UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිහීමේ දොරටු හා සහජීවනය

පිරිහීමේ දොරටු හා සහජීවනය

" අනවශ්‍ය ඒකරාශීවීම පුද්ගලයා ප්‍රචණ්ඩත්වයට ඇදදමයි. කල්ලි කණ්ඩායම් නිර්මාණය වන්නේ මේ තුළිනි. කෙනෙකුගේ සුදුසු වේලාව තවකෙනෙකුට නුසුදුසු ය. එය තේරුම් ගැනීමට නොහැකිවීම සමාජ ප්‍රශ්න රාශියකට හේතු වේ. අවශ්‍යතාවය හඳුනාගෙන සම්පත් භාවිත කිරීමට හිත හදාගැනීම අවශ්‍ය වේ. එසේ නොමැතිවිට ප්‍රශ්න මතුවේ. විවිධ සංස්කෘතීන් හඳුනාගෙන තම ගමන තීරණය කරගත යුතු ය. සමාජය සමඟ මුහුවියයුතු සේ ම එය පරිස්සම් සහගතව කළ යුතු වේ. "

සමාජය මෙන්ම පුද්ගලයා, පිරිහීමට පත්වන කාරණා හයක් සිඟාලෝවාද සූත්‍රයේ දී දේශනා කර ඇත. බොහෝ ප්‍රශ්න ගැටුම් ඇතිවීමට බලපාන හේතු අතර පිරිහීමේ දොරටු හෙවත් අපායමුඛ ප්‍රධාන වේ. එම පිරිහීමේ කාරණා මෙසේ ය. සුරාපානය, අවේලාවේ සංචාරය, සමාජශාලා රංගනය, සූදුව, පාප මිත්‍ර සේවනය හා අලසකම ය.

නරක දේ සැලසුම් කිරීම

සමාජය විරසකවීම සහ අනවශ්‍ය ගැටුම් ඇතිවීමට බලපාන ප්‍රධාන කාරණය මත්වතුර පානයයි. ආර්ථික පිරිහීම සහ සමාජ මෙන්ම සෞඛ්‍ය පිරිහීම මේ තුළ නිර්මාණය වේ. පුද්ගලයා මත්පැනට ඇබ්බැහිවීම නිසා ආගම, සංස්කෘතිය විනාශයට පත් වේ. මිනිසුන් නොමිනිසුන් වේ. පවුල් තුළ අඹුසැමි ගැටුම් නිර්මාණය වන අතර දුවා දරුවන්ගේ අනාගතය අඳුරු වේ. තව ද මිනී මැරුම්, ස්ත්‍රී දූෂකයන් ඇති වේ. රටක් ලෙස ගත්විට මෙය ඉතා සෝචනීය වේ.

අනවශ්‍ය රංචු ගැසීම්, එකතුවීම් තුළ සමාජ සාමය බිඳී යයි. මිනිසාගේ ඥානය, චින්තනය මොට කර සත්ව චර්යාවන්ට පෙළඹවීමට මත්පැන් පානය ඉවහල් වේ. මත්වූ පසු ඇතිවන පුංචි පුංචි නොගැළපීම් මහා ගැටුම් බවට පත්කර ගනී. ඕනෑම යහපත් මිනිසෙකු මත්පැන් නිසා තිරිසනෙක් බවට පත්කරයි. මේ තුළ ආයතනය, රට, ජනතාව අතර මහත් ගැටුම් ඇතිවේ. ඥානයෙන් අඩු ඇතැමුන් ඕනෑම නරක දෙයකට නම්මවා ගැනීමට මත්පැනට අපූරු හැකියාවක් ඇත. ඇතැමුන්ගේ මිත්‍රත්වයන් පවා රැඳී පවතින්නේ මත් වතුර නිසාවෙනි. ඇතැම් නරක දෑ සැලසුම් කරනුයේ මත්වතුර ළඟ තබා ගනිමිනි. සුරාවට ඇබ්බැහිවීම, වසල ක්‍රියාවක් මෙන් ම පිරිහීමට හේතුවකි. ශික්ෂාපද අතර ආදීනව සඳහන් ශික්ෂාපදය පස්වන සිල් පදයයි. එනම් මත්වතුර නිසාවෙන් මත්වීම සහ ප්‍රමාදය ඇතිවන බවයි.

