UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශෝක හුල ඉදිරීම නුවණැතියාගේ ස්වභාවය යි

ශෝක හුල ඉදිරීම නුවණැතියාගේ ස්වභාවය යි

" රජතුමා දුටු පියක ඇමැතිට මෙසේ සිතුණා. “අනේ අපේ රජතුමා දේවියගේ මරණයෙන් දුකට පත්ව කෑම නොකා, ස්නානය නො කර, රාජ ආභරණ පළඳින්නේ නැතිව සිටිනවා. රජතුමා පාටලීපුත්‍රයේ කුක්කුටාරාමයෙහි වැඩ සිටින පින්වත් නාරද ස්වාමින් වහන්සේ වෙත කැඳවාගෙන යා යුතුයි” සිතා මුණ්ඩ රජුට කරුණු පහදා දී කැමැති කරවාගෙන කුක්කුටාරාමයට ගොස් නාරද ස්වාමින් වහන්සේට සියලු විස්තර කියා සිටියා.

"

අප කැමැති වුවද, අකැමැති වුවද සදාකාලිකව නො ලැබිය හැකි බොහෝමයක් මේ ලෝකයේ තිබෙනවා. උදාහරණයක් ලෙස අප කවුරුත් වගේ තරුණ ව ඉන්නට කැමැති යි. වයසට යන්න අකැමැති යි. එහෙත් අපේ කැමැත්ත, අකැමැත්ත මත වෙනස් නො වන සනාතන ධර්මතාවයක් මේ ලෝකයේ තිබෙනවා.

ඒ සැබෑ යථාර්ථය තේරුම් ගෙන නුවණින් විමසීම හෙවත් යෝනිසෝ මනසිකාරයේ යෙදිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ලෝකයේ සත්ත්වයාගේ සිත්සතන් තුළ මුල් බැසගත් විකෘතිය හෙවත් සඤ්ඤා විපල්ලාසයක් පවතින බව. සඤ්ඤා විපල්ලාසය යනු හඳුනාගන්නා දෙයෙහි සැබෑ ස්වභාවය තේරුම් නො ගැනීම යි. ඒ එනම්, අනිත්‍ය දේ නිත්‍ය ලෙස සිතීම, තමාගේ වසඟයේ පැවැත්විය නොහැකි අනාත්ම දේ තමාගේ වසඟයේ පැවැත්විය හැකි යැයි සිතීම, දුක සැප යැයි සිතීම. අසුභ දේ සුභ යැයි සිතීම යි.

භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ව වැඩසිටින කාලයේ පාටලීපුත්තයෙහි රජකම් කළේ “මුණ්ඩ” රජතුමා යි. ඔහුගේ පි‍්‍රයමනාප භද්‍රා නම් මෙහෙසිය කළුරිය කළා. මේ හේතුවෙන් දුකට පත් වූ මුණ්ඩ රජු තමන්ගේ භාණ්ඩාගාරික “පියක” නම් අමාත්‍යයා කැඳවා කියනවා පි‍්‍රය පියකය, භද්‍රා දේවියගේ සිරුර ලෝහමය තෙල් දෙණක බහා තවත් පියනකින් වසා සිරුර විනාශ නො වන ලෙස තබන්න. යම් අයුරකින් මට භද්‍රා දේවියගේ ශරීරය බොහෝකල් දකින්නට ලැබේනම් එවන් අයුරකින් ආරක්ෂා කරන්න”.

මතුපිටින් නො පෙණුනත් මෙතැන තිබෙන්නේ අසුභ දේ සුභ ලෙස පැවැත්වීමේ කැමැත්ත යි. අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් පැවැත්වීමට ඇති කැමැත්ත යි. තමාගේ වසඟයේ පැවැත්විය නොහැකි දේ තමාගේ වසඟයේ පැවැත්වීමේ අදහස යි. ඒ වගේ ම දුකට අයත් දේ සැප ලෙස දකීමේ කැමැත්ත යි. මේ කැමැත්ත තිබෙනතාක් ලෝකයේ සැබෑ යථාර්ථය දැකීමට සිතට ඉඩක් ලැබෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයට ඉඩක් නැහැ. තම සිතෙහි මුල් බැසගෙන ඇති සඤ්ඤා විපල්ලාසය නිසා හටගත් ආශාවෙන්, කැමැත්තෙන් යථාර්ථය වැසී යනවා.

