UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුවක්දෙණියේ පඤ්ඤාරතන නා හිමි

පුවක්දෙණියේ පඤ්ඤාරතන නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ උත්තරීතර අනුශාසක ගෙලිඔය ජනරංජනාරාමාධිපති ශාසන කීර්ති ශ්‍රී සද්ධම්ම ජෝතික ධජ පුවක්දෙණියේ පඤ්ඤාරත නා හිමියන් වහන්සේ ආදර්ශවත් මහ තෙරනමක් වූහ.

උන්වහන්සේ විසින් ඉටුකරන ලද ජාතික ආගමික ශාසනික හා අධ්‍යාපනික සේවා ඇතුළු ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහ නිකායේ උන්නතිය උදෙසා තම මුළු ජීවිත කාලයම කැප කළ සුපේශලශික්‍ෂාකාමි භික්ෂුවක් විය.

වසර 97 ක ජීවිත කාලය තුළින් 81 වසරක්ම සසුන් කෙත සරු කළ නාහිමියන් කා අතරත් ගෙලිඔය ලොකු හාමුදුරුවන් නමින් ගෞරව බහුමානයට පාත්‍ර විය. සතර කෝරළයේ පුවක්දෙනිය නම් ග්‍රාමයේ විසූ රත්නායක මුදියන්සේලාගේ රත්නායක නිලමේවරයාට හා දාම්පේ රාලලාගේ පුංචි මැණිකේ මහෝපාසිකාවට පිරිමි දරුවන් පස්දෙනකු හා එක් දියණියක් වූ අතර නාහිමියන් එම පවුලේ දෙවැනියා ලෙස 1919 පෙබරවාරි මස 04 දින උපත ලබා ඇත.

නලුවෙල පඤ්ඤාපදීම නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් කළුගල්ලේ ජයසුන්දරාරාමාධිපති මීන්වානේ ධම්ම කුසල නාහිමියන්ගේ මහෝපාධ්‍යත්වයෙන් 1934 පෙබරවාරි මස 14 වන දින පුවක්දෙණියේ පඤ්ඤරතන නමින් පැවිදිබිමට පත්ව ඇත.

මුන්වහන්සේ ගම්පොළ වනවාස පිරිවෙනට ඇතුලත් ව බණ දහම් හදාරා ප්‍රාචීන ප්‍රාරම්භය හා ප්‍රාචීන මධ්‍යම විභාග සමත්ව ශාසනික සේවාවන් අරඹා ඇත.

පුවක්දෙනියේ පඤ්ඤාරතන හිමියන් වනවාස පිරිවනේ ඉගෙනුම ලබන කාලයේ ජනරංජනාරාම විහාරයේ වස් කාලයක් ගත කිරීමට සිදු විය. එය උන්වහන්සේගේ ජය භූමිය බවට පත්වූයේ පරහිත කාමි බව නිසාමය. මුන්වහන්සේ කෙරෙහි පැහැදුනු දායකයන් වනවාස විහාරාධිපති හිමියන්ගෙන් කළ ඉල්ලීමකට අනුව ගෙලිඔය ජනරංජනාරාමයට වැඩම කරන්නට විය.

1910 වසරේ ආරම්භ කර තිබූ මෙම විහාරය අවම පහසුකම් පවා නොතිබූ ස්ථානයක් විය.මෙලෙස 1945 ගෙලිඔයට වැඩම කරවූ පුවක්දෙනියේ පඤ්ඤාරතන හිමියන් හා ඕමන්තේ ධම්මවංශ හිමියන් එක්ව සිය දායක කාරකාදීන් සමඟ එකතුව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු අරඹා ඇත.

1947 පැවති මහ ගංවතුරෙන් විහාරස්ථාන ගොඩනැගිලි විනාශ වුවත් 1957 වන විට විහාර මන්දිරයක් 1960 වන විට චෛත්‍යයක් ඉදිකර ගැනීමට නාහිමිවරු සමත්ව ඇත.

