UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

ඉල් පුර පසළොස්වක 2017.11.03

සුසිරිතය ම අගනේ ය

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වූ වස්සාන සමයේ කඨින පින්කම් පූජෝත්සව කාලය අදින් අවසන් වේ. ගෙවුණු සිව් මාසය පුරා ගමේ විහාරස්ථානය ඇසුරු කරමින්, බොහෝ පින් දහම් කොට කුසල් රැස් කරගන්නට, අධ්‍යාත්මික සුවය, සැනසුම ලබා ගන්නට වෙසෙස් අවස්ථාවක් ලැබුණි. පින්කම්වලට සහභාගිවීමෙන්, බණ භාවනා කිරීමෙන් ලද අධ්‍යාත්මික සංවර්ධනය තව දුරටත් වර්ධනය කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය ය. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ මනසින් උසස් ම සත්ත්වයා මිනිසා වන බව ය. ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී වූ ඉන්ද්‍රියයන්ගෙන් සිදු කරන ඕනෑම කාර්යයක් මෙහෙයවීමේ ශක්තිය උසස් මනසක් ලද මිනිසාට ඇත. වෙසෙසින් තෙරුවන් සරණ ගිය බෞද්ධයා සිය හැසිරීම් හසුරුවා ගත යුතු වන්නේ ධර්මානුකූලව බුද්ධිය හා ප්‍රඥාව මෙහෙයවීමෙනි. සීලවන්තයකු, ගුණවන්තයකු ලෙසිනි.

එක් බමුණෙකුට දුවරු සතර දෙනෙක් විය. ඔවුන් විවාහ කරගන්නට තරුණයන් සතර දෙනෙක් ද විය. එක් අයෙක් කඩවසම් ය. තවත් තරුණයෙක් වැඩිහිටි ය. තවත් අයෙක් වංශවත් ය. අනෙක් තරුණයා සිල්වත් ය. මේ අතරින් තම දූවරු දිය යුතු හොඳම කෙනා කවුදැයි බමුණා බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවේ ය. උන්වහන්සේ දේශනා කොට වදාළේ රූමත්කම යහපත් බව ය. වංශවත් බව ද වරදක් නොවන බව ය. එහෙත් සියල්ලන්ට වඩා වැදගත් වන්නේ සිල්වත්කම වන බව ය.

සිල්වත්කම ජීවිතයට ඒ සා වැදගත් ය. පුද්ගලිකව තමන්ට ද පොදුවේ සමාජයට ද වැඩදායී වන්නේ එවැනි චරිත ය. ධර්ම මාර්ගයේ ගමන් කරන්නා සිල්වතෙකි. ඔහුගෙන් අනුන්ට කරදරයක් නැත. සමාජයක සිල්වත් බව එහි ජීවත්වන්නන්ගේ චර්යාවන්ගෙන් ස්ථුට වේ. එහෙත් අප ජීවත්වන පරිසරයේ ඇතැම් තැනක සිදුවන ඇතැම් දේ පාලනය කරගත් සිතින්, කයින්, වචනයෙන් සිදු නොවන ඒවා බව අසන්නටත් පෙනෙන්නටත් තිබේ. ලෝභය, ද්වේෂය, මෝහය මුල්කරගත් සිතිවිලි නිසා ඇතැම් අය ජීවිතය ම පටලවාගෙන ය. සමහර දරුවෝ මවුපියන් නොසලකති. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව් බඹ විහරණ ගුණ තබා ඇතැම් මවුපියෝ දරුවන් වෙනුවෙන් විය යුතු වගකීම්වලින් පවා බැහැර වෙති. කලාතුරකින් වුව ඒ අපේක්ෂා නොකළ යුතු දේ ය. තැනෙක සහෝදර සහෝදරියන් අතර අඬ දබර ය. අසල්වාසීන් අතර ප්‍රශ්න ය. සේවය කරන ආයතනයේ ගැටුම් ය. තවත් තැනෙක ආත්මාර්ථකාමී සිතිවිලි ඇත්තෝ ය. මේ සියලු ගැටීම්, ඇලීම් ඇති වන්නේ සිහි බුද්ධියෙන් කටයුතු කරන්නට ඉවසීමක් නොවන නිසා ය. ජීවිතයේ යථාර්ථය ධර්මයෙන් දකින්නට අවබෝධයක් නොවන නිසා ය. නිරන්තරයෙන් බණ දහම් ශ්‍රවණය කළ යුතු වන්නේ, ආගමික වැඩසටහන්වලට යොමුවිය යුතු වන්නේ ඒ ඉවසීම වර්ධනය කරගනිමින් ධර්මාවබෝධයෙන් අධ්‍යාත්මික සංවර්ධනය ඇති කර ගැනීමට ය.

