UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපරිහානීය ධර්ම හා සහජීවනය

අපරිහානීය ධර්ම හා සහජීවනය

සමගිය සහජීවනය ඇති යහපත් පාලනයක් ගෙන යාම සඳහා අවශ්‍ය ගුණ ධර්ම හතකි. වජ්ජි රාජ්‍යයේ සාර්ථකත්වයට ඉවහල් වූ මෙම ඉගැන්වීම් අපරිහානීය හෙවත් නො පිරිහී සිටීම උදෙසා දේශනා කර ඇත. කෙනෙකුගේ හෝ ආයතනයක රටක පරිහානියට හේතුවන අයහපත් පුරුදු හා ක්‍රියාකාරකම් මෙහිදී පාලනයකට ලක් වේ. ලිච්ඡවී රාජ්‍යයේ දියුණුවට විශාල බලපෑමක් සිදු කළ ඉගැන්වීමක් ලෙස මෙය අගය කළ හැකි ය. සමූහයක් පිරිසක් වශයෙන් කටයුතු කිරීමේ දී ඇතිවන බොහෝ ගැටලු නැති කර ගැනීම මේ නිසා සිදු වේ. එය රටකට පමණක් නොව පවුල, ගම, ආයතන තුළදී පවා ඉතා වැදගත් වේ. එම අපරිහානීය ධර්ම සත මෙසේ ය.

1.නිතර නිතර රැස්වීම 2.සමඟියෙන් රැස්ව, සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම 3.නො පැනවූ නීති නො පැනවීම, පැනවු නීති නොකඩවා පවත්වාගෙන යාම 4.වැඩිහිටියන්ට ගරු කිරීම, ඔවුන්ගේ අවවාද පිළිපැදීම 5.කාන්තාවන්ට ආරක්ෂාව සහ නිසි ගෞරවය ලබාදීම 6.රට තුළ මෙන්ම පිටත ඇති වන්දනීය ස්ථානවලට ගෞරව කිරීම හා පරිත්‍යාග සිදුකිරීම 7.ආගමික පූජ්‍ය පක්ෂයට මැනවින් ආරක්ෂාව දීම හා බැහැරින් වැඩමවන අයට අවශ්‍ය දෑ සැපයීම

පළමු සහ දෙවන කරුණින් අවධාරණය වන්නේ එකමුතු ව ඉතා වැදගත් තීරණ ගත යුතු බව ය. කල්ලි කණ්ඩායම් අනවශ්‍ය ලෙස ගොඩනඟා ගැනීම සුදුසු නො වේ. එසේ ම ප්‍රඥාගෝචර නොවන ආකාරයෙන් නො හැසිරී සමඟියෙන් එක්ව සාකච්ඡා කිරීම යි. සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳාගත නො හැකි දෙයක් නැත. අතේ පයේ සහ කටේ ශක්තිය පමණක් විශ්වාස කිරීම සුදුසු නොවේ. වාද විවාද සිදු කිරීම පවා සිදුවිය යුත්තේ යහපත් අරමුණු මත ය. හැමදේට ම විරුද්ධවී ස්ථානයට නුසුදුසු දෑ සිදු නො කළ යුතු වේ. එසේ ම කෙතරම් වාද විවාද ඇති වුවද කෙනෙකුගේ පුද්ගලිකත්වය පදනම් කරගත් චෝදනාවලින් වැළකිය යුතු ය. විවාද කළ යුත්තේ අදාළ කාරණය පමණි. ගැටීම ඇතිවන්නේ අදාළ ප්‍රතිපත්තිය පිළිබඳව මිස පුද්ගලයන් සමඟ නො වේ. ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කරන කළ පුද්ගලයන් සමග ගැටීම මුළාවකි. නිරන්තර ව සාකච්ඡාකොට සම්මුතියට ඒම වැදගත් වේ. ඉතා සුළු පිරිසක් පමණක් එකතුවී සාකච්ඡාකොට තීන්දු ගතහොත් එය ගැටුම් ඇතිවීමට මූලික හේතුවකි. ආයතනයක රටක එසේ සිදුවුවහොත් කල්ලි කණ්ඩායම් නිර්මාණය වේ. විශේෂයෙන් බහු ජාතික බහු ආගමික, රටක එක් ජාතියක් එක් ආගමක් පමණක් ඉලක්කකොට ගෙන නීති රීති, වරප්‍රසාද වැනි දෑ සිදු නො කළ යුතු ය. එවිට සහජීවනය සමඟිය සාමය බිඳ වැටී යුද කෝලාහල නිර්මාණය විය හැකි ය. එහි දී අවි ආයුධ ගැනීම අනවශ්‍ය ප්‍රශ්නයන් රැසකි. ලෝකයේ සාමය , සමඟිය, ස්ථිරව ගොඩනැඟිය හැක්කේ සාකච්ඡාවෙන් හා සම්මුතියෙනි.

