UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්මා සම්බුද්ධ ශාසනයෙහි උතුම් ප්‍රතිපදා

සම්මා සම්බුද්ධ ශාසනයෙහි උතුම් ප්‍රතිපදා

" පින්කම්, බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ, බණ භාවනා සිහිපත් වුණොත් , සද්ධාදී ගුණයන්ගෙන් පිරිපුන් නිසා මනුලොව, දෙව්ලොව, බඹලොව උපත ලබා සුගතිගාමී වෙයි. පින උසස් තත්ත්වයට පත්ව තිබුණේ නම් මාර්ග ඵල අවස්ථාවන්ට පත්වන්නට පුළුවන්. ධ්‍යාන, විපස්සනා, අභිඤ්ඤා, මාර්ග ඵල, නිවන ආදී උත්තරීතර ධර්ම පින්වත් සැවොම දියුණු කළ යුතු යි. ඒ සන්ථානයෙහි ශක්තිය, බලය අපමණ යි. "

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි උතුම් ප්‍රතිපදා රාශියක් ඇත. ආර්ය වංශ ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව, සල්ලේඛ ප්‍රතිපදාව, රතවිනීත ප්‍රතිපදාව, මජ්ක්‍ධිම ප්‍රතිපදාව, මෝනෙය්‍ය ප්‍රතිපදාව යනුවෙනි. මේ ප්‍රතිපදාවන් මඟින් නිවනට යා යුතු මඟ පැහැදිලි කරයි. නිවන් සම්පත් අපේක්ෂා කරන්නෝ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතු යි. ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්ම දියුණුවෙන් ප්‍රතිපදාවන් අනුගමනය කළ යුතු යි. සම්බුද්ධ ශාසනයක තිබෙන මෙවැනි උතුම් ප්‍රතිපත්ති තමන්ගේ ජීවිතයේ දියුණුවට හේතු වෙයි. ලෝභ, ද්වේශ , මෝහ , මද මාන්න, ඊර්ෂ්‍යා ආදිය කෙලෙසුන්ගෙන් කිළිටි වන සිත පවිත්‍ර කිරීමට ඉවහල් වෙයි.

බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර සපුරද්දී ප්‍රතිපදාවන් දියුණුවෙන් ලොවුතුරා බුද්ධත්වයට පත්වුණා. උන් වහන්සේ ප්‍රතිපදාවන් මඟින් අධ්‍යාත්මික දියුණුව දේශනා කර වදාළා.

සල්ලේඛ ප්‍රතිපදාව යනු අනුන් දෙස බලා තමන්ගේ ජීවිතය සැහැල්ලු කර ගැනීම යි. අනුන් සතුන් මරනවා. මම සතුන් මැරීමෙන් වැළකෙමි. අනුන් සොරකම් කරනවා. මම සොරකම් කිරීමෙන් වැළකෙමි. අනුන් කාමයෙහි වරදවා හැසිරෙනවා. මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකෙමි. අනුන් බොරුවෙන් , වංචාවෙන්, කපටිකමෙන් ජීවත් වෙනවා මම එයින් වැළකෙමි. අනුන් මත්පැනට ගොදුරු වී වාසය කරනවා. මම එයින් වැළකෙමි යනුවෙන් අනුන් වෙත තිබෙන වැරැදිවලින් තමන් වළකින බවට පොරොන්දු වී කෙලෙස් මුල් ගලවා දැමීම සල්ලේඛ ප්‍රතිපදාව යි.

මෙවැනි ප්‍රතිපත්ති සමූහයක් ධර්මයේ සඳහන් වෙයි. ආර්ය වංශ ප්‍රතිපදාව යනු බුදු , පසේ බුදු, මහරහතන් වහන්සේලාගේ වංශය යි. චීවර, පිණ්ඩපාත, සේනාසන සහ භාවනා රාමතා ආදිය ආර්ය වංශ සතර යි. මේවා බුද්ධා දී උතුමන් අනුගමනය කිරීමෙන් ආර්ය වංශය වදාළා. චීවර , පිණ්ඩපාත, සේනාසන, භාවනා පිළිබඳ ව දීර්ඝ දේශනාවන් වදාළා. තමන්ගේ ජීවිතයට අවශ්‍ය වන ගුණ බුදු දහමෙන් සොයා ගන්නට පුළුවන්. ඒවා දියුණු තියුණු කර ගැනීමෙන් තමන්ට විශාල ශක්තියක් ගොඩ නංවා ගත හැකි යි.

