UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුක් ගෙන දෙන කර්ම විපාක

දුක් ගෙන දෙන කර්ම විපාක

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය තුළ දක්නට ලැබෙන්නේ මිනිසා කළ දේ් ඒ මිනිසා ම, නැවත වතාවක් ලබනවා කියන කාරණාවයි. තවත් ආකාරයකින් පැහැදිලි කරනවා නම්, දුන් දෙය ලබයි. නුදුන් දෙය නොලබයි. ලෝකයේ තිබෙන කිසිම ආගමක එවැනි ඉගැන්වීමක් දක්නට ලැබෙන්නේ නැත. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට පැවතුණ විශිෂ්ට ඥාන සම්පත්තිය උපයෝගී කරගෙන සත්ත්වයාගේ මරණය, උප්පත්තිය, නැවත උප්පත්තිය පිළිබඳ ව දීර්ඝකාලීනව දුටු දේ අනුව මිනිසා දුන්දේ ලබන බවත් ,නොදුන් දේ නොලබන බවත් උන්වහන්සේ දේශනා කළා. ඒ අනුව මනුසත්ත්වයා සිතින් සිතමින්, කටින් ප්‍රකාශ කරමින් ශරීරයෙන් ක්‍රියාත්මක වෙමින්, තුන් දොරින් ම යම් යම් දේ සිදු කරයි.

තුන් දොරින් සිතන කියන කරන එම ක්‍රියාදාමයන් මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. නරක ක්‍රියා, පාප ක්‍රියා, අකුසල ක්‍රියා වශයෙන් හෝ යහපත් ක්‍රියා, පුණ්‍ය ක්‍රියා, කුසල ක්‍රියා යනාදී වශයෙනි. සාමාන්‍ය සමාජය තුළ කතා කරන විට අයහපත් ක්‍රියා සහ යහපත් ක්‍රියා වශයෙන් ප්‍රකාශ කරයි. ආගමික සමාජය තුළ ආගමික වචනයෙන් කතා කරන අවස්ථාවල, පාප ක්‍රියා, සහ පුණ්‍ය ක්‍රියා වශයෙන් ප්‍රකාශ කරයි. ධර්මයෙන් ශික්ෂණය වුණ සමාජයේ මේ පිළිබඳ කතා කරන විට අකුසල ක්‍රියා සහ කුසල ක්‍රියා වශයෙන් හඳුන්වයි. මිනිසා කරන දේ මිනිසා නැවත ලබනවා කියන කාරණාව කළ කම් පළ දෙනවා යනුවෙන් ප්‍රකාශ වෙයි.

මේ ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන්නේ කළ කම් කියන කාරණාවෙහි නරක කළ කම් හෙවත් අයහපත් ක්‍රියා ,පාපක්‍රියා අකුසල ක්‍රියා කළ පසු නැවත විපාක ලැබුණ අවස්ථාවන් පිළිබඳව යි. දීර්ඝකාලීන ව ලියන ලිපි පෙළක් වශයෙන් අකුසල ක්‍රියා පළදුන් ආකාරයත් එහි විපාක ලබන ආකාරයත්, අකුසල ක්‍රියාවන් නිසා තමන් පීඩනයට පත්වන ආකාරයත්, ලිපිපෙළින් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මතාවය වඩාත් නිවැරැදි ව කතාන්තර, ආඛ්‍යාන තුළින් පැහැදිලි කරගැනීමේ හැකියාව ධර්ම ග්‍රන්ථ අධ්‍යයනය කිරීමෙන් ම පසක් කරගත හැකියි. ඒ වගේ ම සමාජය තුළ පර්යේෂණාත්මක ව අධ්‍යයනය කිරීමෙන් ද, එම කරුණු නිවැරැදි ව පසක් කර ගැනීමට හැකියාව ලැබෙයි. මෙවැනි අවස්ථාවකට ධර්ම ග්‍රන්ථ තුළින් නිදසුන් කතාවක් පැහැදිලි කර ගත හැකියි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පේතවත්ථුව බණ පොතේ එන ගූථ ඛාධක පේත වත්ථුව නම් බණ කතාවෙහි සඳහන් පරිදි එක්තරා විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කළා. එම ස්වාමීන් වහන්සේ බණ භාවනාවලට වඩා පන්සලේ දියුණුව ගොඩනඟා ගැනීමටත්, පන්සලේ දායක පිරිස වැඩිකර ගැනීමටත් ,පන්සලේ ආලෝකය වැඩිකරගැනීමට කටයුතු කිරීමටත් හරිම දක්ෂයි. එම හේතුව නිසා ම පන්සලට පැමිණෙන දායක කාරකාදීන්ගේ වැඩිවීමක් ඇති වුණා. ස්වාමීන් වහන්සේ දායකයන් සතුටු වන ආකාරයෙන් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට කටයුතු කරන නිසා ම දායකයන් ද , පන්සලට කැමැතියි. එම නිසා ම ස්වාමීන් වහන්සේටත් ලාබ ප්‍රයෝජන වැඩිියි. බණ දහම් ආරක්ෂාකරමින් භාවනා කරනවාට වඩා මිනිසුන් සමඟ ලෙන්ගතු ආකාරයෙන් කතාකිරීමෙන් ලාබප්‍රයෝජන ලබාගැනීමත් පහසුයි.මේ හාමුදුරුවන් වහන්සේත් ඒ ආකාරයෙන් පන්සලේ වැඩ කටයුතු කළා. පන්සල දියුණු නිසා ම ස්වාමීන් වහන්සේ වැඩම කළාට පසු පන්සල දියුණු වූ බවට දායකයන් ද ප්‍රකාශ කරයි.පන්සලේ තිබෙන ගොඩනැඟිලිවල දියුණු ව පන්සලෙහි දියුණු ව බව දායකයන් ප්‍රකාශ කර යි. සෙනඟ නිතර පැමිණීමත්, ආලෝකය වැඩිවීමත් ,දියුණුව ලෙස ඔවුන් දකියි. සාමාන්‍ය සමාජයේ මිනිසුන් දියුණුව එම අර්ථයෙන් ද ගනී.

