UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත කැමැති දෑ දෙනවාද?

සිත කැමැති දෑ දෙනවාද?

මනුෂ්‍ය ස්වභාවය ලොව කොතැනත් එක සේ ය. සමේ පැහැය, කතා කරන භාෂාව, ජීවත්වන පරිසරය වෙනස් වූව ද බොහෝ විට හැඟීම් එක හා සමාන ය. ලෝකයේ ජීවත්වන කවර මනුෂ්‍යයකු ගේ වූව ද රුධිරය රතු පාට ය. ඇසෙන් මතුවන කඳුළු ලවන රසයෙන් යුතුය. ආදරයට, කරුණාවට, මෛත්‍රීයට කවුරුත් කැමැති ය. ඇනුම්, බැනුම්, ඇසීමට හෝ විඳීමට අකැමැති ය. මිනිස් සිතේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීම අපගේ ජීවිත පවත්වාගැනීමට පහසුවකි.

පළමුව අප මිනිස් සිතේ සැබෑ ස්වභාවය තේරුම්ගත යුතු ය. සිත යනු පාලනය කළ හැකි දෙයකි. පාලනයක් නොමැති සිත විවිධ වූ අරමුණු සොයා යයි. එසේ නැතහොත් තමා අකැමැති යැයි සිතා පිළිකුල් කරයි. තරහ ගනියි. අරමුණු හොඳ හෝ නරක ලෙසින් ගනියි. ඒ අනුව ඇලෙයි, ගැටෙයි.

සිත ඇළුණු, බැඳුණු දේ තමන් සතු කර ගැනීමට උත්සාහ ගනියි. කැමැති දෑ නොලැබුණ විට දුක් වෙයි. හඬයි. විටෙක අන් අයටත් නපුරුකම් කරයි. ඇතැම්විට දිවි නසා ගැනීමට ද උත්සාහ කරයි.

තමන් කැමැති දේ නොලැබුණා යැයි කලබලවීම අනවශ්‍යය. ඔබ සිතේ ස්වභාවය හඳුනානවා ද? තමන් කැමැති දේ ලැබුණා, යැයි සිතුව ද තව ටික කාලයකින් පසු සිත ඉල්ලන්නේ අලුත් දෙයකි. ඇසින් දුටු රූපය ලස්සන නම්, ඒ රූපය ලස්සන යැයි සිතා තමන් සතු කර ගැනීමට උත්සාහ කරයි. එම රූපය තමා සතු කරගත් පසු එය ඇති යැයි සිතා වෙනත් රූපයකට ඇළුම් කරයි.

සිත නිරතුරුව ම ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියයන් පහ ඔස්සේ අලුත් අලුත් දේ ඉල්ලයි. එකක් ලබා ගන්නාවිට තව දහසක් දේ කෙරෙහි ඇලුම් කරයි. සිත ඒවා ද ඉල්ලයි.

සිත පාලනය කර ගැනීමට නොහැකි නම් හැමදාම කල්ගත කිරීමට සිදුවන්නේ දුකකිනි. මහ සයුරට කොපමණ වතුර වැටුණ ද සෑහීමක් නැත. එසේ ම මේ සිතට කොපමණ නම් කැමති දෑ ලැබුණ ද සෑහීමක් නැත. මේ බව අවබෝධ කර ගත්තේ නම් ලද දෙයින් සතුටුවීම අපහසු වන්නේ නැත. ලෞකික දියුණුව සඳහා කටයුතු කරන්නට එපා යැයි මින් අදහස් නොකෙරේ. මින් අදහස් වන්නේ සැලෙන, චපල සිත තේරුම්ගැනීම ය. එවිට කිසිවිටකත් කවරෙකු වූව ද “මගේ සිත මට පාලනය කර ගන්නට බැහැ”යැයි නොකියනු ඇත.

තථාගත බුදුරජාණන් වහන්සේ නොසන්සුන් හා අසංවර සිත පාලනය කරගත යුත්තේ කෙසේ දැයි අනුශාසනා කළහ.

ඵන්දනං චපලං චිත්තං- දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරොති මේධාවි- උසුකාරොව තෙජනං

“සැලෙන, එක අරමුණක නොපිහිටවන සිත බොහෝ ඉක්මනින් දුර ගමන් කරයි. “දුනු හී සාදන්නෙක් යකඩය තලමින් දිග හරින්නාක් මෙන් මේ සිත තමන් කැමැති පරිදි පාලනය කර ගත යුතු ය.

තමන් කැමැති පරිදි සිත පාලනය කර ගැනීමට සිත සහ එහි සැබෑ ස්වභාවය පිළිබඳ ව හොඳින් දැනගත යුතු ය. එලෙස ම ඉල්ලන විවිධ දේ ලබා දීමට ජීවිත කාලයම උත්සාහ ගත්ත ද සිත සතුටු කිරීම කිසිසේත් ම කළ නොහැකි ය. මෙලෙස ගත වී මරණ මඤ්චකයෙහි වැතිර සිටින අවස්ථාවක කවුරුන් හෝ ඔබ බලාපොරොත්තු වූ සහ සිතූ පැතූ දේ සියල්ල ලබාගෙන ඉවරදැයි විමසුව හොත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් කවර පිළිතුරක් ලබා දෙනු ඇති ද?

තව ලබා ගැනීම සඳහා කොපමණ දේ තිබේ ද? ලැබුණු දේට වඩා වැඩි නොලැබුණු දේ ය. මෙලෙස නොලැබුණු දේ ගැන ශෝක වෙමින් ආශාවන් පොදිබැඳගෙන මිය ගිය කල මනුෂ්‍ය භවයක් ලබා ගැනීම පහසු කටයුත්තක් නොවේ. එසේ නොවුන ද මිය යන මොහොතේ නොලැබුණු දේ ගැන හඬා වැටෙමින් මිය යන්නේ ඇයි?

අනේ මට සතුටින් මැරෙන්නට ඇත්නම් යනුවෙන් බොහෝ වැඩිහිටියන් කියනු අපි අසා ඇත්තෙමු. මෙයින් ඒ ඇත්තෝ අදහස් කරන්නේ සතුටින් ජීවත්ව සිට දෑස සඳහට ම පියා ගන්නට හැකිනම් හොඳ බව නොවේ ද? සතුටින් සිටීම නම් සිතේ සතුටින් සිටීම ය. මානසික සන්තුෂ්ටිය උතුම්ම ධනය බව “සන්තුට්ඨි පරමං ධනං” යනුවෙන් තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]