අනවශ්‍ය සැකය

යහපත් අරමුණුවලින් යුතුව සාමයෙන් සමගියෙන් තීරණ ගැනීම වැදගත් වේ. ඒ සඳහා දැනුම සහිත වැදගත් මිනිසුන් ඒ තැන්වල සිටීම වැදගත් ය. දැනුම් නැති හිස් මිනිසුන් එවැනි තැන්වලට යාම බොහෝ සමාජ ප්‍රශ්න ඇතිවීමට හේතුවකි. බුදුරදුන් නිරන්තර ව දේශනා කළේ සමගි වන්න, විවාද නො කරන්න. කිරි හා දිය මෙන් එකිනෙකා කෙරෙහි පි‍්‍රය ඇසින් බලමින් වාසය කරන්න යනුවෙනි. මේ සමාජයේ බොහෝ ප්‍රශ්නයන්ට හේතුව වන්නේ එකිනෙකා පිළිබඳ අනවශ්‍ය සැකයෙන් හා තරහෙන් බැලීම නිසාවෙනි.

රටක, ආයතනයක පැවැත්ම උදෙසා නීති රීති මාලාවක් අවශ්‍යය ය. ශාසනය තුළ ද එවැනි නීති සමූහයක් ඇති අතර එය විනය නම් වේ. නීති සම්පාදනයේ දී කරන්නන් පවා පැනවූ නීතියට යටත් විය යුතුය. එසේ ම එම නීති සාධාරණ විය යුතු ය. බහුතර වුවමනාවක් නොවන කාරණයන් සඳහා නීති නො පැනවිය යුතු ය. එසේ නීති සම්මත කර ගැනීමට යාම මත මහත් කළ කෝලාහල ඇති වේ. එය රටක ඉදිරි ගමනට බාධාවකි. විශේෂයෙන් සමූහාණ්ඩු තුළ එසේ නීති අනවශ්‍ය පරිදි ගෙන ඒමට යාම අයහපත් ය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් ඇති රටවල නීති රීති ප්‍රජාව වෙනුවෙන් ම විය යුතු ය. නීති අණපනත් ගෙන එන්නේ මහජනයා පීඩාවට පත්කිරීමට නොව ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා සාමය, සමගිය සහජීවනය ඇති කිරීමට ය. අවශ්‍යතා පැන නඟින්නේ නම් නීති රීති වෙනස් කර ගත යුතු වේ. නීති රීති යනු නිවන වැනි පරමාර්ථ තත්ත්වයක් නොවේ. සම්මුතියකි. සියල්ල අනිත්‍ය යි දුක යි.

අනාත්ම ලෙස දකින්නේ නම් නීති රීති පමණක් නිත්‍ය යි. සුඛ යි අනාත්ම යි ලෙස දැකීම වැරැදි සහගත ය. බුදුරදුන් පවා ඇතැම් නීති අවස්ථා හත අටේදී වෙනස් කළ අවස්ථා ඇත.

පාලනයේ දී උපදෙස් ලැබිය යුත්තන්ගෙන් උපදෙස් ලැබීම අත්‍යාවශ්‍ය ය. අවවාද ලැබිය යුත්තන් ලෙස වැඩිහිටියන් ද සැලකිය හැකි ය. දැනුම හා අත්දැකීම් වලින් යුත් පිරිස් අවතක්සේරු නොකර ඔවුන්ගේ මඟ පෙන්වීම ලබා ගැනීම වැදගත් වේ. එසේ නොමැති විට නිවැරැදි යැ’යි සිතා වැරැදී තීන්දු තීරණවලට පෙළඹෙන අවස්ථා සුලබ විය. ඉතා සුළුවෙන් විසඳාගත යුතුව පවතින දෑ මහා ප්‍රශ්න බවට පත්වන්නේ අත්දැකීම් සහිත අය නො සලකා හැරීමෙනි. කොසොල් රජතුමා දකින එක් සිහිනයකින් පවා අනාගතයේ දී ඇතැම් රාජ්‍යයන් වැඩිහිටියන් නො සලකා හරින බව අවධාරණය කරයි. එහි දී තරුණ ගොනුන් ලිහා දමා, අත්දැකීම් ඇති ගොනුන් ගස්වල බැඳ දමා ඇති අයුරු රජු විසින් දකිනු ලබයි. එය සුබ ලකුණක් නො වේ. අතැම් වැඩිහිටියන්ගේ උපදෙස් අවවාද බොහෝ ගැටුම්වලට අස්වැසිල්ල වේ.

