Print this Article


බුදුපිළිමයේ උපත - 78: චුන්දකර්මාර පුත්‍ර කතාව

බුදුපිළිමයේ උපත - 78:

චුන්දකර්මාර පුත්‍ර කතාව

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

‘චුන්ද, ඔබ පිළියෙළ කරන ලද සූකරමද්දව ඇත්නම් වළලා දමන්න. දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයෙහි, දෙව්, මිනිසුන්, මහණ බමුණන් සහිත සත්ත්ව ප්‍රජාව අතරෙහි තථාගතයන් හැර එම සූකරමද්දව අනුභවකොට දිරවිය හැකි වෙනත් අයෙකු මම නොදකිමි.

මහාපදේශ දේශනාවෙන් පසුවත් ආනන්ද චෛත්‍ය ස්ථානයෙහි ටික දිනක් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ එයින් පිටත්ව පාවා නුවරට වැඩම කළ සේක. භික්ෂු සංඝයා සමඟ වැඩම කළ බුදුරජාණන් වහන්සේ චුන්ද නම් කම්මල්කරුවාගේ අඹවනයෙහි වැඩවසන සේක. මේ බව ඇසූ චුන්ද නම් කම්මල්කරු භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වැඳ එකත්පස්ව හිඳ ගත්තේ ය.


ගන්ධාර සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමාවකි
(ඇෆ්ගනිස්ථානයේ කාබුල් කෞතුකාගාරය)

භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනයෙන් චුන්ද නම් කම්මල්කරුට කරුණු දක්වා, ඒත්තු ගන්වා, උනන්දු කරවා ඔසු සතුටට පත් කළ සේක. එලෙස සතුටට පත් චුන්ද භික්ෂු සංඝයා සමඟ පසුදින දනට වඩින සේ භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළේ ය. නිහඬ ව සිටීමෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ ආරාධනය පිළිගත් බව දැනගත් චුන්ද හුන් අසුනෙන් නැගී භාග්‍යවතුන් වහන්සේට වැඳ නික්ම ගියේ ය. රෑ ගෙවී ගිය පසු චුන්ද සිය නිවසෙහි ප්‍රණීත ආහාරපාන හා බොහෝ සුකරමද්දව පිළියෙළ කොට දානය පිණිස වඩින්නට කාලය බව භාග්‍යවතුන් වහන්සේට දැන්වී ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන චුන්දගේ නිවසට සැපත් ව පනවන ලද ආසනයෙහි වැඩහිඳ මෙලෙස චුන්ද ඇමතු සේක.

චුන්ද ඔබ විසින් පිළියෙළ කරන ලද සුකර මද්දව මට පිළිගන්වන්න. පිළියෙළ කරන ලද අනික් ආහාරපාන භික්ෂු සංඝයාට පිළිගන්වන්න. එසේය හිමියනි යැයි පැවසූ චුන්ද එලෙස ම දානය පිළිගැන්වී ය. අනතුරුව භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළ සේක.

‘චුන්ද, ඔබ පිළියෙළ කරන ලද සූකරමද්දව ඇත්නම් වළලා දමන්න. දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයෙහි, දෙව්, මිනිසුන්, මහණ බමුණන් සහිත සත්ත්ව ප්‍රජාව අතරෙහි තථාගතයන් හැර එම සූකරමද්දව අනුභවකොට දිරවිය හැකි වෙනත් අයෙකු මම නොදකිමි.

බුදුරජාණන් වහන්සේ කී පරිදි සුකරමද්දව වළ දැමූ චුන්ද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ එකක් පසෙක හිඳ ගත්තේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනයෙන් චුන්දට කරුණු දක්වා ඒත්තු ගන්වා, උනන්දු කරවා ඔහු සතුටට පත්කොට පෙරළා වැඩි සේක.

ලේ අතීසාරය හටගැනීම

චුන්දනම් කම්මල් කරුවාගේ (චුන්දකම්මකාර) දානය වැළඳු භාග්‍යවතුන් වහන්සේට දරුණු ලේ අතීසාරය හට ගත්තේ ය. තියුණු වේදනා ඇති විය. භාග්‍යවතුන් වහන්සේ එළඹි සිහියෙන් හා අවදි බවෙන් යුතුව එයින් පෙළීමට පත් නොවී එම වේදනා ඉවසා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථිවිරයන්ට කතා කොට “ආනන්ද අපි කුසිනාරාවට යමු” යැයි කී සේක. එහෙමයි ස්වාමීනි, යැයි ආනන්ද ස්ථිවරයෝ පිළිතුරු දුන්හ.

