UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙලොවත් පරලොවත්මෙලොවත් පරලොවත්ශෝක කරන්නා

මෙලොවත් පරලොවත් ශෝක කරන්නා

"සත්වයින් කොටස් කර තෝරා බේරාගෙන සමහර සත්වයින්ට පමණක් අනුකම්පා කිරීම බෞද්ධ පිළිවෙත නොවේ. ගේ තුළ සිටින සර්පයාටත්, ඇඟ වසා සිටින මදුරුවාටත්, සීනි බෝතලය තුළ සිටින කූඹියාටත්, බුරාගෙන එන බල්ලාටත් එක ම අයුරින් අනුකම්පා කළ යුතු ය."

චුන්ද සූකරික යනු ඌරු මස් විකුණා ජීවත් වූ පුද්ගලයෙකි. ඔහු ඌරන් මරන්නේ බොහෝ වධ හිංසා කිරීමෙනි. පළමුව කුඩා ඌරු පැටවු ගෙනැවිත් ආහාර දී ලොකු මහත් කරයි. වැඩුණු සිරුරින් යුතු ඌරන් ගෙනගොස් කණුවක තදින් ගැට ගසයි. හතරැස් පොලු කැබැල්ලක් ගෙන පහරදෙයි. ශරීරය ඉදිමුණු පසු කට ඇරවා උණුවතුර වත් කරයි. එවිට ඌරාගේ ශරීරයෙහි අප ද්‍රව්‍ය මළ මාර්ගයෙන් පිටවෙයි. ඉතිරි උණු වතුර ද ඌරාගේ පිටට වත් කරයි. ඉන් සම ගැලවී යයි. ගිනි හුළක් ගෙන ශරීරයේ රෝම කූප පුළුස්සා දමයි. අවසන ඒ අහිංසක සතා ගේ ගෙල කපා සිරුර මාංශවලට වෙන් කරයි.

මෙලෙස අවුරුදු පනස් පහක් පුරා ම චුන්ද සූකරික ඌරන් මරා මස් වෙළෙඳාම් කර ඇත. එක් කලෙක චුන්ද සූකරික ගේ නිවස ආසන්න තැනක විහාරස්ථානයක බුදු රජාණන් වහන්සේ වැඩ වෙසෙති. එහෙත් ඔහු එක් දිනක් හෝ විහාරස්ථානයට ගොස් නැත. එක ම භික්ෂූන් වහන්සේ නමකටවත් දන් හැන්දක් හෝ බෙදා නැත. කිසිදු පිනක් දහමක් කර නැත.

ජීවිතයේ අවසාන කාලයේ දී ඔහු ගේ ජීවිතය අවීචි මහා නරකාදියෙහි මෙන් බොහෝ දුක් විඳින්නට සිදු විය. ඌරෙකු මරණ මොහොතේ නඟන වේදනාත්මක හඬ මෙන් ඔහු වේදනාවෙන් මොර දුන්නේ ය. ඌරෙකු සේ හතර ගාතයෙන් වත්තපුරා ඇවිද්දේ ය. නිවැසියන්ට ද, අසල වැසියන්ට ද නින්දක් නොවී ය. ගෙට දමා දොර වසා තැබූව ද එළියට ගන්නා තුරු කෑ මොර දුන්නේ ය.

මේ නිවස අසලින් බුදු රජාණන් වහන්සේ වැඩ සිටි වේළුවනාරාමයට වැඩම කරන භික්ෂූන් වහන්සේ, ඒ හඬ ඇසී බුදුරජාණන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළහ.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, චුන්දසූකරික නිවසේ මේ දවස්වල උත්සවයක් වෙන්නට ඇති. දිනපතා ම මරණ ඌරන්ගේ වේදනාත්මක හඬ ඇසේ. මේ මිනිසාට කරුණාවක්, මෛත්‍රීයක් ඇත්තේ ම නැහැ. පුදුම පව්කාරයෙක්.’

“මහණෙනි, මේ ඌරන් මැරීමක් නොවෙයි, ඔය ඌරෙකු වගේ කෑ ගසන්නේ චුන්ද සූකරිකයි. ඔහු ඌරන් මැරීමේ විපාකය මෙලොව දී ම ඵලදීමක්’ බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. දවස් හතක් ම ඔය විදියට වේදනාවෙන් කෑ ගැසූ චුන්ද සූකරික මරණයට පත් වී අවීචි මහා නරකාදියෙහි උපත ලැබී ය.

“පව්කරන්නා මෙලොවත් පරලොවත් දෙලොව ම සෝකයට පත් වේ. ජීවත් වූව ද තමා කළ පාපකර්මය දැන සෝකයටත්, තැවුලටත් පත්වේ යන්න පෙන්නුම් කරමින් බුදුරජාණන් වහන්සේ “ඉධ සෝචති පෙච්ච සෝචති,- පාපකාරී උභයත්ථ සෝචති සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ” යන ගාථා ධර්මය දේශනා කළහ.