සප්ත විශුද්ධිය ප්‍රතිපදාව යනු රතවිනීත ප්‍රතිපදාව යි. එනම්, ශීල විශුද්ධිය, චිත්ත විශුද්ධිය, දෘෂ්ටි විශුද්ධිය , කාංක්ෂා විතරණ විශුද්ධිය , මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය , ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය, ඥාන දර්ශන විශුද්ධිය යි. මේවා සප්ත මහා විශුද්ධි ප්‍රතිපදාවන් වෙයි. එය නිවනට ම යා යුතු මඟ පැහැදිලි කිරීමකි.

සම්බුද්ධ ශාසනයක එක් අයකුට පමණක් ලැබෙන තවත් ප්‍රතිපදාවක් වන්නේ මෝනෙය්‍ය ප්‍රතිපදාව යි. එනම්, මුනිවත රැකීම යි. කතා කරන්නේ ම නැහැ. නාලක ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ හමුවට පැමිණ මෝනෙය්‍ය වත සමාදන්ව භාවනා කමටහන් ලබා ගත්තා. උන්වහන්සේ රහත් මඟ ඵල ලබා සත් වසරක් ජීවත් ව, සිටගෙන සිටියදී ම පිරිනිවන් පෑවා. මෙවැනි ප්‍රතිපදාවන් දියුණු කර ගැනීමෙන් තම තමාට උතුම් ශක්තියක් ගොඩ නංවා ගන්නට පුළුවන්.

ඡන්දිද්ධිපාද (ඍද්ධිය ඇති කරගැනීම පිළිබඳ වූ බලවත් අවශ්‍යතාව), චිත්තිද්ධිපාද(ඍද්ධියට නැමී පවත්නා වූ , ඍද්ධියට ඇදී බරව පවත්නා වූ, වඩන ලද්දා වූ සිත), විරියිද්ධිපාද(ඍද්ධිය ලැබෙන තුරු ඍද්ධියට පැමිණෙන තුරු නො නවත්වන්නා වූ බලවත් වීර්යය) , වීමංසිද්ධිපාද (අපාය භය ,සංසාර භය ආදිය මැනවින් දක්නා වූ, ඍද්ධියට තුඩු දෙමින් පවත්නා වූ, තියුණු වූ ප්‍රඥාව) ආදී උතුම් ඍද්ධිපාද ධර්මයෝ හොඳින් දියුණු කරගෙන ප්‍රතිපදාවන්ට අනුව ජීවත් වීම වැදගත් වෙයි. සෑම ප්‍රතිපදාවක් ම මධ්‍යම ප්‍රතිපදාවට අනුයුක්ත වෙයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම , සම්මා සතිි, සම්මා සමාධි මාර්ගාංගයෝ මැදුම් පිළිවෙත නොහොත් මජ්ක්‍ධිම ප්‍රතිපදාව යි.

බුදු දහමෙහි තිබෙන සියලුම ධර්මස්කන්ධය මජ්ක්‍ධිම ප්‍රතිපදාවට අයත් වෙයි. දුක්ඛ සත්‍ය (දුක අවබෝධ කිරීම) සමුදය සත්‍ය (තණ්හාව නැති කිරීම) නිරෝධ සත්‍ය (නිවන සාක්ෂාත් කිරීම) මාර්ග සත්‍ය (නිවනට යන මඟ අනුගමනය කිරීම) ආදිය බුදුන් වහන්සේ අනු දැන වදාළා. මෙසේ නිවැරැදි ප්‍රතිපත්ති ඔස්සේ ගමන් කිරීමෙන් යහපතක් සැලසෙනවා මිස කිසිම දිනක අයහපතක් සිදු වන්නේ නැහැ.

මේ මඟින් සිතේ දියුණුවට කටයුතු කළ යුතු යි. සිතේ දියුණුව නැතිනම් කුමක් කළත්, මොනව තිබුණත් වැඩක් නැහැ. තණ්හාවෙන් මිය යන්නෝ පේත ලොව ද, තරහවෙන්, වෛරයෙන් , ඊර්ෂ්‍යාවෙන් මිය යන්නෝ යක්ෂ, යක්ෂණියන්, නයි, පොළොගුන් ආදී විසකුරු සත්ත්වයන් ලෙස ද, මෝහයෙන් මිය යන්නෝ තිරිසන් ලොව ද, මාන්නයෙන් මිය යන්නෝ වඳුරන්, සුනඛයන් ලෙස ද, මිසදිටුකමින් මිය යන්නෝ අවීචි මහා නරකයෙහි ද උපත ලබති. මෙලෙස පාපී සිතිවිලි සමඟින් අවසන් ගමන් යන්නන්ට සුගතිගාමී වෙන්නට බැහැ.