වරදක් කළේ නම්, අයහපතක් කළේ නම් එහි විපාකවලින් මඟ හරින්නට කිසිවෙකුට නොහැකි ය.

පෙර බරණැස් නුවර දිනක් මහා කලබලයක් ඇති වුණි. නුවර දොරකඩ දත් විළිස්සාගත් බිහිසුණු සුනඛයෙක් මම මේ මුළු නුවරම වනසමි’යි මොර දුන්නේ ය. නුවර වැසියෝ භීතියට පත්වූහ. රජු වාහල්කඩ දොරගුළුලන්නට අණ කළේ ය. රාජ පුරුෂයෝ වහා දොරගුලු දැමුව ද සුනඛයා මහා පවුරු පැන නුවර තුළට වන්නේ ය. මේ සුනඛයා කුමක් නිසා මොර දෙන්නේද? යි බිහිසුණු සුනඛයාගේ යදම් අල්ලාගත් වැද්දාගෙන් රජු ඇසවේ ය.

“රජතුමනි, කුසගිනි නිසා මොර දෙන්නේ ය.” වැද්දා කීවේ ය. රජු මාලිගයෙහි පිසූ සියලු ආහාර ගෙන්වා සුනඛයාට කන්නට දුන්නේ ය. ආහාර ගත් විගස නැවත මොර දෙන්නට විය. දැන් මූ කුමක් නිසා මොර දෙන්නේ ද? රජ විමතියෙන් ඇසුවේ ය. රජතුමනි, මේ සුනඛයාට බත් දීමෙන් ඵලක් නැත. ඉල්ලන්නේ මිනිස් මාංශ ය. වැද්දා කීය. ‘කවර මිනිසුන්ගේ මාංශ ද?’ රජු පුදුමයෙන් ඇසී ය.

‘මම වෛර කරන මිනිසුන්ගේ මාංශය.’ වැද්දා ද කීවේ ය. “ඔවුන් කවුරුද? වහා කියව. රජු අණ කළේ ය.

මවුපියන්ට නොසලකන, පරිභව කරන දරුවන්ට මම වෛර කරමි. යම් කෙනෙක් පර ස්ත්‍රීන් කරා යයි ද, පර පුරුෂයන් කරා යයි ද ඔවුන්ට වෛර කරමි. පස්පව් කරන, දස අකුසල් කරන්නෝ කවුරුද, ඔවුන්ට වෛර කරමි. සියලු පාපීන්ට වෛර කරමි. උන්හැම මේ සුනඛයාට කන්නට දෙමියි’ යි වැද්දා කීවේ ය. සැණින් සුනඛයා මිනිසුන් වෙත උසි ගැන්වූයේ ය. ඔවුහු හිස් ලූ අත දිවූහ. පව් කරන්නන්ට දඬුවමින් මිදිය නොහැකි බවට බවට ජාතක කතා පොතේ එන මේ පුවත ම සාක්ෂි දෙයි.

මෙවැනි චරිත අපේ සමාජයේ ද ඇතැම් තැනෙක නුහුරු නුපුරුදු නොවේ. එහෙත් දුසිරිත් කරන්නෝ දුසිරිතෙන් ම නැසෙති. මේ නිසා වැඩු ගුණ ධර්ම තව තවත් වර්ධනය කරමින් ශීලවන්ත, ගුණවන්ත පුද්ගලයකු වීමට උත්සාහ කොට මෙලොව පරලොව දෙලොව ම යහපත සලසා ගත යුතු ය.

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 03 වනදා සිකුරාදා ය.

 
මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]