ප්‍රාණඝාතය කරන තැනැත්තා ඒ ප්‍රාණඝාතය හේතුවෙන් මොලාව දී ම යම් භයක්, වෛරයක් ඇති කර ගනී ද අන් භවයකදී ද ඔහු භයින් හා වෛරයෙන් යුතු වෙයි. ප්‍රාණඝාතයෙන් වැළකුණු තැනැත්තා මෙලොව දී එබඳු භයක් වෛරයක් නො ලබයි. මානසික වශයෙන් ද දුක් දොම්නසක් නොවිඳියි. ප්‍රාණඝාතයෙන් වැළකී තැනැත්තාගේ වෛරය සංසිඳීමට පත්වෙයි.
(අංගුත්තර නිකාය)

මෙහි සඳහන් ආකාරයට ප්‍රාණඝාතය මෙලොවත්, පරලොවත් භයින් හා වෛරයෙන් මෙන් ම දුක් දොම්නසින් යුක්ත ව ජීවත්වන්නට හේතුවන්නකි.

මේ ගැන සිතා මුළු ජීවිතයම ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් වෙත කරුණාවෙන්, මෛත්‍රීයෙන් බලන්නට පුළුවන් නම් මොනතරම් හොඳ ද?

අද සමාජයේ සිදුවන ප්‍රාණඝාත දෙස බලනවිට විවිධ හේතු හා අරමුණු මුල්කරගෙන ඒවා සිදුවන බව පෙනේ. ජීවිත ආරක්ෂාවට,අනුන්ගේ සම්පත් පැහැරගැනීමට, කෝපය සංසිදුවා ගැනීමට, විනෝදය පිණිස, මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් වශයෙන් එමෙන් ම තමන්ගේ හිත සුව සඳහා යන මේ ආදි කරුණු මුල් කරගෙන සත්ව ඝාතන සිදුවේ. විනෝදයට කුරුල්ලෙකු හෝ මාළුවෙකු මරන්නට පුළුවන. ආර්ථික වශයෙන් ව්‍යාපාරයක් වශයෙන් කුකුලන් වැනි සතුන් මරන්නට පුළුවන. අපේ සුවය පතා මදුරුවන් මරන්නට පුළුවන. නමුත් මේ හැම මරණයක් ම අප දුකට වේදනාවට පත්කරයි.

ඝාතනයට ලක් වූ සත්වයාගේ සම්භාවය, අපේ සිතේ ක්‍රියාකාරිත්වය අප ගන්නා උත්සාහය , ඝාතනය සඳහා යොදන උපක්‍රමය, මෙහෙයවීම, ආයුධ පරිහරණය , අප දක්වන සහාය වැනි කරුණු විපාකය සඳහා බලපායි. සිදුවිය යුත්තේ කුමන අයුරකින් හෝ සත්ව ඝාතනයේ නොයෙදීමයි. ඒ සඳහා කුමන ආකාරයක හෝ සහයෝගයක් ලබා නොදීමයි.

මගේ ජීවිතයට මා ආදරෙයි. එයට හානියක් වනවාට මා කැමැති නෑ. අන් අයත් තමන්ගේ ජීවිතයට ආදරෙයි. ඒ ජීවිතවලට හානියක් වනවාට ඒ අය කැමැති නැත. තමන් උපමා කර අන් අය ගැන සිතීම මෙහිදී ඉතා වැදගත් ය. මගේ ජීවිතයට මා ආදරය කරනවා නම් අන්‍ය ජීවිතවලටත් ආදරය නොකර සිටීමට මට පුළුවන් කමක් නැත. එසේ නම් සිදුවිය යුත්තේ අන්‍ය ජීවිතවලටත් ආදරය කිරීමයි. එනම් කරුණාවෙන්, මෛත්‍රියෙන් අන්‍යයන් දෙස බැලීමයි. සත්වයින් කෙරේ දයාව කුඩා කල සිටම වර්ධනය කළ යුතු ය. අනුකම්පාව යන සංකල්පය මෙහිදී වැදගත් වනු ඇත. සත්වයින් කොටස් කර තෝරා බේරාගෙන සමහර සත්වයින්ට පමණක් අනුකම්පා කිරීම බෞද්ධ පිළිවෙත නොවේ. ගේ තුළ සිටින සර්පයාටත්,ඇඟ වසා සිටින මදුරුවාටත්, සීනි බෝතලය තුළ සිටින කූඹියාටත්, බුරාගෙන එන බල්ලාටත් එක ම අයුරින් අනුකම්පා කළ යුතු ය.