පින්කම්, බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ, බණ භාවනා සිහිපත් වුණොත් , සද්ධාදී ගුණයන්ගෙන් පිරිපුන් නිසා මනුලොව, දෙව්ලොව, බඹලොව උපත ලබා සුගතිගාමී වෙයි. පින උසස් තත්ත්වයට පත්ව තිබුණේ නම් මාර්ග ඵල අවස්ථාවන්ට පත්වන්නට පුළුවන්. ධ්‍යාන, විපස්සනා, අභිඤ්ඤා, මාර්ග ඵල, නිවන ආදී උත්තරීතර ධර්ම පින්වත් සැවොම දියුණු කළ යුතු යි. ඒ සන්ථානයෙහි ශක්තිය, බලය අපමණ යි.

අහසින් ගමන් කිරීම, අනුන්ගේ සිත් කියවීමට සමත් උත්තරීතර අදහස් තමන්ට ම ලැබෙන්නේ බාහිර ලෝකයෙන් නොව සිතේ දියුණුවෙන් පමණකි. බුද්ධ ශාසනය නොමැති කාලවල ඍෂිවරු ධ්‍යාන උපදවා ගෙන තිබෙනවා. මේවා බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප නොකර, අෂ්ට සමාපත්තීන්ට එකතු කර, නිර්වාණය සොයා ගෙන නව අනුපුබ්බ ධ්‍යාන සමාපත්ති වශයෙන් දේශනා කර වදාළා. එසේනම්, බුදු දහමට අනුකූල සැමට ම අවශ්‍ය තරමින් ගුණ ධර්ම දියුණු කළ හැකි යි. මේවා මෙලොව, පරලොව මෙන් ම සංසාරයට ම ප්‍රයෝජනවත් වෙයි. සිත රැකගෙන දියුණුවට කටයුතු කිරීම තමන්ගේ ජීවිතයේ වැදගත් ම අවස්ථාව යි.

කය, වචනය, සිත තිදොරේ සංවරත්වය බුදු දහමේ සඳහන් වෙයි. සතුන් මැරීම, සොරකම, කාම මිථ්‍යාචාරය කයෙන් සිදුවන අකුසල් වෙයි. බොරු කීම, කේළාම් කීම, නපුරු වචන සහ හිස් වචන පැවසීම වචනයෙන් සිදුවන අකුසල් ය. දැඩි ලෝභය, තරහව, මිසදිටුකම, සිතෙන් සිදුවන අකුසල් ය. මේවා දස අකුසල් වෙයි.

තිදොර අතුරෙන් සිත විශේෂිත යි. ඒ සියලු අකුසල් සිත ඇසුරෙන් හට ගන්නා නිසාවෙනි. මේ පාපී ක්‍රියාවෝ තම ජීවිතයට සම්බන්ධ නොකර සිත දියුණු තියුණු කිරීම ඉතාම වැදගත් වෙයි. මේ ගැන හොඳ දැනීමකින් ප්‍රතිපත්ති ධර්ම දියුණු තියුණු කරගනු ලැබුවොත් මෙලොව,පරලොව ජීවිත සාර්ථක වෙයි. සංසාර ගමන කරදර පීඩා නොමැති ව ගලා යයි. සුගතියක වාසයට කැමැති සැවො ම දාන,ශීල, භාවනා පින්කම් ද, මව් පියන්ට සැලකීම, කළගුණ සැලකීම ආදී යුතුකම් ද කළ යුතු යි. තමන්ගේ දූ දරුවන්ට නිසි මඟ පෙන්වා දීම අවශ්‍යය යි. පාප කර්මයන්ගෙන් වැළකී කුසල කර්ම දියුණු කරගත්විිට තම යහපත මෙන් ම අනුන්ගේ යහපත ද සලසාගෙන ඉදිරියට යා හැකි යි. බුදු දහමෙන් අපේක්ෂා කරන්නේ එය යි. මේ ගැන බුදුන් වහන්සේ ම වදාරනවා මිස වෙනත් ශාස්තෘවරයෙක් වදාරන්නේ නැහැ.

මේ ගැන හසළ දැනුමකින් පින්වත් සැවොම සමථ, විදසුන් නුවණ දියුණු කරගත යුතු යි. පිළිවෙත් මාර්ග අනුගමනයෙන් කටයුතු කිරීමෙන් තම තමන්ට සෙතක් , ශාන්තියක් ,යහපතක් සලසා ගන්නට සමත් වෙයි. මේ ප්‍රතිපදාවන් ඔස්සේ නිවැරැදි ප්‍රතිපදා අනුගමනයෙන් සැවොම බුදු සසුන සුරැකිව, ගුණ දහම් දියුණුවෙන් ඉතා ඉක්මනින් ම නිවන් සම්පත් සලසා ගනිත්වා!

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]