“චුන්දයන්ගේ දානය වැළඳීමෙන් ප්‍රඥාවන්තයාණන්ට මාරාන්තික වූ උග්‍ර ආබාධයක් හටගත් බව මවිසින් අසන ලදී” දානය වැළඳූ ශාස්තෘවරයාණන් වහන්සේට සූකරමද්දව හේතුකොටගෙන දරුණු රෝගයක් උපනි. බඩ විරේචනය වන්නා වූ උන්වහන්සේ ‘කුසිනාරාවට යමුයි කී සේක.’

අධික පිපාසාව ඇතිවීම

එසඳ භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක් මුලට ගොස් ආනන්ද ස්ථවිරයන් ඇමතූ සේක. මට ක්ලාන්තය වාගේ මාගේ සඟල සිවුර හතරට තමා ඉඳගන්න තැනක් පිළියෙළ කරන්න. ආනන්ද ස්ථිවරයන් එසේ හිඳ ගැනීමට තැනක් පිළියෙළ කළ විට එහි හිඳගත් භාග්‍යවතුන් වහන්සේ “ආනන්ද මට හරි පිපාසයි. බොන්න වතුර ටිකක් ගෙන එන්න.” යැයි කී සේක. එවිට ආනන්ද ස්ථවිරයෝ හිමියනි කරත්ත රෝදවලින් පොඩි දිය පාර හෑරී කැළඹිලා බොරවෙලා ගලන්නේ. කකුත්ථා නදියට වැඩිදුරක් නෑ. ඒ ගඟේ වතුර පිරිසුදුයි. සීතලයි. මඩ නෑ. ලස්සනයි. හිමියනි එහි දී වතුර බොන්න පුළුවනි. ඇඟත් සෝදා ගෙන සිසිල් කරගන්නත් පුළුවනියි” කීහ. දෙවැනි වරටත් භාග්‍යවතුන් වහන්සේ එසේම බීමට වතුර ගෙනෙන ලෙස ඉල්ලා සිටි විට ආනන්ද ස්ථවිරයන් එම පිළිතුර ම දුන්හ. තුන්වන වර බුදු රජාණන් වහන්සේ එලෙස ආනන්ද ස්ථවිරයන් ඇමතූ විට ආනන්ද ස්ථිවරයෝ ‘එහෙමයි ස්වාමීනි’ යැයි පිළිතුරු දී පාත්‍රය ගෙන ඒ කුඩා ඇළ වෙතට වැඩියහ. කරත්ත රෝදවලින් හැරී, කැළඹී, බොරවී ගලමින් තිබූ ඒ දියපාර ආනන්ද ස්ථවිරයන් එහි ළඟාවත් ම පිරිසුදුව, පැහැදිලිව, නොකැළඹී ගලා බසිමින් තිබිණි.

තථාගතයන් වහන්සේගේ සෘද්ධි සම්පන්න භාවය, මහානුභාව සම්පන් භාවය ඉතා ආශ්චර්ය ජනකයි. අද්භූත ජනකයි. කරත්ත රෝදවලින් හැරී, කැළඹී, බොර වී ගලමින් තිබූ කුඩා ඇළ මා එතැනට ළඟාවන විට පිරිසුදුව නොකැළඹී ගලා බසී යැයි ආනන්ද ස්ථවිරයන්ට සිතුනි. ආනන්ද ස්ථවිරයෝ පාත්‍රයට දියගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මෙසේ කීහ.

“හිමියනි” තථාගතයාණන් වහන්සේගේ සෘද්ධි සම්පන්න භාවය මහානුභාව සම්පන්න භාවය ආශ්චර්ය ජනකයි. අද්භූත ජනකයි. කරත්ත රෝදවලින් හෑරී කැළඹී බොර වී ගලමින් තිබූ දියපාර මා එහි ළඟා වන විටම පිරිසුදුව නොකැළඹී ගලා බසිමින් තිබුණි. භාග්‍යවතුන් වහන්ස, මේ වතුර බොන්න. සුගතයාණන් වහන්ස මේ වතුර බොන්න. එවිට භාග්‍යවතුන් වහන්සේ පැන් පානය කළ සේක.