රටක කාන්තාවන්ට ආරක්ෂාව ගෞරවය ලැබිය යුතු ය. රාජ්‍ය යාන්ත්‍රණය විසින් එය ආරක්ෂා කළ යුතු ව ඇත. කිසිවෙකුට ඉඩ නො තැබිය යුතු වේ. මවක්, බිරිඳක්, සහෝදරියක් ලෙස ආරක්ෂාව තහවුරු වීම වැදගත් වේ. පාලක වුවමනාවන් හෝ ඔවුන්ගේ දරුවන්ගේ වුවමනාවන් වෙනුවෙන් කාන්තා හිංසන සිදු නො විය යුතු වේ. ඔවුන්ට සමාජය තුළ කටයුතු කිරීමට අවස්ථාව ලැබිය යුතු ය. අනිසි බලපෑම්වලට යටත් නොවී සිටීමට අවශ්‍ය පරිසරය සැකසීම වැදගත් ය. කාන්තා හිංසන වැනි කාරණා නිසා ඇතැම් රටවල් ලෝකය ඉදිරියේ දී අසරණ භාවයට පත් වේ. රටක දියුණුව පෙන්වන දර්ශනයක් ලෙස කාන්තා හිංසනයෙන් තොර බව දැක්විය හැකි ය. කාන්තා ගෞරවය රැකෙන ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වැදගත් වන්නේ ඒ තුළ සාමකාමී පරිසරය ආරක්ෂා වන බැවිනි.

වන්දනීය පුජනීය ස්ථාන ආරක්ෂා කර ගැනීම මෙන් ම එම ස්ථානයන්ට ගෞරව කිරීම ඉතා වැදගත් ගුණ ධර්මයකි. එමෙන්ම එවන් ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ පරිත්‍යාග සිදු කිරීම කළ යුතු ය. එය එක් ආගමකට පමණක් සීමා වූවක් නොවේ. ආගම් අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය සැකසීම සඳහා ය. එහෙයින් වඩා වැදගත් වන්නේ අදහන ආගම නොව තම ආගමෙන් කෙතරම් දුරට මිනිසා සදාචාර සම්පන්න කරනවා ද යන්න ය. ඒ අර්ථයෙන් ලොකු කුඩා පූජනීය ස්ථාන සංරක්ෂණය කිරීම අවශ්‍යය ය. මේ නිසා පන්සල නිසා ගම වඩා යහපත් ස්ථානයක් බවට පත් වේ. ඒ තුළ මිනිසුන් පවා පින විශ්වාස කරන පිරිසක් බවට පත් වේ. එහෙයින් අනවශ්‍ය ගැටුම්වලට නොයා සමගියෙන් සහජීවනයෙන් යුතුව ඔවුන් කටයුතු කරයි. ඒ සඳහා සප්ත අපරිහානීය ධර්මයන්හි හයවන අපරිහානීය ධර්මය මහත් ශක්තියක් වේ.

ඕන දේ සහ එපා දේ

අතීතයේදී ගම ශක්තිමත් හා ස්වයංපෝෂිත තැනක් බවට පත් වූයේ පන්සල හේතුවෙනි. වර්තමානයේ එය කෙමෙන් වෙනස් වී ඇත. වැව යි, දාගැබ යි, ගම යි, පන්සල යි, නිල්වන් ගොයම කහවන් සිවුර යි යන සංකල්පය අප වැනි රටකට මහත් උත්තේජනයකි. එය ගිහි පැවිදි දෙපක්ෂය ම තේරුම් ගැනීම වැදගත් ය. භික්ෂුවගේ බලය වුව ද අනවශ්‍ය ලෙස යොදා නො ගත යුතු අතර අවශ්‍යතා සලකා බැලිය යුතු ය. අනවශ්‍ය ලෙස ඕන දේ සහ එපා දේ තේරුම් නො ගෙන කටයුතු කිරීම තුළ භික්ෂුවගේ බලය හෑල්ලුවට ලක් වේ. ආගම දහම වෙනුවෙන් ජීවිත කැප කළ සහ කරන බොහෝ භික්ෂූන් බෞද්ධ ලෝකයෙහි වැඩ වෙසෙති. උන්වහන්සේලා රැක ගනිමින් අවවාද අනුශාසනා ලබමින් රාජ්‍ය විචාරීම වැදගත් ය. උන්වහන්සේලා කිසිවිටක රජු පාලකයන් සොයා නො එයි. ඊට හේතුව වන්නේ භෞතික ලාභ ප්‍රයෝජන වරප්‍රසාද පැවිද්දට නුසුදුසු බව සහ පරලොව උන්වහන්සේලා දැඩි ලෙස විශ්වාස කරන බැවිනි. රාජ්‍යයේ වගකීම වන්නේ එවන් සැබෑ ආගමික නායකයන් රැක ගනිමින් නිසි අවවාද ලැබීම යි.

මෙම අපරිහානීය ධර්ම යම් සමාජයක ආරක්ෂා වන්නේ නම් අනවශ්‍ය ගැටීම් භේද භින්නවීම් වලින් තොරව සමාජය සාමකාමීව පවත්වාගත හැකි ය. සෑම ආගමක ම මුලික ඉගැන්වීම එය යි. පාලක පන්තිය මෙන්ම ආගමික නායකයන් ද මෙය හොඳින් අවබෝධ කොට ගෙන කටයුතු කළ යුතු වේ.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]