගැන සිතා තවත් කණ්ඩායමක් ඉතා පහළ පන්තියකට ඇද දැමීම නිසා ය. අසමානතා මවා පෙන්වීමට උත්සාහ කළ ද සියලු මනුෂ්‍යයාගේ අයිතිවාසිකම් සමාන ය. සියලු සත්ත්වයන්ගේ අයිතිවාසිකම් සමාන ය. ඒ ජීවත්වීමට ඇති සමාන අයිතියයි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප්‍රඥප්තිය යටතේ ද පිළිගනු ලැබූවකි. භීෂණයෙන් තොරව ජීවත් වන්නට, සිය ජීවනෝපායයන් නිදහසේ පවත්වාගෙන යන්නට, සේම සිතීමේ හා තමන් කැමැති ආගමක් ඇදහීමේ නිදහස ද මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස එහි පිළිගෙන ඇත. සමාජ අර්බුද ඇති වන්නේ සමහර ජන කණ්ඩායම් මේ තත්ත්වය පිළි නොගැනීම නිසා ය.

බුද්ධ ධර්මය අනුව රාජ්‍ය පාලනය සකස් කරගත් ධර්මාශෝක රජතුමා සෙල්ලිපිවල ‘සවෙ මානුසා පජා මම’ සියලු මනුෂ්‍යයෝ මාගේ දරුවෝයැයි සඳහන් කර ඇත. ධර්මාශෝක රජතුමා සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් එවන් කාරුණික හදවතක් ඇති කර ගත්තේ සම්බුදු දහමෙන් ලද පෝෂණයෙනි.

“සුඛිනො වා ඛෙම්නො හොන්තු
සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා”

සියලු සත්ත්වයෝ සුව ඇත්තෝ වෙත්වා. භය නැත්තෝ වෙත්වා. සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත්වා. යනුවෙන් සම්බුදු දහමෙහි සියලු සතුන්ටම මෙත් සිත පැතිරේ. ලෝක ඉතිහාසයේ මුල්ම වරට මිනිසුන්ගේ පමණක් නොව සතුන්ගේ අයිතිවාසිකම් පවා ඉහළට හුවා දැක්වූයේ බුදු දහමයි. එදා ඇතැම් ආගමික ඉගැන්වීම් අනුව මවට, ස්ත්‍රියට හිමි වූ දුක්ඛදායක තත්ත්වය, අසාධාරණය පිටු දකිමින් බුදුරජාණන් වහන්සේ කාන්තාවට මිනිස් ආත්ම භවය තුළ, ලැබිය හැකි සමාන අයිතිය, ලබා දුන්හ. පුරුෂයා හා සමානව ස්ත්‍රියද නඟා සිටුවමින් පීතෘ මූලික, පුරුෂ මූලික සමාජයේ කාන්තාවන්ට අත් විඳින්නට වූ අසාධාරණ දුක් ගැහැට කම්කටොළු ඉවත් කරමින් සෑම ක්ෂේත්‍රයකම කාන්තාවන්ට සම අයිතිවාසිකම් දෙන්නට මඟ පෙන්වූහ. “ඉත්ථිති පණ්ඩිතා හොන්ති තත්ථ තත්ථ විචක්ඛණා” ඒ ඒ විෂයයන් සම්බන්ධයෙන් පුරුෂයන් හා සමාන ලෙසම කාන්තාවෝ ද දක්ෂ වන්නාහු යැයි උන්වහන්සේ පෙන්වා දුන්හ.

සියලු සත්ත්වයෝ වේදනාවට, මරණයට, දඬුවමට බිය වෙති. ඊට හේතුව සංවේදී බවයි. එහෙත් ඇතැම් බ්‍රාහ්මණ ඇදහීම්වල කියවුණේ සතුන් සංවේදී නොවන බව ය. ඒ යටතේ එදා සමාජයේ සතුන්ට බරපතළ අසාධාරණයක් සිදු විය. බුදු දහම අවධාරණය කළේ සියලු සතුන්ට සමානව සැලකිය යුතු බවය.

එදා මිහින්තලාවේදී මිහිඳු මා හිමියන් විසින් දේවානම් පියතිස්ස රජු අමතා දුන් උපදේශය ඉතා වැදගත් ය. “ මහරජ, මේ භූමිය, මේ අවකාශය සියලු දෙනාට අයිති ය. අහසේ පියාසරණ පක්ෂීන්ට, පොළොවේ බඩගා යන සතුන්ට, මහ වනයේ ජීවත්වන සතුන්ට, මනුෂ්‍යයින්ට ද අයිති ය. ඔබ මේ භූමියේ අයිතිකරුවා නොවේ. භාරකරුවා පමණි. ඔබ විසින් කළ යුත්තේ සියලු දෙනාගේ පැවැත්ම තහවුරු කරලීමයි. ආරක්ෂාව සැලසීමයි.”

මේ අනුව සමානාත්මතාව සියලු සතුන්ටත් ලබාදුන් බෞද්ධ ඉගැන්වීම් මගින් පොහොසත්වුණු පාලකයෝ මාඝාත නීතිය පැනවූහ. ඒ සතුන් නොමරනු කියන නීතියයි. බුදු දහමේ සමානාත්මතාව ගහකොළවලටද හිමි වුණි.

