UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහරගම ශ්‍රී විපශ්‍යාරාමයේ 41 වැනි වරට පැවැත්වෙන ඇසළ මහා පෙරහර

මහරගම ශ්‍රී විපශ්‍යාරාමයේ 41 වැනි වරට පැවැත්වෙන ඇසළ මහා පෙරහර

මහරගම ශ්‍රී විපශ්‍යාරාමාධිපතිව වැඩ සිට 2014 වසරේ දී අපවත් වී වදාළ ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්ධර, ශාස්ත්‍රපති බ්‍රාහ්මණගම රතනසිරි අනු නා හිමියන් මෙම පෙරහර මංගල්‍යයේ නිර්මාතෘවරයාණෝ වන්නාහ.

උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු විහාරාධිකාරී ධුරය උසුලන රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මහකුඹුක්වැව චන්ද්‍රානන්ද හිමියන්ගේ අනුශාසනා හා මඟ පෙන්වීම අනුව 41 වැනි වරටත් මෙවර පෙරහර මංගල්‍යය පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී විපශ්‍යාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යෙීත්සව මාලාව මෙවර ආරම්භ වූයේ, අගෝස්තු මස 18 වැනි දින ය. එදින සිට මෙම සැප්තැම්බර් 10 වැනි දින තෙක් ආගමික වැඩ සටහන් රැසක් පැවැත්වේ.


සම්බුදු මැදුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

මහරගම පුරවරයේ දෙහිවල පාරට ආසන්නව පිහිටා ඇති, නෙතට රසඳුනක් වන්, දකින දනන් සිත ශ්‍රද්ධාවෙන් ඉපිලෙන මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහා විහාරස්ථානය, හුදී ජනයා විසින් ‘පුවක්පිටිය පන්සල’ යනුවෙන් ද හඳුන්වනු ලබන්නාහ. මහරගම නගරයට ප්‍රදීපස්ථම්භයක් බඳු ශ්‍රී විපශ්‍යාරාමය, පිහිටා ඇත්තේ ද, කලබලකාරී නගරයට ආසන්නවය. එහෙත් මේ පින්බිමට පිවිසි කල අපූරු ශාන්ත දායක පරිසරයකට පිවිසියාක් බඳු සුසංයත හැඟීමක් අප සිත් තුළ නිරායාසයෙන් ම ඇතිවනු නියත ය. විහාරස්ථානය අසබඩට පැමිණ ප්‍රධාන ප්‍රවේශ දොරටුවේ පහන් කොත් අද්දර සිට මෙවන් වූ පුණ්‍ය භූමියට නෙත් හෙළන කවරකුට වුව ද එක්වරම නෙත් සිත් තුළට දර්ශනය වන්නේ දකුණු පසින් පිහිටා ඇති සුදෝ සුදු චෛත්‍යරාජයාත්, පැරණි බුදුමැදුරත්, වම්පසින් පිහිටා ඇති බෝධිරාජයාණන් වහන්සේත්, ඉපැරණි ධර්මශාලාවත් එමෙන් ම පැරණි ආවාස ගෙයත්ය. මිහින්තලේ කණ්ඨක චෛත්‍යයට අනුරූපව ඉදිකොට ඇති පැරණි වාහල්කඩ සහිත දාගැබ් වහන්සේ ද, ඒ වටා ඇති සාංචි ප්‍රාකාර බැම්ම ද පැරණි බුදු ගෙය හා දේවාල මන්දිර ද, මෙහි ඇති පෞරාණිකත්වය හා පූජනීයත්වය මැනවින් විදහා දක්වයි. මෙම විහාරස්ථානය පිහිටුවා 2018 වසරට වසර 200 ක් සම්පූර්ණ වේ. වසර 198 කට පෙර ඉදිකරවන ලද පැරණි බුදුගෙය හා එහි තැන්පත් කොට ඇති පෞරාණික පිළිම වහන්සේ හා බිතු සිතුවම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කිරීමට ද මේ වන විට පියවර ගෙන ඇත. අපවත් වී වදාළ ශාස්ත්‍රපති බ්‍රාහ්මණගම රතනසිරි අනු නා හිමියන් මෙම විහාරස්ථානයේ අධිපති ධූරයට පත්වීමෙන් පසු 1976 දී මල් පෙරහරක් වශයෙන් මුලින්ම ආරම්භ කළ ඇසළ මහා පෙරහර අනතුරුව වාර්ෂිකව නව අංග එක්කරමින් පෙරහර ඉතා දියුණු තත්ත්වයට පත් කරවන ලදහ.

