UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්මා සමාධිය ලැබීමට අනුගමනය කිරීමේ ප්‍රතිපදාව: දස ආකාරයකින් දැන ගත යුතු සම්මා දිට්ඨිය

සම්මා සමාධිය ලැබීමට අනුගමනය කිරීමේ ප්‍රතිපදාව:

දස ආකාරයකින් දැන ගත යුතු සම්මා දිට්ඨිය

ආර්ය සම්‍යක් සමාධිය ලැබීමට සම්‍යක් දෘෂ්ඨිය ම පූර්වාංගම වෙනවා. භාග්‍යවතුන් වහන්සේ තවත් ආකාරයකින් දේශනා කරනවා.

එනම් මාර්ග සම්‍යක් දෘෂ්ඨියේ සිටි පුද්ගලයාට මාර්ග සංකල්ප බොහෝ ම උපකාර වෙනවා. සම්‍යක් සංකල්පයේ සිටින්නා ට සම්මා වාචා පිහිටුවා ගැනීමට උපකාර වෙනවා. සම්‍යක් වචනයේ සිටින්නාට යහපත් වූ කර්මාන්ත උපදවා ගන්නට හැකි වෙනවා. සම්‍යක් කර්මාන්තයේ සිටින්නාට සම්මා ආජීවය උපකාර වෙනවා. සම්මා ආජීවයේ සිටින්නාට සම්මා වායාමය උපකාර වෙනවා. සම්මා වායාමයේ සිටින්නාට සම්මා සමාධිය උපකාර වෙනවා. සම්මා සමාධියේ සිටින පුද්ගලයාට ප්‍රත්‍යවේක්ෂණ සංඛ්‍යාත සම්‍යක් ඥානය උපකාර වෙනවා. ලැබෙනවා. ප්‍රත්‍යවේක්ෂණ සම්‍යක් ඥානයේ පිහිටා සිටින පුද්ගලයාට සම්‍යක් විමුක්තිය උපකාර වෙනවා. පිහිටනවා. මහණෙනි, මෙසේ හෙයින් අට ආකාරයකින් මේ මාර්ගය දක්වා ගත හැකියි.

රහතුන් වහන්සේලාට අංග දහයකින් දැක්විය හැකියි. ඉන් අදහස් කළේ චෛතසික හෙවත් රහත් මාර්ගයට පත් නොවූ එනම් රහත්භාවයෙන් මුළුමනින් ම කෙලෙස් බැහැර නො කළ අයට මේ මාර්ගයේ අංග අටකින් සමන්නාගත වන අතර රහතන් වහන්සේලාට එය අංග දහයකින් යුක්ත වෙනවා.

මහණෙනි, ඒ ආර්ය සම්‍යක් සම්මාධියෙහි සම්‍යක් සමාධිය පූර්වාංගම වේ. මහණෙනි, සම්‍යක් දෘෂ්ඨියේ සිටි පුද්ගලයාට මිථ්‍යා දෘෂ්ඨිය බැහැර වෙනවා. මිථ්‍යා දෘෂ්ඨිය හේතුවෙන් යම් ලාමක වූ අනේක අකුසල ධර්මයෝ වෙත් ද ඔවුහු මුළුමනින් ම බැහැරවී යනවා.

යම් සම්‍යක් දෘෂ්ඨි හේතුවෙන් නොයෙක් කුසල ධර්මයෝ භාවනාවෙන් සම්පූර්ණවීමට පැමිණෙනවා. සම්‍යක් සංකල්පය සිටි පුද්ගලයාට මිථ්‍යා සංකල්පය නැතිව යනවා. මිථ්‍යා සංකල්පය හේතුවෙන් ලාමක වූ අකුසල ධර්මයෝ වෙත් ද? ඒවා බැහැර වී යනවා. සම්‍යක් සංකල්ප හේතුවෙන් කුසල ධර්මයෝ භාවනාවෙන් සම්පූර්ණ වෙනවා.

සම්‍යක් වචනයේ සිටි පුද්ගලයාට මිථ්‍යා වචන බැහැර වෙනවා. එනම් විනාශ වී යනවා. මිථ්‍යා වචන හේතුවෙන් නොයෙක් පාපී අකුසල ධර්ම වෙනවා ද? ඒවා නැතිව යනවා. විනාශ වෙනවා. යළිත් සම්‍යක් වාචා හේතුවෙන් කුසල ධර්මයෝ වඩා සම්පූර්ණ වීමට හේතුවෙනවා.