ඉන් පසු නාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසා දෙමහල් ධර්මශාලාවක් ඉදිකර එය 1985 වසරේදී විවෘත කිරීමට හැකි වූ අතර 1992 වන විට සීමා මන්දිරයේ වැඩ කටයුතු අවසන් කර සඟ සතු කළේ ය.

දැයේ සම්පත දරුවන් බව සැලකූ උන් වහන්සේ තම දායක කාරකාදින්ගේ දරුවන්ට පූර්ව අධ්‍යාපනය ලබාදීම සඳහා 1992 වසරේදී බද්දේගම විමලවංශ අනුනාහිමියන් හා මුල්ලේරියාව ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂ බඳගිරියේ සෝමවංශ නාහිමියන්ගේ අනුශාසනා ලබාගෙන ජනරංජනාරාමයේ පෙර පාසල ඇරඹීය.

ඉගෙනීම හා ඉගැන්වීම පිළිබඳව මහත් ඇල්මක් දැක්වූ නා හිමියෝ ප්‍රදේශයේ දරුවන්ගේ යහපත උදෙසා පාසලක් ඇරඹීමේ අරමුණින් 1952 වසරේදී විහාරස්ථ ධර්ම ශාලාව තුළ ගමේ ළමුන් 9 දෙනෙකුගෙන් පාසලක් ඇරඹූහ. පසුව 1958 වසරේදී විහාරස්ථානය අසල භූමියට රැගෙන ගිය මෙය රජයේ අනුමත පාසලක් ලෙස පවත්වාගෙන ගියේය. ගෙලිඔය කණිෂ්ඨ විද්‍යාලයක් ලෙසත්, මහ විද්‍යාලය ලෙසත් පාසල් නාමාවලියට එක් වූ මෙය අද අංග සම්පූර්ණ මධ්‍ය මහා විද්‍යාලයකි. එහි නිර්මාතෘ අප නාහිමියන්ට උපහාර පිණිස අද එය ගෙලිඔය පඤ්ඤාරතන මධ්‍ය විද්‍යාලය ලෙස නම් කොට ඇත.

දරුවන්ගේ මතු දියුණුව ඉතා අගය කළ නාහිමියෝ ඔවුන්ට ඉගැන්වීම තුළින්ද අපමණ සේවයක් ඉටු කළහ. ඒ අනුව ගම්පොල වනවාස පිරිවෙනේද තෙලඹුගල, නිග්‍රෝධඛෙත්ත මහ පිරිවෙනේද සේවය කළ උන්වහනසේ 1946 වසරේදී ගෙලිඔය ජනරංජනාරාම දහම්පාසල අරඹා දීර්ඝ කාලයක් එහි ප්‍රධානාචාර්ය ධුරයද ඉසිලීය.

උන්වහන්සේ එදා ගුවන් විදුලි සේවයේ ධර්ම දේශකයකුද විය.

උන්වහන්සේගේ ශිෂ්‍යයන් අතර අද කූඹියන්ගොඩ විද්‍යාචක්ක පිරිවෙන් කෘත්‍යාධිකාරි සද්ධර්ම කීර්ති හරංකහවේ නාගිත ස්වාමින් වහන්සේ ජනරංජනාරාමාධිපතිව වැඩ වසන අතර පුවක්දෙනියේ පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේ ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විහාරස්ථාන යේ වැඩ වාසය කරමින් නාහිමියන්ගේ සමාජ සත්කාර වැඩසටහන් ඉදිරියට ගෙන යමින් සිටී.

වසර 97 කට ආසන්න කාලයක් ආයු වළදා උන්වහන්සේ අපවත්ව මෙම මස 8 වන දිනට වසර 2 කි.

ඒ අනුව ශිෂ්‍ය පිරිස හා දායකකාරකාදීන් උන්වහන්සේ වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් 8 හා 9 දෙදින පුරා පින්කම් රැසක් සංවිධානය කොට ඇත.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]