ඉතින් පියක අමාත්‍යවරයා භද්‍රා දේවියගේ සිරුර තෙල් දෙණක බහා ආරක්ෂිත ව තැන්පත් කළා. දුකට පත් මුණ්ඩ රජු විටින් විට පැමිණ සිරුර බලමින් හඬන්නට වුණා. ආහාර අනුභව නො කොට, රජෙකු ලෙස රාජ්‍යය ට අනුශාසනා නො කොට, භද්‍රා දේවියගේ මෘත ශරීරය දෙස බලමින් සෝකයෙන් මුසපත් ව වාසය කළා.

රජතුමා දුටු පියක ඇමැතිට මෙසේ සිතුණා. “අනේ අපේ රජතුමා දේවියගේ මරණයෙන් දුකට පත්ව කෑම නොකා, ස්නානය නො කර, රාජ ආභරණ පළඳින්නේ නැතිව සිටිනවා. රජතුමා පාටලීපුත්‍රයේ කුක්කුටාරාමයෙහි වැඩ සිටින පින්වත් නාරද ස්වාමින් වහන්සේ වෙත කැඳවාගෙන යා යුතුයි” සිතා මුණ්ඩ රජුට කරුණු පහදා දී කැමැති කරවාගෙන කුක්කුටාරාමයට ගොස් නාරද ස්වාමින් වහන්සේට සියලු විස්තර කියා සිටියා.

නාරද තෙරුන් විසින් මුණ්ඩ රජුට වදාළා “පින්වත් මහරජ, මේ ලෝකයේ කිසි ශ්‍රමණයෙකු විසින්, බ්‍රාහ්මණයෙකු විසින්, දෙවියෙකු විසින්, මාරයෙකු විසින්, බ්‍රහ්මයෙකු විසින්, වෙනත් කිසිවෙකු විසින් හෝ වේවා ලැබිය නො හැකි කරුණු පහක් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා.

1). ජරාජීර්ණ ස්වභාවයට පත්වන දෙය ජරාජීර්ණ බවට පත් නො වේවා යි කියා හෝ 2). රෝග පීඩා වැළඳෙන ස්වභාවයට පත්වෙන දෙය රෝගී බවට පත් නොවේවා යි කියා හෝ 3). මැරෙන ස්වභාවයට අයත් දෙය මරණයට පත් නොවේවා යි කියා හෝ, 4). ගෙවී යන ස්වභාවයට අයත් දෙය ගෙවී ක්ෂය වී නො යාවා යි කියා හෝ, 5). නැසෙන ස්වභාවයට අයත් දෙය නො නැසේවා යි කියා හෝ ලෝකයේ කිසි ශ්‍රමණයෙකු විසින්, බ්‍රාහ්මණයෙකු විසින්, දෙවියෙකු විසින්, මාරයෙකු විසින්, බ්‍රහ්මයෙකු විසින් වේවා වෙනත් කිසිවෙකු විසින් හෝ වේවා ලැබිය නො හැක්කේ ම ය.

මෙය ජීවිතයෙහි පවතින සැබෑ ම ස්වභාවය යි. මෙය නුවණින් විමසා බැලීමෙන් තේරුම් ගත යුතුයි. අශ්‍රැතවත් පෘතග්ජනයා දිරන, ලෙඩවෙන, මැරෙන, ගෙවීයන, නැසෙන මේ ධර්මතා ඉදිරියේ සෝකයට පත්වෙයි. ඔහු මෙසේ සිහි නො කරයි. මේ දේ් මා හට පමණක් උරුම දෙයක් නොවේ. යම්තාක් සත්ත්වයන් මෙලොවට පැමිණෙයි ද, ඒ සියලු දෙනා දිරන, ලෙඩවෙන, මැරෙන ගෙවී යන නැසෙන මේ ධර්මතාවයට පත්වන්නේ ම ය. ඉදින් එකල් හී මම ශෝක කරන්නේ නම්, වෙහෙසට පත්වන්නේ නම්, හඬා වැළපෙන්නේ නම්, ළයෙහි අත් ගසා හඬන්නේ නම්, මුලාවට පත්වෙයි. මට ආහාර පිරියක් ද නො වන්නේ ය, කය ද විරූපී වන්නේ ය, වැඩ කටයුතු ද අඩාල වන්නේ ය. මාගේ සතුරෝ සතුටු වන්නෝ ය. මිතුරෝ දුක් වන්නෝ ය යැයි ධර්මයෙන් තමාට පිළිසරණ සාදා නො ගත් අශ්‍රැතවත් පෘථග්ජනයා නො සිතයි. එසේ නුවණින් නො විමසා සෝක කරයි. ක්ලාන්ත වෙයි. ළයෙහි අත්ගසා හඬා වැළපෙයි. මුළාවට පත්වෙයි. පින්වත් මහරජ මෙසේ අශ්‍රැතවත් පෘථග්ජනයා ශෝකය නමැති විය හුළින් තමන් පීඩාවට පත් කර ගනී.