සම්‍යක් කර්මාන්තයේ සිටි පුද්ගලයාට මිථ්‍යා කර්මාන්තය නැතිව යනවා. මිථ්‍යා කර්මාන්ත හේතුවෙන් යම් වූ පාපී අකුසල ධර්ම වෙනවා ද? ඒවා විනාශ වෙනවා. නැවත සම්‍යක් කර්මාන්ත ප්‍රත්‍ය නිසා එනම් හේතු නිසා කුසල ධර්මයෝ භාවනාවෙන් සම්පූර්ණවීමට හේතුවෙනවා. සම්මා ආජීවයේ සිටි පුද්ගලයාට මිථ්‍යා ආජීවය නැතිව යනවා. මිථ්‍යා ආජීව හේතුවෙන් නොයෙක් පාපක අකුසල ධර්ම උපදිනවා ද? ඒවා විනාශ වී යනවා. සම්මා ආජීව නම් වූ ප්‍රත්‍ය නිසා කුසල ධර්මයන් භාවනාවෙන් සම්පූර්ණත්වයට පත්වෙනවා. සම්මා වායාමයේ සිටි පුද්ගලයාට මිථ්‍යා වායාමය නැතිව යනවා. මිථ්‍යා වායාමයේ ප්‍රත්‍යයෙන් නොයෙක් ආකාරයේ අකුසල ධර්ම හට ගන්නවා, නම් ඒවා ද නැතිව යනවා.

නැවතත් සම්මා වායාම හේතු කොටගෙන නොයෙක් කුසල ධර්මයෝ භාවනාවෙන් සම්පූර්ණවීමට හැකියාව ලැබෙනවා. සම්‍යක් සතියෙහි සිටි එනම් යහපත් වූ සිහිය පවත්වාගෙන සිටින පුද්ගලයාට මිථ්‍යා ස්මෟතිය හෙවත් මිච්ඡා සතිය බැහැරව යනවා. මිච්ඡා සතියෙන් යම් වූ ද පාපී අකුසල ධර්ම උපදිනවා ද, ඒ අකුසල ධර්ම ඔහුට උපදින්නේ නැහැ. සම්මා සතිය නිසා නොයෙක් කුසල ධර්ම භාවනාවෙන් සම්පූර්ණ කර ගැනීමට හැකිවෙනවා. සම්‍යක් සමාධියේ සිටින පුද්ගලයාගේ මිථ්‍යා සමාධිය විනාශ වී යනවා. මිථ්‍යා සමාධිය හේතුවෙන් යම් වූ පාපී අකුසල ධර්ම ඇතිවෙනවා ද ඒවා නැතිව යනවා. සම්මා සමාධිය හේතුවෙන් කුසල ධර්මයෝ භාවනාවෙන් පුරා ගැනීමට සමත් වෙනවා.

සම්‍යක් ඥානයෙහි සිටි පුද්ගලයාගේ මිථ්‍යා ඥානය විනාශ වී යනවා. මිථ්‍යා ඥාන හේතුවෙන් යම් වූ ද පාපී අකුසල ධර්ම වෙනවා නම් ඒවා ඔහුට නැතිව යනවා. සම්‍යක් ඥාන හේතුවෙන් නොයෙක් කුසල ධර්මයෝ භාවනාවෙන් සපුරා ගැනීමට හැකි වෙනවා. සම්‍යක් විමුක්තියේ සිටි පුද්ගලයාට මිථ්‍යා විමුක්තිය විනාශයට පත්වෙනවා. මිථ්‍යා විමුක්තිය හේතුවෙන් නොයෙක් ලාමක අකුසල ධර්මයෝ උපදිනවා ද? ඒවා නැතිව යනවා. සම්මා විමුක්තිය නිසා කුසල ධර්මයෝ භාවනාවෙන් සම්පූර්ණ වීමට හේතුවෙනවා. මහණෙනි, මේ ලෙස සම්මා දිට්ඨි ආදිය දස ආකාරයකින් දැන ගත යුතුයි.

කුසල ධර්මයෙහි කුසල පක්ෂයේ වූ විසි ධර්මයෝ ය. මිථ්‍යා දිට්ඨි ‘නිත්ජින්නා හෝති’ යනුවෙන් වදාළේ මිථ්‍යා දිට්ඨි ආදී දහසයයි. මිථ්‍යා දිට්ඨි පපච්චයා අනේකේ යන ආදියෙන් වදාළ දහසයයි. අකුසල පක්ෂයෙත් කොටස් විස්සක් දක්වා තිබේ. සම්මා දෘෂ්ඨියේ දහයයි. මිථ්‍යා දෘෂ්ඨියෙහි දහයයි. යනුවෙනුයි.

යම් වූ ද ශ්‍රමණයෙක් හෝ බ්‍රහ්මණයෙක් විසින් හෝ දෙවියකු විසින් මාරයකු හෝ බඹුනෙකු විසින් හෝ ලොව කිසිවකු විසින් නොපවත්වාලිය හැකි මහා චත්තාරීසක ධර්ම පරියාය, මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකයේ අනුපද වර්ගයට අයත් සූත්‍රය ඇසුරෙන්, මාර්ග සමාධිය, හෙවත් උතුම් සම්‍යක් සමාධිය පිළිබඳ ව උතුම් දහම් පෙළක් අප භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරනු ලැබූ සේක.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]