‘වනං වින්දථ මාරුක්ඛං’ වනාන්තරය කපා දමන්න. නමුත් ගස් නොකපන්න යන ආදර්ශය ලැබුණි. මෙහි වනාන්තරය නම් මිනිසුන්ගේ හදවතෙහි ඇති ඇඳුරු කැලෑවයි. රාග, ද්වේෂ, මෝහ යන ඝන කැලෑවයි. මේ කෙලෙස් වනාන්තරයයි.ඒවා මුලින් උපුටා දැමිය යුතු ය. එහෙත් ගස් වැල් අවිහිංසක ය. ඒ වා නොකැපිය යුතු ය. බුද්ධ චරිත ය ඒ බව මනාව ප්‍රදර්ශනය කළහ.

එදා සමාජයේ ඇතැම් ආගමිකයන් තුළ කරුණාව, මෛත්‍රිය වූයේ නැත. බුදුරජාණන් වහන්සේ අන්‍ය ආගමිකයන් සමඟ, දාර්ශනිකයන් සමඟ වාද කොට මත ඛණ්ඩනය කළහ. එහෙත් ඔවුන් සමඟ සතුරු නොවූහ. මිත්‍රශීලී වූහ. පෞද්ගලික ව වෛරයක් තරහක් නොවීය. උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තවත් ආගමික කණ්ඩායමකට විරුද්ධව මෙහෙය වූයේ නැත. උන්වහන්සේ අන්‍ය තීර්ථක, පරිබ්‍රාජක ආරාමවලට වැඩියහ. සතුටු සාමිචියෙහි යෙදුණහ. අන්‍ය ආගමිකයෝ ද උන්වහන්සේ හමුවට ආහ. සිඟාලක ගෘහපතියාට උන්වහන්සේ දේශනා කළේ බෞද්ධ, අබෞද්ධ හැම පූජකවරයකුටම ගරු කරන ලෙස ය.

යෝ බ්‍රාහ්මණං වා සමණං වා
අඤ්ඤා වාපි වණිබ්බකං
මුසාවාදෙන වඤෙචති
තං පරාභවතො මුඛං

යනුවෙන් පරාභව සූත්‍රයේ දී සියලු ආගමික පූජකයන්ට ගරු කරන ලෙසත්, ඒ අයට වංචා නොකරන ලෙසත්, මුසාවාදයෙන් නොරවටන ලෙසත් පෙන්වා දුන්හ.

උපාලි ගෘහපති නිගණ්ඨනාථපුත්තගේ උගත් දක්ෂ දායකයෙකි. දානපතියෙකි. වාදයෙහි දක්ෂයෙකි. ඔහු බුදුරදුන් හමුවට ආවේ උන්වහන්සේ වාදයෙන් පැරැද වීමටය. එහෙත් අවසානයේ එය ධර්ම සාකච්ඡාවක් බවට පත්වුණි. උපාලි ගෘහපති සත්‍ය තේරුම් ගත්තේ ය.

“බුදු හිමියනි, මා ආවේ ඔබ වහන්සේ හා වාද කොට පරදවන්නටය. මා කළේ අනුවණකමකි. ඔබ වහන්සේ පැහැදිලි සත්‍ය දේශනා කරති. අද පටන් මම ඔබගේ දායකයෙක්, ශ්‍රාවකයෙක් වෙමි.”

ඔහු බුදුහිමියන්ට කීවේ ය.

“මා හෙවං ගහපති පුත්ත” ගෘහපතිය එලෙස කලබල නොවන්න. හදිසි තීරණ නොගන්න. ඔබ වැනි අය හදිසි තීරණ ගැනීම සුදුසු නොවේ. ඔබගේ ශාස්තෘවරයා වෙත යන්න.”

බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපති වැළකූහ.

“නෑ නෑ බුදු හිමියනි. මම පූර්ණ අවබෝධයක් ලැබුවෙමි. මා පිළිගනු මැනවියි.’ ගෘහපති නැවත ඉල්ලා සිටියේ ය. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඔහුට දේශනා කළේ අත්‍යවශ්‍යම නම් කොන්දේසි සමඟ තමන් වහන්සේගේ ශ්‍රාවකයෙක් දායකයෙක් වන ලෙස ය. ඒ මින් ඉදිරියට ද පෙර ශාස්තෘවරයා වූ නිගණ්ඨනාථ පුත්ථයන්ට ගරු කරන ලෙස ය. සත්කාර කිසිවක් අඩු නොකරන ලෙස ය. උපාලි ගෘහපති තව දුරටත් බුදුරදුන් කෙරෙහි පැහැදුණි. මේ බුදුදහමේ සමානාත්මතාවයට හොඳම නිදර්ශනයකි.

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය නොවැම්බර් 17 වන දා සිකුරාදා අපර භාග 03.29 ට ලබයි. 18 වන දා සෙනසුරාදා අපර භාග 05.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 17

 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 26 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]