කාලය ගතවීමත් සමඟ එම පන්සලට පිටතින් ස්වාමීන් වහන්සේ දෙනමක් වැඩම කළා. මෙම පන්සලේ වැඩ කටයුතු හොඳින් කෙරෙන නිසා ම උන්වහන්සේලාත් නිදහසේ අධ්‍යාපන කටයුතු,ආගමික කටයුතු ,බණ භාවනා කරගෙන කාලය ගතකළා මිස ස්වාමීන් වහන්සේලා දෙනම පන්සලෙන් නැවත වැඩම කරන බවක් නැහැ. මේ ආකාරයෙන් කාලය ගතවන නිසාත් , පිටතට වැඩම කරන බවක් දක්නට නොලැබෙන නිසාත්, විහාරස්ථානයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා සමඟ සිතෙන් උරණ වුණා. එසේ වුවත්, සමාජයට තමන් වහන්සේ ඉතා ම හොඳ චරිතයක් බව පෙන්නුම් කරගෙන සිටින නිසා සිතේ තිබෙන තරහව අමනාපය උන්වහන්සේලාට පෙන්වීමට ගියේ නැහැ. උන්වහන්සේලාගෙන් තමන්ට යම්යම් අකරතැබ්බයන් , අපහසුකම් සිදුවෙද්දීත් උන්වහන්සේලා කෙරෙහි කරුණාවෙන්, දයාවෙන් ,මෛත්‍රියෙන් කටයුතු කරනවාය කියන කාරණාව තමන් වහන්සේට හිතවත් දායකයන්ට හැඟවෙන ආකාරයෙන් කතා කළා. තමන් තුළ පවතින විරෝධය නොදැනෙන ආකාරයට කතාබහ කළ නිසා ම දායකයන් ස්වාමීන් වහන්සේගේ පැත්ත අරගෙන පන්සලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා දෙනම සමඟ උරණවීම් ඇතිකර ගත්තා. ඒ බව තේරුම් ගත් විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ දායකයන් සමඟ එකතුවෙමින් ස්වාමීන් වහන්සේලා දෙනමට නින්දා වන ආකාරයෙන් ද, අපහාස වන ආකාරයෙන් ද, නරක නපුරු දේ සිදුවෙන ආකාරයට යම් යම් දෝෂදර්ශන ලිපි ලේඛන ගමේ ප්‍රචාරය කළා. කාලය ගතවීමත් සමඟ පන්සලේ වැඩ සිටි ස්වමීන් වහන්සේලා ඒ පිළිබඳ කම්පාවට පත් ව තමන් වහන්සේලා නිදහස් ව සිටියදීත් මේ තරම් චෝදනා ඇතිවන්නේ ඇයිද? සිතමින් එම විහාරස්ථානය අතහැර ආපසු වැඩම කර ඇත. පන්සලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේටත් හිතවත් දායක කාරකාදීන්ටත් හරිම සතුටක් දැනුණත් පන්සලේ පොදු දායකයාට සන්තෝෂයක් දැනී නැත. පොදු දායකයන් ගෙන් පැමිණෙන විරෝධය මැඩගෙන සතුටින් පන්සලේ කටයුතු කරගෙන ගියා. දානය වළඳා නිදහසේ තමන්ගේ වැඩ කොටස කරගැනීම පන්සලේ වැඩකටයුතු කිරීමක් බව උන්වහන්සේගේ අදහස වුණා.

එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතය වඩින අවස්ථාවක පාර අයිනේ සිටි ප්‍රේතයෙක් දැක ඔබ මෙතන කුමක් කරනවා ද ? යනුවෙන් ප්‍රේතයාගෙන් ප්‍රශ්න කළ විට, මුගලන් මහරහතන් වහන්ස , අසවල් ස්ථානයෙහි තිබෙන වැසිකිළියෙහි වැසිකිළි කටේ ප්‍රේතයෙක් වෙලා සිටින බවට පිළිතුරු දුන්නා. ඔබ ඔතරම් දුක්ඛිත ස්ථානයක ඉපදීමට හේතුව කුමක් ද? යනුවෙන් විමසූ විට එම ප්‍රේතයා ඉහත සඳහන් කළ කතාව මුගලන් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළා. එදා නිවැරැදි ව නිස්කලංකව කටයුතු කළ ස්වාමීන් වහන්සේලාට නින්දා කළ පාපය නිසාත් ,නින්දා අපහාස පත්‍රිකා ලියමින් අනෙක් පිරිසගේ සිතිවිලි නොමඟ යැවීම නිසාත්, සුසිල්වත් භික්ෂූන් වහන්සේලාගේ ජීවිතය ගෙනයාමට ඉඩ නොදී අවහිර කිරීමේ පාප කර්මයට පන්සලේ වැසිකිළියෙහි ප්‍රේතයෙක් වෙලා සිටින බව ප්‍රකාශ කළා. එදා පන්සලේ දායකයා ලෙස කටයුතු කළ මම මේ ප්‍රේත ආත්මයේ සිටිනවා . එදා ඒ පන්සලේ විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේත් ප්‍රේතයෙක් වෙලා ඉන්නවා . මම ඉන්නේ එම පේ‍්‍රතයාගේ කට උඩයි . අපිදෙන්නා දෙබිඩි ප්‍රේතයන් හැටියටයි ඉන්නේ. මේ ඉන්නේ අනෙක් ප්‍රේතයා බවට මුගලන් මහරහතන් වහන්සේට අනෙක් ප්‍රේතයා පෙන්වූවා.

අනෙක් අයට නින්දා අපහාස කිරීමට යාම පෙරළා එය තමාට ලැබෙන විපාකයක් ලෙස මේ තුළින් පෙන්වා දිය හැකියි. මිනිසුන් අපවිත්‍ර කිරීම සඳහා යන වැසිකිළි කටේ ඒවා අනුභව කරමින් ප්‍රේතයෙක් ව අකුසල විපාක විඳිනවා. කටින් කළ අකුසල කර්මවලට කට හරහාම විපාක විඳිනවා. එය ජීවිතයට බොහෝ දුකක් .කම්පාවක්.

බුදුරජාණන් වහන්සේට එම සිදුවීම සැළවුණා. බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ කතාවෙන් කළ කම් පළ දෙන හැටි විග්‍රහ කරමින් මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු පි්රිසට පැහැදිලි කර දුන්නා. තමන්ගේ සිතින් තමන් කළ යුත්තේ ද, තමන්ගේ යහපත පිණිස සහ පොදු යහපත සඳහා වන සිතිවිලි සිතීම ය. තමන්ගේ කටින් යමක් ප්‍රකාශ කළ යුත්තේ ද, තමන්ගේ දියුණුව සහ පොදු සමාජයේ දියුණුව සඳහා හේතුවන ප්‍රකාශයන් ය. තමන්ගේ කයින් තමන් කළ යුත්තේ ද ,තමන්ගේ දියුණුව සඳහා වන සහ පොදු සමාජයේ යහපත දියුණුවට හේතුවන ක්‍රියාවන් විය යුතු බවට බුදුරජාණන් වහන්සේ ධර්ම කරුණු පැහැදිලි කර වදාළා.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]