මේ අවස්ථාවේ දී ආලාර කාලාම ගේ ශිෂ්‍යයෙකු වූ මල්ලපුත්‍ර පුක්කුස කුසිනාරාවෙන් පාවා නගරයට යන ගමන් ගසක් මුල වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක ළඟට ගොස් වැඳ පැත්තකට වී මෙසේ පැවසුවේ ය. “ස්වාමීනි හරි පුදුමයි! මේ පැවිද්දෝ පුදුම ශාන්ත විහර ඇත්තෝ ය. ස්වාමිනි පැරණි කතාවක් කියන්නම්, ආලාර කාලාම ඉස්සර දිග ගමනක් යද්දී පාරෙන් ඉවත්ව දිවා විහාරය පිණිස ගසක් මුල වාඩි විය. ඒ වෙලාවේ ගැල් පන්සියයක් ආලාර කාලාමයන් පසු කරගෙන ළඟින් ම ගියේ ය. ගැල් පසු පසින් ම පැමිණි එක් මිනිසෙක් ආලාර කාලාමයන් ළඟට ගොස්, ගැල් පන්සියයක් ඔබ වහන්සේ පසුකරගෙන යනවා දුටුවෙහි දැයි ඇසීය නොදුටුවෙමි යැයි ආලාරකාලාම කීය. ස්වාමීනි! හඬක් ඇසුණේදැයි ඇසී ය. නැතැයි ආලාර කාලාම කී ය. මොකද ස්වාමීනි නිදා සිටියෙහිදැයි ඇසී ය. නිදාගෙනත් නොසිටියෙමි යි කාලාම කී ය. ස්වාමීනි සිහියෙන් සිටියේදැයි ඇසීය. ඔව් ඇවැත්නි සිහියෙන් සිටියෙමියි කාලාම කී ය. ස්වාමිනි අවදියෙනුත් සිහියෙනුත් සිට පහු කරගෙන යන ගැල් පන්සියය දුටුවේත් නැත. හැඬ ඇසුණේත් නැත. එහෙම නමුත් ඔබ වහන්සේගේ සඟළ සිවුර නම් දූවිලි පිරිලායැයි කී ය. ඔව් ඇවැත්නි කියා කාලාම පිළිතුරු දුන්නේ ය. ස්වාමිනි මේ තරමට පැවිද්දෝ ශාන්ත විහරණ ඇත්තෝ ය. කියා කාලාම කෙරෙහි බලවත් පැහැදීම ප්‍රකාශ කළේ ය.

මේ අවස්ථාවේ දී එසේ ප්‍රකාශ කළ මල්ල පුත්‍ර පුක්කුස සමඟ සාකච්ඡාවට සහභාගි වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේ විමසූ සේක. ‘පුක්කුසිය, සිහියෙන් අවදියෙන් සිට ළඟින් පහුකර ගෙන යන ගැල් පන්සියයක් නොදකී. හඬ නො අසයි. සිහියෙන් අවදියෙන්, සිට මහවැසි වසිද්දී, ගොරවද්දී, විදුලි කොටද්දී, හෙන පුපුරද්දී එය නොදකී. හඬක් නො අසයි. යන මේ දෙකින් වඩා දුර්ලභ බරපතළ කුමක් ද?

“ස්වාමීනි ගැල් පන්සියයක් හත්අට සියයක් දාහක් ලක්ෂයක් කුමක් කරන්නටද? වැසි වසිද්දී, අහස ගොරවද්දී, හෙන පුපුරද්දී සිහියෙනුත් අවදියෙනුත් සිට එය නොදකී. හඩත් නො අසයි. යන්නට වඩා දුර්ලභත්, වඩා බරපතළත් යැයි පුක්කුස පැවසුවේ ය. පැවිද්දෙහි ඇති අගය අකම්ප්‍ය ක්ෂේම ශාන්ති විහාරී ගුණයෙන් බලවත් ප්‍රසාදයට පත් ආලාරකාලාම ශිෂ්‍ය මල්ලපුත්‍ර පුක්කුස තථාගතයන් වහන්සේට සළු සඟළකුත් පුදා, උපාසකත්වය ද පවසා යන්නට ගියේ ය.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 77: බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක මහ සඟරුවන ඇමතීම