කුඹුක්වැව චන්ද්‍රානන්ද හිමියන් වර්තමාන පෙරහර පුණ්‍යෙීත්සවයට විධිමත් පරිදි මාර්ගෝපදේශකත්වය සපයමින් විහාරස්ථ දායක සභාව, විශාඛා කුළඟන සමිතිය, සිරි මංගල දහම් පාසල මෙන් ම පළාත්වාසී සැදැහැවතුන්ගේ ද මහරගම වෙළෙඳ ප්‍රජාවගේ ද නොමඳ සහයෝගය හා අනුග්‍රහය ඇතිව, මෙකී වැඩකටයුතු ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යාමට සමත් වී ඇත.

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ ද, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතාගේ ද මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය, හා මහරගම නගර සභාවේ ලේකම්තුමියගේද සහභාගීත්වය ඇතිව, විශේෂ රාජ්‍ය අනුග්‍රහයෙන් මෙවර පෙරහර පැවැත්වීමට කටයුතු යොදා ඇත. එමෙන් ම මහරගම පොලිස් ස්ථානාධිපතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, හා යුද්ධ හමුදාවේ විශේෂ අනුග්‍රහය ද මේ සඳහා ලැබේ.

ගරා වැටීමට ආසන්නව පැවති පැරැණි ධර්මශාලාව පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි අලුත්වැඩියා කරවීමටත්, අභිනව ධර්මශාලා ගොඩනැගිල්ලක් ඉදිකරවීමේ මූලික කටයුතු සම්පාදනය කිරීමටත්, චන්දානන්ද හිමියෝ කටයුතු යොදා ඇත.

විහාරස්ථානය මඟින් දිනපතා බෝධිපූජා පින්කම් පැවැත්වීමටත් සෙනසුරාදා හා පුන් පොහෝ දිනවල අටවිසි බුද්ධ පූජා පැවැත්වීමට සිරි මංගල දහම් පාසල පුළුල් කරවීමටත් කටයුතු යොදා තිබේ. පුන් පොහෝදිනවල ශීල සමාදාන හා ඊට සමගාමීව විශේෂ වැඩසටහන්ද පැවැත්වේ. පෙරහර මංගල්‍ය නිමිත්තෙන් සැප්තැම්බර් 03 වැනි දින මල්පෙරහර පැවති අතර 04 වැනි දින සර්වරාත්‍රික පිරිත් දේශනය ද, පසුදින උදෑසන ගරුතර මහා සංඝ රත්නය විෂයෙහි සාංඝික දානය ද පවත්වන ලදී. සැප්තැම්බර් 05, 06, 07 සහ 08 දිනවල ධර්ම දේශනාද පැවැත්වේ.

මහරගම ඇසළ මහා පෙරහර, මෙම මස 09 වැනි සෙනසුරාදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන අතර, මෙවර පෙරහරට අලි ඇතුන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් ද, උඩරට හා පහතරට නැටුම්, ගැයුම්, වැයුම්වලින් සමන්විත වූ විවිධ විචිත්‍ර සංස්කෘතිකාංග ද ඇතුළත් වේ.

එදින රාත්‍රී 08.30 ට පමණ විහාරස්ථානයෙන් ආරම්භ කෙරෙන මහරගම ඇසළ මහා පෙරහර, දෙහිවල පාර, විද්‍යාකර මාවත, ඇල්හේන පාර, හයිලෙවල් පාර, ඔරලෝසු කණුව අසලින් නැවත දෙහිවල පාරට පැමිණ විහාරස්ථානයට ගෙවදේ. සැප්තැම්බර් 10 වැනි දින පෙරවරු 9.00 ට ආරම්භ වන ගරායක් ශාන්ති කර්මය හා දේව දානයෙන් මෙවර මහරගම විපශ්‍යාරාමයේ ඇසළ මහා පුණ්‍යෙීත්සවය නිමාවට පත් වනු ඇත.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]