ජාතීන් අතර ආගම් අතර ඇතිවන ඇතැම් ක්‍රියාකාරකම් සඳහා ඇතැම්විට ඉස්සර වන්නේ මත්වතුර බෝතලයයි. ඇතැමුන්ගේ ඇතැම් අතීත භාවිතයන් තුළින් එය මනාව පැහැදිලිය. සිංහලේ අවසන් රජු නොමනා ක්‍රියාවන්ට පෙළඹී නොගතයුතු තීරණ පවා ගනු ලැබුයේ විදේශික මත්පැනට ලොල්වීම නිසාවෙනි. තවද යසලාලකතිස්ස රජු සුභ නම් දොරටු පාලකයා රජ කරවා තමන්ට සිහසුන අහිමි කරගනු ලැබුයේ මෙම නරක පුරුද්ද නිසාවෙනි.

ඇතැම් බෞද්ධයන් සිංහල අවුරුද්දට දින කිහිපයකට පෙර මත්පැන් නිවසට ගෙනවිත් තනියම හෝ පිරිස් වශයෙන් පානයට පෙළඹේ. මෙය දකින දරුවන් කල්පනා කරනුයේ සිංහල අවුරුද්ද යනු අපේ තාත්තාගෙ බොන දවස බවයි. එම දරුවන් වැඩිහිටියන් වූ පසු ඔවුන් විසින්ද ඒ ක්‍රියාවම සිදුකරනු ලබයි. මේ තුළ නැසෙනුයේ ආගම පමණක් නොව සමස්ත ජාතියයි. මෙවැනි නරක පුරුදු නිසා දුබල වූ පසු අනෙකාගේ දියුණුව දැක ඔවුන් අන්‍ය ජාතිකයෝ යැයි පවසා ගැටුම් නිර්මාණය කර ගනී. එය තමන්ගේ ම දුර්වලකම් නිසා සිදු වූ බව පිළිනොගනී. සෑම ප්‍රශ්නයක දී ම බෝතලය විසඳුම බව පිළිගන්තාක් සිදුවනුයේ අලාභයකි. ඒ නිසා නැතිවන්නේ සමඟිය සහජීවනයයි.

සුදුසු වෙලාව සහ නුසුදුසු වෙලාව

නුසුදුසු වේලාවන් හි ගමන් බිමන් යාම බුද්ධිගෝචර නොවේ. අවේලාවේ වීථි සංචාරය ගැටුම් ඇතිවීමට මූලයයි. අනවශ්‍ය ඒකරාශීවීම පුද්ගලයා ප්‍රචණ්ඩත්වයට ඇදදමයි. කල්ලි කණ්ඩායම් නිර්මාණය වන්නේ මේ තුළිනි. කෙනෙකුගේ සුදුසු වේලාව තවකෙනෙකුට නුසුදුසු ය. එය තේරුම් ගැනීමට නොහැකිවීම සමාජ ප්‍රශ්න රාශියකට හේතු වේ. අවශ්‍යතාවය හඳුනාගෙන සම්පත් භාවිත කිරීමට හිත හදාගැනීම අවශ්‍ය වේ. එසේ නොමැතිවිට ප්‍රශ්න මතුවේ. විවිධ සංස්කෘතීන් හඳුනාගෙන තම ගමන තීරණය කරගත යුතු ය. සමාජය සමඟ මුහුවියයුතු සේ ම එය පරිස්සම් සහගතව කළ යුතු වේ.

සමාජශාලා, රංගනයන් නිසා පුද්ගලයන් අතර බොහෝ ගැටුම් නිර්මාණය වේ. ඒ තුළ බොහෝ පිරිස් මේ ගැටුම්වලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වේ. පෞද්ගලික කාරණයක් නිසා හටගත් ඇතැම් ප්‍රශ්න කණ්ඩායම්, ප්‍රශ්න බවට පත්වේ. එය සුබ තත්ත්වයක් නොවේ. ඇතැමුන් පටු අරමුණු නිසා එවැනි ප්‍රශ්න ජාතික ආගමික ප්‍රශ්න බවට ද පෙරළාගනී.