මෙහිදී ලජ්ජාව හා භය යන සංකල්ප දෙක ඉතා වැදගත් වනු ඇත. ප්‍රාණඝාතයක් කර ලෝකයා එය දැනගත් විට සමාජයට මුහුණ දෙන්නේ කෙසේ ද? නීතියෙන් ද ඔහුට ගැලවීමක් නැත. වැරැද්ද සඟවන්නට නොහැකි ය. කවදා හෝ එය එළිවනු ඇත. එහි විපාකය අනිවාර්ය ය.

සමහර විට ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තුවක්කුවක් වැනි අවි ආයුධ පරිහරණය කරන අය ඉන්නට පුළුවන. නමුත් ප්‍රශ්නයක් මතුවුවහොත් ඒවා පරිහරණය කරන්නේ නැතැයි ඔබට සහතික විය හැකිද? වර්තමාන සමාජගත සමහර සිද්ධීන්වල දී එබඳු ආරක්ෂක උපකරණ අනිත් අයගේ විනාශය සඳහා යොදාගත් අවස්ථා කොතෙකුත් ඇත. නූතන ලෝකයේ අවි ආයුධ පමණක් නොව සත්ව ඝාතන සඳහා රසයානික ද්‍රව්‍යද යොදා ගනී. මේ අනුව අවි ආයුධ වලින් තොර ජීවිත අපට සැනසුමකි.

අපරාධ කරන සමහර චරිත දෙස බලනවිට සමහර අයට ප්‍රශ්නයක් මතුවන්නට පුළුවන. ඒවා ඒ අයට විපාක දෙනවා ද? පෙනෙන්නට නැත. ඒ අය කරදරයක් නැතුව ජීවත්වෙනවා. හොඳින් ඉන්න අපටමයි මේ ඔක්කොම කරදර මෙහෙම සිතන අයත් අප අතර සිටිති. නමුත් ඒ අපරාධකරුවන් දෙස ඔබ අවධානයෙන් සිටිනවා නම් ඔබට පෙනේවි, එයින් බොහෝ දෙනෙක් මිය යන්ට පෙර කල පාපී ක්‍රියාවල දුර්විපාක විඳින අයුරු. කර්මය මහ පුදුම බලවේගයක්, සමහරවිට කරන ලද කර්ම මෙලොව දී විපාක නොලැබෙන්නත් පුළුවන්. මෙලොව දී හොඳ කුසල කර්ම කළොත් තමා කළ අකුසල කර්ම විපාක නොදී මතු නොවී තිබෙන්නටත් පුළුවන්. හොද ක්‍රියාවන් නිසා කරන ලද අකුසලයේ විපාකය අඩුවන්ටත් පුළුවන්. මෙලොවදී විපාක නොදී පරලොවදී විපාක දෙන්නටත් පුළුවන්. අංගුලිමාල මිනිසුන් 999 ක් මැරුවා. එය විපාක දුන්නා නම් කොපමණ කලක් අපාගත වී දුක් විඳින්නට සිදුවේ ද? ආනන්තරීය පාප කර්මයක් නොකළ නිසා ඒ සියල්ල යටපත් කර නිවන් අවබෝධ කරගත්තා.

නැවත ඉපදීමක් නැති නිසා පසුව විපාක දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. රහත් වුවත් මිනිස් ඝාතනයේ විපාකය මෙලොව දීම සුළුවෙන් හෝ විඳින්නට සිදුවූ බව අංගුලිමාල හිමිගේ චරිතය තුළින් පෙන්නුම් කරයි.

කිරි දෙවු ගමන් ම එය මිදෙන්නේ නැත. අකුසල කර්මය ද එය කළ අවස්ථාවේ ම විපාක නොදෙනන්ට පුළුවන. අළු යට සැඟවී ඇති ගිනිපුපුරු මෙන් වැසී තිබී පව්කළ පුද්ගලයා දවමින් පසු පස්සෙන් ගමන් කරයි. මේ ගාථාව අනුව අපල කරන හොඳ හෝ නරක ක්‍රියාවල විපාක ඉක්මන් විපාක නොදෙන්නට පුළුවන. ඒවා පසුව විපාක දීමට ඉඩ ඇත. කෙසේ වුව ද අකුසල විපාකවලින් ඈත්ව දුක් වේදනා අඩුකර සැපත ළඟා කර ගැනීමේ ක්‍රමවේදය බුදුදහමෙහි පෙන්නුම් කර ඇත.

ඔබගේ දෙපා, දෙඅත් මගින් හොඳ දේ කිරීමත්, ඔබේ කටින් අයහපත් වචන පිට නොකිරීමත්, ඔබගේ සිත පාපී සිතිවිලිවලින් දූෂ්‍ය වන්නට නොදී ආරක්ෂා කර ගැනීමත් තුළින් ඔබට සදා සැනසිල්ල උදාකර ගත හැකිවනු ඇත.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]