නමුත් මහරජ, ධර්මයෙන් තමාට පිළිසරණ සාදාගත් යෝනිසෝ මනසිකාරයෙන් යුතු පුද්ගලයා දිරන, ලෙඩවෙන, මැරෙන, ගෙවීයන, නැසෙන දෙය තමා වෙත ආ කල්හිි ඒ ගැන නුවණින් විමසා බලයි. මේ දිරන, ලෙඩවෙන, මැරෙන ගෙවීයන, නැසෙන ස්වභාවය මා හට පමණක් උරුම වූ දෙයක් නොවේ. යම්තාක් සත්ත්වයෝ මෙලොවට පැමිණෙන්නා හු ද, ඒ සියල්ලන්ට ම මේ ධර්මතාවය එකසේ පොදු වන්නාහු ය. එසේ ඇති කල්හී මම කුමට නම් සෝක කරන්නෙහි ද? මා සෝක කරන්නේ නම් වෙහෙසට පත්වන්නේ නම්, ළයෙහි අත්ගසා හඬන්නේ නම්, වැළපෙන්නේ නම්, මුළාවට පත්වන්නේ නම් මට ආහාර පිරියක් නො වන්නේ ය. කය ද විරූපී වන්නේ ය. වැඩ කටයුතු ද අඩාල වන්නේ ය. සතුරෝ ද සතුටු වන්නෝ ය. මිතුරෝ දුකට පත් වන්නෝ ය” යැයි සිතා දිරන, ලෙඩවෙන, මැරෙන, ගෙවීයන නැසෙන ලෝක ධර්මය ඉදිරියෙහි ක්ලාන්ත නො වෙයි. හඬා නො වැළපෙයි. මුළාවට පත් නොවෙයි. පින්වත් මහරජ, මෙසේ නුවණින් විමසා යෝනිසෝ මනසිකාරයෙන් යුතු, ධර්මයෙන් තම ජීවිතයට පිළිසරණ සාදා ගත් ආර්ය ශ්‍රාවකයා සෝක හුල උදුරා දමයි.

එවිට රජතුමා අසනවා පින්වත් නාරදයන් වහන්ස, මේ බණ පදයේ නම මොකක් ද? මහරජ, මේ ධර්මය සෝක සල්ලහරණ (සෝක හුල ඉදිරීම) නම් වේ. ස්වාමිනි, ඒකාන්තයෙන් ම සෝක හුල ඉදිරීම ම වෙයි. මේ ධර්මය අසා මාගේ සෝකය නැතිවී ගියා. රජතුමා කියනවා මිත්‍ර පියක, භද්‍රා දේවියගේ සිරුර දවන්න. නුවණැත්තෝ දිරන, ලෙඩවෙන, මැරෙන, ගෙවීයන, නැසෙන ලෝකයෙහි ශෝක නො කරයි.

කලණ මිතුරු ඇසුරත්, සද්ධර්මය ශ්‍රවණයත් නිසා තමා තුළ ඇනී තිබෙන ශෝක හුල උදුරා දමන්නට මුණ්ඩ රජුට පුළුවන් වුණා. ඒ වගේ ම තමන් තුළ තිබුණු නුවණින් විමසීමේ හැකියාව නිසා එම ශෝක හුල උදුරා දමමින් ධර්මානුකූල ජීවිතයකට හුරුවුණා.

යම් කෙනෙක් සතුව මේ නුවණින් විමසීමේ හැකියාව පවතිනවා නම් සසර ගමනේ පවතින බොහෝ භයානක අනතුරුවලින් අත්මිදීමේ වාසනාව ඔවුන්ට උදාවෙනවා.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]