බලාපොරොත්තු කඩවීම

සූදුව මහත් සමාජ ප්‍රශ්නයකි. මහත් බලාපොරොත්තු ඇතිව එදිනෙදා ණයවෙමින් මුදල් යෙදවීම මෙහි ස්වභාවයයි. මේ තුළ පවුල් ගැටුම්, අගහිඟකම් වැනි මූලික ප්‍රශ්න ඇතිවේ. පිරිසක් ජයග්‍රහණය කරන විට තව පිරිසක් පරාජය වේ. පරදින පිරිමි ජයග්‍රාහකයන් සමඟ වෛර ක්‍රෝධ ඇතිකර ගනී. එවිට නිර්මාණය වන්නේ අසහනය, ඉච්ඡාභංගත්වයයි. රටක් ජාතියක් ලෙස මෙය යහපත් නොවේ. ඇතැම්විට රටකට අභිමානය පිළිබඳවද සූදුව ක්‍රියාත්මක වේ. එය ඉතා ම අශෝභන තත්ත්වයකි.

අලසකම හෙවත් කම්මැලිකම දියුණුවට බාධාවකි. ජාතියක් ආගමක් ලෙස ගත්කල ද අලසබව බැහැර කළ යුතු වේ. භෞතික දියුණුව මෙන් ම ආධ්‍යාත්මික දියුණුව සකසාගැනීමට යාමේ දී අලස බවින් ඉවත්වීම අවශ්‍යවේ. අලස ව කටයුතු කොට දියුණුවට පත්වීමට නොහැකි වූ විට වීර්යවන්ත පුද්ගලයන් සමඟ ගැටීම් නිර්මාණයකර ගැනීම සාමාන්‍යය. ඒ තුළ අනවශ්‍ය ප්‍රශ්න මතුවී සමඟිය සහජීවනය තුරන්වී යා හැකි ය.

හුදකලාවීම

පාප මිත්‍ර සේවනය දෙලොව පරිහානිය ඇතිකරන ප්‍රධානතම සාධකයයි. බොහෝ ගැටුම් සමාජ ප්‍රශ්නයන්ට හේතුව මෙම අයහපත් මිතුරු ඇසුරයි. හොඳ දේ මෙන් ම නරක දෑ ද පාප මිත්‍රයන් විසින් අනුමත කරනු ලබයි. බොහෝ ආයතනයන්හි ගැටුම් ප්‍රශ්න ඇතිවීමට මූලය මෙම නරක ආශ්‍රයයි. මිනිසාට තනිව හුදකලාව කටයුතු කළ නොහැකි අතර පිරිස් බලයක් අවශ්‍යය. එසේමුත් සසර අපාගතවන නරක මිනිසුන් සමීපකර ගත යුතු නොවේ. එදිනෙදා තමන්ගෙ යහපත වෙනුවෙන් නොකළ යුතු බොහෝ දෑ මොවුන් සිදු කරයි. එය රටක් ජාතියක් වශයෙන් ගත්කල ද වැදගත් තත්ත්වයක් නොවේ. ඇසුරට සුදුසු අය නැත්නම් නුසුදුසු අය ඇසුරට නොගෙන හුදකලාව සිටීම ඉතා වැදගත් ය.

මෙම අපායමුඛ ජීවිත තුළින් ඉවත් නොකරගැනීම නිසා පුද්ගලයා පිරිහෙනවා පමණක් නොව ඔහු නියෝජනය කරන සමාජ සංස්ථාව පිරිහීමට මහත් හේතුවකි. එහෙයින් මේ ස්වභාවය හොඳින් තේරුම් ගෙන මෙයින් ඉවත්වීම බොහෝ සමාජ ප්‍රශ්න අවම වී ගැටුමෙන් තොරව සමගියෙන් සහජීවනයෙන් පැවතීමට මහත් ආශිර්වාදයකි.

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 27 වනදා සිකුරාදා අපරභාග 02.45 ට ලබයි. 28 වනදා සෙනසුරාදා අපරභාග 04.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වනදා සිකුරාදා ය.
 

මීළග පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]